ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට Victorian International Education Awards හෙවත් වික්ටෝරියානු ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා දැන් අයදුම් කළ හැකිය.
මේ සඳහා අයදුම්පත් බාරගැනීම ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් 2022 මැයි 29 ඉරිදා රාත්‍රී 11.59 ට අවසන් වේ.
Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට වික්ටෝරියානු ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා දැන් අයදුම් කළ හැකිය.
- මෙහිදී අයදුම් කළ හැකි ශිෂ්‍ය සම්මාන හතක් ඇති බව Study Melbourne ආයතනය පවසයි.
- 2022 මැයි 29 ඉරිදා රාත්‍රී 11.59 ට අයදුම්පත් බාරගැනීම අවසන් වේ.
වික්ටෝරියානු ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන
වික්ටෝරියානු ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන යනු වික්ටෝරියා ප්‍රාන්තයේ කැපී පෙනෙන ජාත්‍යන්තර සිසුන් සහ අධ්‍යාපන සපයන්නන් ඇගයීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ මුලපිරීමකි.
මේ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර අධ්‍යාපන අංශයට සහ ප්‍රජාව තුළ නායකත්වයට ඔවුන්ගේ කැපවීම හඳුනා ගනියි.
මෙම කීර්තිමත් සම්මාන මගින් වික්ටෝරියා ප්‍රාන්තයේ සහ ලොව පුරා ජාත්‍යන්තර අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන ආකර්ෂණීය සිසුන්, ආදි සිසුන් සහ අධ්‍යාපන සපයන්නන් හෙළි කිරීමට සහ පිළිගැනීමට අවස්ථාවක් ලබා දෙන බව Study Melbourne ආයතනය පවසයි.
සුදුසුකම් ලත් ජාත්‍යන්තර සිසුන්, දේශීය සිසුන්, ආදි සිසුන් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර අධ්‍යාපනය සපයන්නන් සම්මාන ඛාණ්ඩ ගණනාවක් සඳහා අයදුම්පත් යොමු කිරීමට දිරිමත් කරනු ලැබේ.
ජයග්‍රාහී ජාත්‍යන්තර සිසුන් සඳහා $16,000 දක්වා ත්‍යාග (ආදි ශිෂ්‍ය ඛාණ්ඩය හැර) පිරිනැමේ.
මේ සඳහා අයදුම් කිරීමට මෙතනින් අවස්ථාව.

ශිෂ්‍ය සම්මාන
ඔබට මෙහිදී අයදුම් කළ හැකි ශිෂ්‍ය සම්මාන හතක් ඇති බව Study Melbourne ආයතනය පවසයි.
ඒවා පහත පරිදි වේ.
- International Student of the Year – English Language Training
- International Student of the Year – Higher Education
- International Student of the Year – Research
- International Student of the Year – Regional
- International Student of the Year – Vocational Education and Training (VET)
- International Student of the Year – Internationalisation
- International Alumnus of the Year
- Premier’s Award – International Student of the Year
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ශිෂ්‍ය ත්‍යාග
වසරේ ජාත්‍යන්තර ආදි ශිෂ්‍යයන් හැර සෑම ඛාණ්ඩයකම සම්මානලාභීන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා සහාය වීම පිණිස ඩොලර් 6,000 බැගින් ප්‍රදානය කෙරේ.
එක් ශිෂ්‍ය ඛාණ්ඩයකට අනුශූරයන් දෙදෙනෙකු දක්වා $2,000 බැගින් ප්‍රදානය කෙරේ.
සියලුම අවසන් තරඟකරුවන්ට සහ ජයග්‍රාහකයින්ට ඇගයීම් සහතිකයක් ලැබේ.
මෙහි පිරිනමන ප්‍රධානතම සම්මානය වන "වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයා" සම්මානය ලබන්නෙකුට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අමතර ඩොලර් 10,000ක් ලැබෙනු ඇත.
දැනට වික්ටෝරියානු ප්‍රාන්තයේ තෘතීයික අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වී සිටින ජාත්‍යන්තර සිසුන්ව මේ සඳහා අයදුම් කිරීමට උනන්දු කරනු ලැබේ.
එමෙන්ම මේ මොහොතේ තම මව් රටේ සිට අධ්‍යාපනය ලබන අයටද මේ සඳහා සහභාගී විය හැකිය.

මේ සඳහා අයදුම් කරන්නේ කෙසේද?
සියලුම සම්මාන සඳහා සුදුසුකම් නිර්ණායක පහත පරිදි වේ.
ඉහත ඕනෑම සම්මානයක් සඳහා අයදුම් කිරීමට නම් ඔබ පහත නිර්ණායක සපුරාලිය යුතුය.
- ඔබ ඉංග්‍රීසි භාෂා පුහුණුව, වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, පර්යේෂණ හෝ Regional ඛාණ්ඩය සඳහා අයදුම් කරන ශිෂ්‍යයෙක් නම්, ඔබ දැනට වික්ටෝරියානු අධ්‍යාපන සැපයුම්කරුවෙකුගේ පාඨමාලාවකට ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී සිටිය යුතුය.
- දැනට වික්ටෝරියානු පශ්චාත්-ද්විතියික අධ්‍යාපන ආයතනයක් සමඟ ලියාපදිංචි වී සිටින නමුත් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් ද අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
- ඔබ Alumnus හෙවත් ආදි ශිෂ්‍ය ඛාණ්ඩය සඳහා අයදුම් කරන්නේ නම්, ඔබ පිළිගත් වික්ටෝරියානු අධ්‍යාපන සැපයුම්කරුවෙකුගෙන් උපාධිය ලබා තිබිය යුතුය.
- ඔබ Internationalisation ඛාණ්ඩය සඳහා අයදුම් කරන්නේ නම්, ඔබ දැනට වික්ටෝරියානු අධ්‍යාපන සැපයුම්කරුවෙකුගේ දේශීය ශිෂ්‍යයෙකු ලෙස පිළිගත් පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී සිටිය යුතුය.
- ඔබ සම්පූර්ණ නියමයන් සහ කොන්දේසි වලට එකඟ විය යුතුය.

