සෑම දෙමාපියෙක්ම තම දරුවාට COVID-19 එන්නතක් ලබාදීම ගැන සලකා බැලිය යුත්තේ ඇයි?

පසුගිය මාස හත තුළ වයස අවුරුදු 0-5 අතර ළමුන්ගේ COVID-19 ආසාදන 350,000 ක් සහ COVID-19 මරණ අටක් වාර්තා වී ඇති බව දත්ත පෙන්වයි.

COVID-19 VACCINATIONS FOR CHILDREN

Brothers Louise and Harry Taylor-Bishop and sisters Olivia and Evie Kurz pose for a photo after receiving their first vaccine at Kippa Ring Communication Vaccination Clinic in Brisbane. Source: AAP / RUSSELL FREEMAN/AAPIMAGE

Key Points
  • ඔස්ට්‍රේලියාව සැප්තැම්බර් 5 වන දින සිට වයස අවුරුදු 5ට අඩු අවදානමට ලක්විය හැකි ළමුන් සඳහා කොවිඩ් එන්නත් නිකුත් කරයි.
  • කොවිඩ් වයිරසය ඇතැම් දරුවන්ට අයහපත් ප්‍රතිඵල ගෙන දිය හැකි බව විශේෂඥයෝ පවසති.
  • කොවිඩ් එන්නත් වල අතුරු ආබාධ වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන් තුළ අඩුවෙන් දක්නට ලැබේ.
මෙම වසර මුලදී, COVID-19 එන්නත් වයස අවුරුදු 5-11 අතර සියලුම දරුවන්ට ලබා දීම ආරම්භ කරන ලදී.

තවමත්, මෙම වයස් ඛාණ්ඩයේ සුදුසුකම් ලත් ළමුන් මිලියන 2.3 න් 40% ක් පමණක් ඔවුන්ගේ නිර්දේශිත මාත්‍රා දෙක ලබාගෙන ඇත.

කොවිඩ් එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳව දෙමාපියන් මඳක් කනස්සල්ලට පත්ව සිටින අතර ඔවුන්ගේ දරුවන්ට එය අවශ්‍ය බව විශ්වාස නැති වීම මෙයට හේතුව බව සිඩ්නි ළමා රෝහලේ ළමා බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය Brenden McMullan පැවසුවේය.

අඩු එන්නත් ලබා ගැනීම පිටුපස ඇති අනෙකුත් හේතු ලෙස එන්නත් ප්‍රවාහනය කිරීමේ ගැටළු සහ දෙමාපියන්ට තම දරුවන්ව එන්නත් මධ්‍යස්ථානයකට ගෙන යාමට කාලය සොයා නොගැනීම විය හැකි බව ළමා රෝග විශේෂඥ සහ සහකාර මහාචාර්ය Nick Wood පැවසුවේය.

“COVID-19 ඇති අවුරුදු හයක හෝ හතක දරුවන්ගේ දෙමාපියන් සිතන්නේ ආසාදනය එතරම් නරක නොවන බැවින්, ඔවුන්ට ඉක්මන් වී එන්නත ලබා ගැනීමට අවශ්‍ය නැති බවයි” යනුවෙන් ද මහාචාර්ය Nick Wood පැවසීය.

"COVID-19 ආසාදනය වී ඇතිනම් එන්නත ලබා ගැනීමට පෙර අවම වශයෙන් මාස තුනක් බලා සිටීමට නිර්දේශයක් ඇත. එබැවින් එයද එන්නත ලබාගැනීම අඩුවීමට තවත් හේතුවක් විය හැකියි." ලෙසද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

දරුවන්ට COVID-19 එන්නතක් අවශ්‍යද?

බොහෝ ළමයින්ට කොරෝනා වයිරස් ආසාදන මෘදු වන නමුත් කිහිප දෙනෙකුට, විශේෂයෙන් කාලයක් පුරා නිදන්ගත සෞඛ්‍ය ගැටලු ඇති අයට, COVID-19 තරමක් අයහපත් විය හැකි බව ඉහත විශේෂඥවරු දෙපළම පැවසුහ.

