KEY POINTS:
- ලෝකයේ දැඩිම රේගු නීති කිහිපයක් ඔස්ට්‍රේලියාවේ තිබේ.
- ඔස්ට්‍රේලියාවට ගෙන යා හැකි දේ පිළිබඳ ඇති බොහෝ නීති රීති රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා සකසා තිබේ.
- ඔස්ට්‍රේලියානු රේගු නීතිවලට පටහැනිව ගුවන් යානයෙන් සපයන ආහාර, ලුණු දමා පදම් කරන ඌරු මස් නිෂ්පාදනයක් වන පැන්සෙටා සහ ලේනුන් මෙරටට රැගