ඔස්ට්‍රේලියාවේ දැනට ඇතිවී ඇති පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පියවාගැනීමේ මූලික අරමුණින් ඊයේ (සැප්තැම්බර් 01) දින කැන්බරා නුවරදී රැකියා හා නිපුණතා සමුළුව ඇරඹිණි.
දින 2ක් පුරාවට පැවැත්වෙන මෙම සමුළුවේ අද අවසාන දිනය වේ.
රජයේ පාර්ශව මෙන්ම වෘත්තීය සමිති, ව්‍යාපාර සංවිධාන සහ විවිධ ප්‍රජා කණ්ඩායම් මේ සඳහා සහාභාගී වී සිටියහ.
එහි පළමු දිනයේ සාකච්ඡාවට ලක්වූ විශේෂ ක්ෂේත්‍ර පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
ස්ථිර සංක්‍රමණ කෝටාව ඉහළ දැමීමට ඉල්ලීම්
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන සංක්‍රමණ කෝටාව ඉහළ දැමිය යුතු බවට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය (ACTU) සහ ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික කවුන්සිලය පොදුවේ විශ්වාස කරයි.
එලෙස ස්ථිර වීසා ලබා පිරි නැමීම හරහා ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳපොළට වැඩිපුර පුහුණු ශ්‍රමිකයින් ලබාගත හැකි බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ සභාපතිනි Michele O'Neil රැකියා හා නිපුණතා සමුළුවේදී පැවසුවාය.
එමෙන්ම මෙම කණ්ඩායම් දෙකටම වෘත්තීය සම්බන්ධතා පද්ධතිය සරල, සාධාරණ සහ වඩාත් ප්‍රවේශ විය හැකි එකක් බවට පත් කිරීමට ද අවශ්‍ය වේ.

ශිෂ්‍ය වීසා ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලීම්
ඔස්ට්‍රේලියාවේ නිපුණතා හිඟය විසඳීමට සහ රැකියා පුරප්පාඩු පිරවීම සඳහා ජාත්‍යන්තර සිසුන්ට ස්වයංක්‍රීයව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ලෙස මෙම රැකියා සමුළුවට ආරාධනා නොකළද, ප්‍රජා සංවිධාන කිහිපයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේය.
තෝරාගත් ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට සහ රැකියා කිරීමට අයිතිය ලබා දීමෙන් ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රම බලකාය ඉහළ නංවන අතර බුද්ධි ගලනය ආපසු හැරවිය හැකි බව Western Sydney Leadership Dialogue සංවිධානය පැවසීය.
"Greater Western Sydney යනු තම ප්‍රදේශයේ, නිපුණතා සහිත ශ්‍රම බලකායක් ඉල්ලා හඬනඟන කලාපයක් වන අතර, දේශීය ව්‍යාපාරවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තමන්ට සුදුසු කාර්ය මණ්ඩලයක් සොයා ගැනීමට අරගල කරමින් සිටිනවා" යනුවෙන් Western Sydney Leadership Dialogue සංවිධානයයේ සභාපති Christopher Brown පැවසීය.
"අවම වශයෙන් වසර තුනක උපාධියක් සම්පූර්ණ කරන ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට සහ රැකියා කිරීමට අවස්ථාව ලබා දීම, නව පදිංචිකරුවන්ට තමන්ගේ දැනුම හා හැකියාවන් හොඳින් පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන අතරම, විදේශයන්හි සිටින හොඳම හා දීප්තිමත් දක්ෂතා ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට ඔස්ට්‍රේලියාවට උපකාරී වනු ඇති" යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
නොමිලේ TAFE අධ්‍යාපනය
ප්‍රධාන නව පුහුණු පැකේජයක කොටසක් ලෙස අමතර 180,000ක පිරිසකට ගාස්තු රහිත TAFE අධ්‍යාපනය හැදෑරීමට වසර 2023 වන විට අවස්ථාව ලබාදීමට මධ්‍යම රජය තීරණය කළේය.
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ඊයේ සමුළුවේදී සිය ආරම්භක කතාව කරමින් ඩොලර් බිලියන 1.1 පැකේජයක් ඒ සඳහා ප්‍රකාශයට පත් කළ අතර ෆෙඩරල්, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් විසින් එයට ඒකාබද්ධව අරමුදල් සපයන බව පැවසීය.
ඔස්ට්‍රේලියානුවන් හොඳ රැකියා ලබා ගැනීමට අවශ්‍ය කුසලතා ලබා ගත යුතු බව ඔහු පැවසීය.

Fair Work පනත පිළිබඳ ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම
Fair Work පනතේ ගැටළු හඳුනාගෙන ඇති බවත් එය වහාම විසඳීමට බලාපොරොත්තු වන බවත් මෙම සමුළුවට එක්වූ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය Tony Burke පැවසීය.
මෙයට නම්‍යශීලී රාජකාරී විධිවිධාන සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීම සහ වැටුප් රහිත මාපිය නිවාඩු ලබා දීම ඇතුළත් වන අතර එමඟින් පවුල්වලට රැකියා සහ රැකවරණ වගකීම් බෙදා ගත හැකිය.
මානසික සෞඛ්‍යය සහ ආරක්ෂාව වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහා වෘත්තීය සමිති, ව්‍යාපාර සහ රජය එක් කර ගැනීම සඳහා සංසදයක් පිහිටුවීමට ද රජය කැපවිය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
කාන්තාවන් දෙවැනි තැනට පත්වීම අවසන් කිරීම
කාන්තාවන්ට ශ්‍රම බලකායට පූර්ණ ලෙස සහභාගී විය හැකි බව සහතික කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ද පියවර ගත යුතු බව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනි Zoe Daniel සමුළුවේදී පැවසුවාය.
නම්‍යශීලී සේවක අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය වාර්තා කිරීම අනිවාර්ය කිරීම, කාන්තා ශ්‍රමිකයන්ගේ ප්‍රතිලාභ සඳහා රජයට කළ හැකි වෙනස්කම් වලින් කිහිපයක් බව ඇය පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගේ ස්ථාවරය වැඩිදියුණු කිරීම සඳහා සමස්තයක් ලෙස සමාජ සම්මතයන් වෙනස් විය යුතු බව Equality Institute හි ප්‍රධානී Emma Fulu සඳහන් කළාය.