“ඇතැම් දරුවන්ට තරමක් අසනීප විය හැකි අතර රෝහල් ගත කිරීම අවශ්‍ය වෙනවා. ඔවුන්ට ඔක්සිජන් හෝ තරල වැනි අමතර උපකාර අවශ්‍ය විය හැකියි, මන්ද ඔවුන්ගේ හුස්ම ගැනීම එතරම් යහපත් නොවන නිසා සහ ඔවුන් මුඛය හරහා ගන්නා ආහාර පාන අඩුවී තිබෙනවා." යනුවෙන් මහාචාර්ය Nick Wood පැවසීය.

COVID-19 එන්නත් මගින් ළමයින් දරුණු ලෙස රෝගාතුර වීම වළක්වන බව ද ඔහු පැවසීය.


“ඔබට ආසාදනයක් ඇති වුවද, ආසාදනය සහ එන්නත ලබා ගැනීමේ ප්‍රතිලාභ තිබෙනවා. ඔබට ලැබෙන ප්‍රතිශක්තිය බොහෝ විට පුළුල් වන අතර, එය නැවත ආසාදනය වීමෙන් ඔබව ආරක්ෂා කරනවා." ලෙසද මහාචාර්ය Nick Wood පැහැදිලි කළේය.

ළමුන් ඇතුළු එන්නත් නොකළ පුද්ගලයින්ට කොවිඩ් වයිරසය වැළඳීමට වැඩි ඉඩක් ඇති බව විශේෂඥ වෛද්‍ය Brenden McMullan පැවසුවේය.

"වසංගතයේ මුල් අවධියේදී, වඩාත් බරපතල රෝගවලින් පෙළෙන ඇතැම් යෞවනයන් රෝහල්වල දැකීමට අපිට ලැබුණා. දැන් අපට කුඩා දරුවන් රෝහලේ සිටිනු පෙනෙනවා" යනුවෙන් ඔහු පැවසීය.

කොවිඩ් එන්නත් කෙතරම් ආරක්ෂිතද?

මෙම එන්නත් ලොව පුරා මිලියන ගණනක් ළමුන් සඳහා හොඳින් පර්යේෂණ කර ලබාදීම ආරම්භ කර ඇති බව විශේෂඥයෝ පවසති.

ඔස්ට්‍රේලියාවේදී, ඒවා ඖෂධ හා චිකිත්සක පරිපාලන අධිකාරියෙන් විසින් තක්සේරු කර ඇති අතර ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) විසින් නිර්දේශ කර ඇත.


වයස අවුරුදු 5 සිට 15 දක්වා ඔස්ට්‍රේලියානු ළමුන් 200,000කට අධික සංඛ්‍යාවකගේ එන්නත් ආරක්ෂණ දත්ත විශ්ලේෂණය කළ මෑත කාලීන AusVaxSafety වාර්තාවේ ප්‍රධාන කතුවරයා වූයේ මහාචාර්ය Nick Wood ය.

ළමුන් තුළ ඇති පොදු අතුරු ආබාධ වන්නේ එන්නත් කරන ස්ථානයේ වේදනාව සහ රතු පැහැය වන අතර එය සාමාන්‍යයෙන් එන්නත් ලබා ගත් පළමු පැය 48 තුළ පැමිණ දින කිහිපයක් පවතින බව ඔහු පැවසීය.

උණ, හිසරදය සහ මාංශ පේශි වේදනාව ළමුන් සහ වැඩිහිටියන්ගේ අනෙකුත් පොදු අතුරු ආබාධ වේ.

"නමුත් එම අතුරු ආබාධ වැඩිහිටියන්ට වඩා ළමුන් තුළ අඩුයි. අවුරුදු 12 සිට 15 දක්වා ළමුන්ට වඩා අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් තුළ ඒවා ටිකක් අඩුයි," මහාචාර්ය Wood පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

මහාචාර්ය Wood සහ ඔහුගේ කණ්ඩායම වයස අවුරුදු 12 ට අඩු ළමුන් තුළ myocarditis හෙවත් හෘද ප්‍රදාහය) සඳහා අවදානමක් සොයා ගත්තේ නැත.

