Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඇතැම් කොරෝනා නීති මේ සති අන්තයේදී තවත් ලිහිල් කෙරේ: මාර්තු 12 දා SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මාර්තු මස 12 වන දා සිකුරාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

More coronavirus restrictions to ease in Queensland this weekend
More coronavirus restrictions to ease in Queensland this weekend Source: AAP

Highlights

  • ඔක්තෝබර් වන විට ඔස්ට්‍රේලියවටම කොරෝනා එන්නත ලබා දී අවසන් කිරීමට නොහැකිවන බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම්වරයා පවසයි.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වාදුන් ඩොලර් බිලියන 1.2 කේ සංචාරක සහන පැකේජයට විපක්ෂයෙන් හා ඇතැම් ප්‍රාන්ත වලින් චෝදනා.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පනවා තිබෙන ඇතැම් කොරෝනා නීති මේ සති අන්තයේදී තවත් ලිහිල් කෙරේ.
  • අනතුරට පත්වූ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා සුවය ලැබීමට කොපමණ කාලයක් ගතවේද යන්න තවමත් පැහැදිලි නැති බව වැඩබලන ප්‍රාන්ත අගමැති පවසයි.
  • සීනි බදු වංචාව ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්.

ඔක්තෝබර් වන විට ඔස්ට්‍රේලියවටම කොරෝනා එන්නත ලබා දී අවසන් කිරීමට නොහැකිවන බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම්වරයා පවසයි

එළඹෙන ඔක්තෝබර් මාසය වන විට සමස්ත ඔස්ට්‍රේලියවටම කොරෝනා එන්නත ලබා දීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඉලක්කය වෙත ළඟා විය නොහැකි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් මහාචාර්ය Brendan Murphy පවසා තිබේ.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන පිළිබඳ පැවැත්වෙන පාර්ලිමේන්තු විමර්ශනය හමුවේ ඔහු මේ බව පැවසීය.

සෑම කොරෝනා එන්නතකම මාත්‍රා 2 බැගින් ලබා දිය යුතු අතර එම මාත්‍රා ද්විත්වයම එළඹෙන ඔක්තෝබර් මාසය වන විට සමස්ත ඔස්ට්‍රේලියවටම ලබා දී අවසන් කිරීමට රජය සැලසුම් කර තිබුණි.

නමුත් එම ඉලක්කය ප්‍රමාද වන බව මේ වන විට පෙනී ගොස් තිබේ.

එම ප්‍රමාද වීමට හේතු ලෙස දේශීයව නිෂ්පාදනය කෙරෙන කොරෝනා එන්නත් වල ඇති අවිනිශ්චිතතාවය හා ජාත්‍යන්තර සැපයුම් ගැටළු වෙත පාර්ලිමේන්තු විමර්ශනයේදී මහාචාර්ය Brendan Murphy  චෝදනා කළේය.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඇතැම් පුද්ගලයින්ට තම දෙවැනි කොරෝනා එන්නත දෙසැම්බර් මැද වන තෙක් නොලැබෙනු ඇතැයි ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වාදුන් ඩොලර් බිලියන 1.2 කේ සංචාරක සහන පැකේජයට විපක්ෂයෙන් හා ඇතැම් ප්‍රාන්ත වලින් චෝදනා

දේශීය ගුවන් සේවා සහ සංචාරක කර්මාන්තයට සහය වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වාදුන් ඩොලර් බිලියන 1.2 ක පැකේජය ඉතා පටු බවත් අපැහැදිලි බවත් විපක්ෂ නායක Anthony Albanese පවසයි.

අප්‍රේල් හා ජූලි මාස අතර ඔස්ට්‍රේලියාවේ සංචාරක ගමනාන්ත 13 ක් වෙත ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් වලට අදාළ ටිකට් පත් සඳහා 50% ක වට්ටමක් ලබා දීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.

මෙම වට්ටම දේශීය ගුවන් ටිකට් පත් ලක්ෂ 8 කට හිමිවේ.

නමුත් මෙය සංචාරක සහන පැකේජයක් නොව තෝරාගත් ගුවන් සේවා සහන පැකේජයක් බව විපක්ෂ නායක Anthony Albanese පැවසීය.

මෙම සංචාරක සහන පැකේජයේ නම් කර ඇති සංචාරක ගමනාන්ත 13 තෝරාගැනීමේදී ඇතැම් ප්‍රාන්ත වලින් වැඩි ගමනාන්ත ප්‍රමාණයක් ද ඇතැම් ප්‍රාන්ත වලින් එක් ගමනාන්තයක් පමණක් ද තෝරාගෙන තිබීම පිළිබඳ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රශ්න කරයි.

