ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 4.1% දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන්ට තම නිවාස ණය වාරිකයට තවත් වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇත.
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය තවත් ඉහළට
මෙතෙක් 3.85% ක්ව තිබුණු ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 4.1%දක්වා ඉහළ දැමීමට ජුනි 06 වනදා රැස්වූ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මාණ්ඩලික රැස්වීමේදී තීරණය කෙරිණි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————
"ඔස්ට්‍රේලියාවේ උද්ධමනය එහි උච්චතම අවස්ථාව පසුකර ඇති නමුත් සියයට 7 ක් වැනි තවමත් ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය නැවත ඉලක්කගත පරාසයට පැමිණීමට තවත් කාලයක් ගතවනු ඇති" යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පොලි අනුපාතික යළි ඉහළ දැමීම පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙලෙස පොලී අනුපාත තවදුරටත් වැඩි කිරීම සාධාරණ කාල රාමුවක් තුළ උද්ධමනය ඉලක්කය වෙත ආපසු පැමිණෙන බවට වැඩි විශ්වාසයක් ලබා දීමක් බවද ඔහු එම නිවේදනයේ ප්‍රකාශ කර ඇත.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 7% ක්
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවට අනුව උද්ධමනයේ මිනුමක් වන පාරිභෝගික මිල දර්ශකය 2023 මාර්තු කාර්තුව සඳහා 7% ක් විය.
පාරිභෝගික මිල උද්ධමනය 2% ත් 3% ත් අතර මට්ටමකට ගෙන ඒම ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ ඉලක්කය වේ.
"ඉහළ උද්ධමනය මිනිසුන්ගේ ජීවිතය දුෂ්කර කරවන අතර ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට හානි කරනවා. එය ඉතුරුම් වල වටිනාකම ඛාදනය කරනවා, පවුලේ අයවැය වලට හානි කරනවා, ව්‍යාපාර සැලසුම් කිරීම සහ ආයෝජනය කිරීම දුෂ්කර කරනවා, සහ ආදායම් අසමානතාවය නරක අතට හැරෙනවා," යනුවෙන් ආචාර්ය Lowe සිය ප්‍රකාශයේ සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතික ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවටද මධ්‍යම බැංකු අධිපතිවරයා අනතුරු ඇඟවීය.
උද්ධමනය සාධාරණ කාල රාමුවක් තුළ මධ්‍යම බැංකුවේ ඉලක්කයට නැවත පැමිණීම සහතික කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම අවශ්‍ය විය හැකි නමුත් එය ආර්ථිකය සහ උද්ධමනය පරිණාමය වන ආකාරය මත රඳා පවතිනු ඇති යනුවෙන් ඔහු ඊට හේතු දැක්වීය.
ජුනි මාසයේ පොලී අනුපාත ඉහල යාම ඔස්ට්‍රේලියාවේ වසර 11ක ඉහලම පොලී අනුපාතික ඉහළ යාමේ අගය වාර්තා කලේය.
පසුගිය මාසයේ අනුපාත ඉහල යාම සිදුවූයේ අප්‍රේල් මාසයේ විරාමයකින් පසුවය.

භාණ්ඩාගාරික අමාත්‍යවරයාගේ ප්‍රකාශය
මෙලෙස පොලී අනුපාතික ඉහළ යාම නිවාස ණය ඇති පුද්ගලයින්ගේ ජීවිතය බෙහෙවින් දුෂ්කර කරනු ඇති බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසුවේය.
"මධ්‍යම බැංකුව මෙම තීරණ ස්වාධීනව ගනු ලබන අතර, ඒවා දෙවනුව අනුමාන නොකිරීමට මම මගේ උපරිමය කරමි," යනුවෙන් මධ්‍යම බැංකුවේ පොලී අනුපාතික ඉහළ දැමීමේ තීරණයෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදී භාණ්ඩාගාරික අමාත්‍යවරයා පැවසීය.
මෙම තීරණය තේරුම් ගැනීමට අපහසු සහ මෙහි ප්‍රතිඵලය දැරීමට අපහසු ඔස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක් සිටිනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.


