Key Points
- රැජිණ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවන්ට සැප්තැම්බර් 22 වන දින ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.
- බටහිර ඕස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල ඉදිරියට යෙදී ඇති රැජිණගේ උපන්දිනය වෙනුවෙන් ලබාදෙන පොදු නිවාඩු දිනයේ නිල නාමය වෙනස් වනු ඇත.
- කාලයාගේ ඇවෑමෙන් එය රජුගේ උපන්දින පොදු නිවාඩු දිනය ලෙස නම් කිරීමට ඉඩ ඇති බව සඳහන්.
අභාවප්‍රාප්ත දෙවැනි එළිසබත් රැජිණ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවන්ට සැප්තැම්බර් 22 වන දින ජාතික නිවාඩු දිනයක් ලෙස ලබා දෙන බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ඊයේ (සැප්තැම්බර් 11) නිල වශයෙන් නිවේදනය කළේය.
මෙය මේ වසරේ පමණක් ලැබෙන පොදු නිවාඩුවක් වන අතර රැජිණගේ රාජකීය අවමංගල උත්සවයෙන් දින 3 කට පසුව එළඹේ.
තමන් මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත අගමැතිවරුන් සහ ටෙරිටරි ප්‍රධාන අමාත්‍යවරුන් සමග සාකච්ඡා කළ බවත් ඒ සියල්ලෝම ඊට කැමැත්ත පළ කළ බවත් අගමැති Albanese පැවසීය.
රැජිණගේ උපන්දිනය වෙනුවෙන් ලබාදෙන නිවාඩු දිනය වෙනස් වෙයිද?
මේ අතර ඔස්ට්‍රේලියාවේ Queen's Birthday හෙවත් රැජිණගේ උපන්දිනය වෙනුවෙන් ලබාදෙන පොදු නිවාඩු දිනය රැජිණගේ අභාවයත් සමග සංශෝධනය වනවාද යන්න පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් මතුව පවතී.
කෙසේවෙතත්, බටහිර ඕස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල ඉදිරියට යෙදී ඇති රැජිණගේ උපන්දිනය වෙනුවෙන් ලබාදෙන පොදු නිවාඩු දිනයේ නිල නාමය වෙනස් වනු ඇත.
එම නිවාඩුව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සැප්තැම්බර් 26 වැනි දිනට සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඔක්තෝබර් 03 වැනි දිනට යෙදී තිබේ.
මෙම නිවාඩුවේ නම නුදුරේදීම සාකච්ඡා කරන බව SBS පුවත් වෙත ප්‍රකාශයක් කරමින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Anastacia Palaszczuk ගේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
අදාළ නිවාඩුව සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනු ඇති අතර එහි නිල නාමය පමණක් වෙනස් වනු ඇති බව අදාළ ප්‍රකාශකයා පැවසීය.
මේ පිළිබඳ අදහස් දැනගැනීම සඳහා SBS පුවත් සේවය බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan ගේ කාර්යාලය අමතා ඇත.
මේ අතර අදාළ නිවාඩු දිනයේ නම වෙනස් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ද බොහෝ දුරට පියවර ගනු ඇතැයි සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව පිළිබඳ විශේෂඥවරියක් වන ආචාර්ය Cindy McCreery, SBS පුවත් වෙත පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සහ ටෙරිටරි
දෙවන එළිසබත් රැජිණගේ අභාවය ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සහ ටෙරිටරිවල දැනට ක්‍රියාත්මක රැජිණගේ උපන්දිනය නම් පොදු නිවාඩුවේ නම කෙරෙහි ද බලපෑමක් ඇති කරන බව Cindy McCreery පැවසුවාය.
සාමාන්‍යයෙන් රැජිණගේ උපන්දිනය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි ඒ සඳහා නිවාඩු දිනය ජුනි, සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලයේදී ලබාදෙයි.
කාලයාගේ ඇවෑමෙන් එය රජුගේ උපන්දින පොදු නිවාඩු දිනය ලෙස නම් කරනු ඇතැයි තමන් සිතන බවද ආචාර්ය Cindy McCreery, SBS පුවත් වෙත පැවසුවාය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
දෙවන එළිසබත් රැජිණ උපත ලැබුවේ 1926 අප්‍රේල් 21 දින වූ නමුත් ඔස්ට්‍රේලියාවේ කිසිදු ප්‍රාන්තයක් සහ ටෙරිටරියක් අප්‍රේල් මාසයේ එම දිනය සමරන්නේ නැත.
මෙම නිවාඩු දින ප්‍රාන්තවල සහ ටෙරිටරිවල තත්ත්වයට ගැලපෙන පරිදි තෝරාගෙන ඇති බවද ආචාර්ය McCreery ප්‍රකාශ කළාය.
බ්‍රිතාන්‍යයේත් එය එලෙසම බව ඇය සඳහන් කළාය.
එක්සත් රාජධානියේ මිනිසුන්ට ශීත ඍතුවට වඩා ග්‍රීෂ්ම කාලයේදී පොදු නිවාඩුවක් ගත කිරීම සුදුසු බැවින් මෙම නිවාඩුව ග්‍රීෂ්ම කාලය තුළ සමරනු ලැබේ.
එම හේතුව නිසා තුන්වන චාල්ස් රජුගේ උපන්දිනය නොවැම්බර් 19 වන දිනට යෙදුනත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි බ්‍රිතාන්‍ය රජතුමාගේ උපන්දිනය සමරන දිනයන් වෙනස් නොවිය හැකි යයි ආචාර්ය McCreery ප්‍රකාශ කළාය.
චාල්ස් රජුගේ උපන්දිනය වෙනුවෙන් නොවැම්බර් මාසයේදී එක්සත් රාජධානියේ රජයේ නිවාඩු දිනයක් දකින්නට ලැබෙනු ඇතැයි තමන් නොසිතන බව ද ඇය සඳහන් කළාය.

Sydney Government House Hosts Queen's Birthday celebrations in June 2019. Credit: James D. Morgan/Getty Images
Queen's Birthday Honours හෙවත් රැජිණගේ උපන්දින ගෞරව ද වෙනස් වනු ඇත
Queen's Birthday Honours හෙවත් රැජිණගේ උපන්දින ගෞරව ලෙස හඳුන්වන දේ වෙනුවට එය රජුගේ උපන්දින ගෞරව ලෙසට භාවිතාවේ වෙනසක් සිදුවනුඇතැයි ආචාර්ය Cindy McCreery, SBS පුවත් වෙත පැවසුවාය.
ඒ හැරුණු කොට එම උපන්දින ගෞරව පිරිනමන ක්‍රමවේදයේ වෙනසක් සිදු නොවනු ඇතැයිද තමා විශ්වාස කරන බව ඇය පැවසුවාය.