මේ අතර මෙම පැකේජය තම සමාගමට සුළු ප්‍රතිලාභයක් ලබා දෙන බව Flight Centre සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ Graham Turner පවසයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඇතැම් කොරෝනා නීති මේ සති අන්තයේදී තවත් ලිහිල් කෙරේ

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පනවා තිබෙන ඇතැම් කොරෝනා නීති මේ සති අන්තයේදී තවත් ලිහිල් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (13/03) අලුයම 1 සිට නිවසට ගෙන්වා ගත හැකි අමුත්තන් සංඛ්‍යාව 100 දක්වා වැඩි කෙරෙන අතර එළිමහන් ස්ථාන වල රැස්විය හැකි පිරිස 500 ක් දක්වා ඉහළ දැමේ.

එමෙන්ම මේ දක්වා පනවා ඇති කඳවුරු බිම් වල සිටිය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව හෙටින් පසු ඉවත් කරන බව ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk ප්‍රාන්ත පාර්ලිමේන්තුවට පැවසුවාය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන් යළි තම සුපුරුදු ජීවිතයට අවතීර්ණ වන බව මෙලෙස කොරෝනා නීති වැඩි වශයෙන් ලිහිල් කිරීමෙන් නිරුපණය වන බව ද ඇය පෙන්වා දුන්නාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


2030 වන විට ඔස්ට්‍රේලියානු පාසල්වලට ජාත්‍යන්තර දක්ෂතා දක්වන ඉහළම පාසල් කණ්ඩායම් වෙත ආපසු යා හැකියි

වසර 2030 වන විට ඔස්ට්‍රේලියානු පාසල්වලට ජාත්‍යන්තර දක්ෂතා දක්වන ඉහළම පාසල් කණ්ඩායම් වෙත ආපසු යා හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යපාන අමාත්‍ය Alan Tudge පැවසීය.

පසුගිය වසරවලදී ඔස්ට්‍රේලියානු පාසල් ගෝලීය අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම් වල පහතට ඇද වැටෙමින් තිබේ.

2018 වසරේදී විද්‍යාව හා ගණිතය පිළිබඳ ඔස්ට්‍රේලියානු පාසල්වල අයහපත්ම ප්‍රතිඵල වාර්තා විය.

අධ්‍යයන කටයුතුවලදී ඔස්ට්‍රේලියානු අවුරුදු 15 ක ළමයින් ඔවුන්ගේ චීන ජාතික මිතුරන් ට වඩා අවුරුදු තුනක් පසුපසින් සිටින බවට ගණන් බලා තිබේ.

ජාතික විෂය මාලාව, ගුරු අධ්‍යාපනය සහ ඇගයීම් වැඩසටහන් සංශෝධනය කිරීම මගින් ධනාත්මක ප්‍රතිඵල ලැබිය හැකි බව අධ්‍යපාන අමාත්‍ය Alan Tudge පැවසීය.

අනතුරට පත්වූ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා සුවය ලැබීමට කොපමණ කාලයක් ගතවේද යන්න තවමත් පැහැදිලි නැහැ

වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews හට සැලකිය යුතු කාලයක් සිය රාජකාරී වලින් බැහැරව සිටීමට සිදුවනු ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පවසයි.

තෙත පඩි පෙළකින් ලිස්සා වැටී අනතුරට පත්වූ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews මේ වන විට ඇල්ෆ්‍රඩ් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම අනතුරින් ඔහුගේ ඉළ ඇට කිහිපයක් බිඳී ගොස් ඇති අතර කොඳු ඇට පෙළේ T7 කශේරුකාව ද බිඳී ඇත.

Daniel Andrews සුවය ලැබීමට කොපමණ කාලයක් ගතවේද යන්න තවමත් පැහැදිලි නැති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පවසයි.


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත්


 

සීනි බදු වංචාව ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

ආනයනික සීනි සඳහා පැනවූ බදු වංචාවක් මඟින් ශ්‍රී ලංකා  රජයට රුපියල් බිලියන 15.9ක මුදලක් අහිමි කිරීම සහ ඒ මඟින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මේ පැමිණිල්ල අද (12/03) ගොනු කිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, විල්මා සමාගමේ සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති මේ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සිදු වූ සමයේ ශ්‍රී ලංකාවට ගෙන්වූ කඩු, කිනිසි පිළිබඳ විමර්ශනයක් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වූ සමයට පෙර හා පසුව විශාල ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද කඩු, කිනිසි හා ඒ හා සමාන ආයුධ සිය භාරයට ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණයට ගොනු කළ රීට් ආඥා පෙත්සමකට අදාළව නීතිපතිවරයා එම උපදෙස් ලබා දී ඇත.

මීට අමතරව විශාල ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද එම ආයුධ සඟවා තබාගෙන හා ගබඩා කර අති ස්ථාන මෙන්ම ඒවා සන්තකයේ තබා ගෙන හා බෙදා හැරී ස්ථාන ද හඳුනා ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

එවැනි කටයුතුවලට සම්බන්ධ පිරිස් හා එම ආයුධ ආනයනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ප්‍රතිපාදන අනුව ක්‍රියාකරන ලෙස ද නීතිපතිවරයා දුන් උපදෙස් අතර වේ.

මේ සම්බන්ධ වාර්තාවක් ලබන 26 වැනි දාට පෙර තමන් වෙත භාර දෙන ලෙස ද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.


5 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now