ක්‍රිකට් ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම පිට දඟ පන්දු යවන්නා ලෙස විරුදාවලිය ලත් මුත්තයියා මුරලිදරන් ICC විශිෂ්ටයන්ගේ නාමාවලියට මෙම වසරේ ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙන බව පසුගිය ජූලි 27 වන දින ප්‍රකාශයට පත්විය. ඒ අනුව ICC විශිෂ්ටයන්ගේ නාමාවලියට ඇතුළත් වන ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යද මුරලිට හිමි වනු ඇත. ඔහුට අමතරව එංගලන්තයේ හිටපු වේග පන්දු යවන්නකු වූ George Lohmann, ඔස්ට්‍රේලියාවේ හිටපු ආරම්භක පිතිකරුවකු වූ Arthur Morris සහ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වූ Karen Rolton මෙවර මෙම නාමාවලියට ඇතුළත් කර තිබේ.
ලෝක ක්‍රිකට් පිටියේ ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී මෙතෙක් වැඩිම කඩුලු ලාභියා බවට පත්වී තිබෙන මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී කඩුලු දහසේ සීමාව පසු කළ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයකු ලෙසද කීර්තියට පත්වී ඇත.
1992 වසරේ අගෝස්තු 28 වන දින ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ටෙස්ට් වරම් හිමි කරගත් මුරලි 2010 වසරේ ජූලි 22 වන දින ටෙස්ට් පිටියෙන් සමු ගත්තේ ගාල්ලේදී ඉන්දියාව සමග පැවති තරගයේ තම 800 වන ටෙස්ට් කඩුල්ලද බිඳ හෙළමිනි. ඔහුට මෙම දස්කම දක්වන්නට වැය වූයේ ටෙස්ට් තරග 133ක් පමණි.
1993 වසරේ අගෝස්තු 12 වන දින ඉන්දියාවට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී එක්දින ජාත්‍යන්තර තරග වරම් හිමි කරගත් මුරලි තම අවසන් එක් දින තරගය ක්‍රීඩා කළේද ඉන්දියාවට එරෙහිවය. 2011 වසරේ අප්‍රේල් දෙවෙනි දින පැවති එම තරගය ඔහුගේ 350 වන එක්දින තරගය වූ අතර තරගය අවසාන වන විට මුරලිගේ නමට හිමි මුළු එක්දින කඩුලු සංඛ්‍යාව 534 ක් විය.
1886 – 1896 කාලයේ එංගලන්තය නියෝජනය කරමින් වේග පන්දු යැවූ George Lohmann තම 100 වන ටෙස්ට් කඩුල්ල දවා ගත්තේ 1896 වසරේ මාර්තු මාසයේදී සිය 16වන ටෙස්ට් තරගයට සහභාගී වෙමිනි. මෙම වාර්තාව වසර 120ක් යනතුරු ද කිසිවකුටත් බිඳ හෙළීමට නොහැකි වී ඇත. ICC විශිෂ්ටයන්ගේ නාමාවලියට ඇතුළත් වන 27 වන එංගලන්ත ජාතිකයා බවට මොහු ඉතිහාසගත වනු ඇත.
මෙවර ICC විශිෂ්ටයන්ගේ නාමාවලියට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන ඔස්ට්‍රේලියාවේ හිටපු ආරම්භක පිතිකරුවකු වූ Arthur Morris 1946 වසරේ සිට 1955 වසර දක්වා ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩා කළේය. ටෙස්ට් තරග 46 කදී ලකුණු 3533 ක් රැස් කළ Arthur Morris ශතක 12ක් සහ අර්ධ ශතක 12 ක් තම නම ඉදිරියේ සටහන් කර තැබීමට සමත් විය. ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ අවසාන ටෙස්ට් තරගයේදී ඔහු ලකුණු බිංදුවකට දැවී යන විට අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටියේද Arthur Morris ය. ICC විශිෂ්ටයන්ගේ නාමාවලියට ඇතුළත් වන 22 වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට මොහු ඉතිහාසගත වනු ඇත.
1995 – 2009 කාලයේදී ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ Karen Rolton මෙවර ICC විශිෂ්ටයන්ගේ නාමාවලියට ඇතුළත් වන අවසන් ක්‍රීඩිකාව වෙයි. කලක් ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කළඇය 2001 වසරේ එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 209ක් ලබාගැනීමට සමත් විය. එය මෙතෙක් කලක් කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයයේ ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය බවටද පත්වී තිබේ.
ICC ප්‍රධාන විධායක David Richardson ප්‍රකාශ කර සිටියේ මෙවර ICC විශිෂ්ටයන්ගේ නාමාවලියට ඇතුළත් සිව් දෙනා විවධ කාල සීමාවන්ට ඇතුළත් නිසා මනා විවිධත්වයක් ඇති බවය. මුරලි සහ Karen මෑත කාලීන ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරන අතර Lohmann සහ Morris අතීත කාලය නියෝජන කරමින් මෙම ලැයිස්තුවට ඇතුලත් වීම ඊට හේතුව බවද ඔහු පවසයි.
ICC විශිෂ්ටයන්ගේ නාමාවලියට ඇතුළත් සියලු ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් හට ICC විශිෂ්ටයන්ගේ කැප් තොප්පිය හිමිවන අතර මෙය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තම ජීවිතය තුළ ලබාගත හැකි ඉහළතම සම්මානය බවද වාර්තා වේ.
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