"වයස අවුරුදු 15-25 අතර එය තරමක් සුලභයි. එය ප්‍රධාන වශයෙන් තරුණ පිරිමින් තුළ, දෙවැනි මාත්‍රාව ලබාගැනීමෙන් පසුව දැකිය හැකියි. තරුණ වැඩිහිටියන් හෝ යෞවනයන් පපුවේ වේදනාවක් හෝ වේගවත් හෘද ස්පන්දනයක් ගැන පැමිණිලි කරන්න පුළුවන්," යනුවෙන් ඔහු පැවසීය.

"එහෙම උනොත් පවුලේ වෛද්‍යවරයා හෝ emergency doctor හෙවත් හදිසි වෛද්‍යවරයා හමුවෙන්න ඕන. ඒත් මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක පන්දාහසත් දස දහසත් අතර එක්කෙනෙක් වගේ අනුපාතයකට ඇතිවෙන්න පුළුවන්" ලෙස ඔහු වැඩිදුරටත් පැවසීය.

වෛද්‍ය McMullan බෝවන රෝග විශේෂඥයෙකු ලෙස දරුණු අතුරු ආබාධ සමඟ කටයුතු කරන අතර ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාරවලද ද සහාය වේ.

“මට එන්නත් අතුරු ආබාධ සමඟ කටයුතු කිරීමට සිදු වූවාට වඩා බරපතල COVID සහිත දරුවන් වැඩි ප්‍රමාණයක් මම රැකබලා ගත්තා,” වෛද්‍ය McMullan පැවසීය.

ළමුන් සඳහා නිර්දේශිත කොවිඩ් එන්නත් මොනවාද?

දැනට, ATAGI හෙවත් ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම විසින් මාස හයේ සිට අවුරුදු පහ දක්වා අවදානමට ලක්විය හැකි ළමුන් සඳහා Moderna එන්නතේ මාත්‍රා දෙකක් නිර්දේශ කරයි.

“මෙම වයස් ඛාණ්ඩය COVID-19 හේතුවෙන් රෝහල්ගත වීමට අවශ්‍ය විය හැකි අවම කණ්ඩායම් වලින් එකක්. COVID-19 හේතුවෙන් රෝහල් ගත කරන හෝ මිය යන කුඩා සංඛ්‍යාව අතර, කලක් පවතින ගැටලුකාරී සෞඛ්‍ය තත්වයන් හෝ හීනවූ ප්‍රතිශක්තිකරණය නිතර දක්නට ලැබෙනවා." යනුවෙන් ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම පවසයි.

2021 දෙසැම්බර් 1 සහ 2022 ජූනි 17 අතරතුර වයස අවුරුදු 0-5 අතර ළමුන්ගේ COVID-19 ආසාදන 350,000 කට වැඩි ප්‍රමාණයක් සහ COVID-19 මරණ අටක් National Interoperable Notifiable Diseases Surveillance System විසින් වාර්තා කර ඇත.

වයස අවුරුදු 5-11 සහ 12-15 වයස් ඛාණ්ඩවල සියලුම දරුවන්ට Pfizer හෝ Moderna එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත හැකිය. තෙවන මාත්‍රාව නිර්දේශ කරනුයේ අවදානමට ලක්විය හැකි ළමුන් සඳහා පමණි.

ළමුන් තුළ Long COVID පැවතීම

Long COVID දරුවන්ට සාපේක්ෂව වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන බව වෛද්‍ය McMullan පැවසීය.

කොවිඩ් වැළදුණු බොහෝ දරුවන් සති කිහිපයක් ඇතුළත ඔවුන්ගේ මූලික තත්ත්වයට යළි පත් වනු ඇති බවද ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සහ බහුභාෂා ප්‍රජාවන්ට සියලුම COVID-19 යාවත්කාලීන කිරීම් ගෙනඒමට SBS මාධ්‍ය ජාලය කැපවී සිටී.

ඔස්ට්‍රේලියාවේ COVID-19 හා සම්බන්ධ නවතම තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා, sbs.com.au/sinhala වෙබ් අඩවිය වෙත ගොස් ඉහළින් ඇති " COVID 19 පිලිබඳ තොරතුරු" යන කොටස මත ක්ලික් කරන්න.

Share

Published

Updated

By Sahil Makkar, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service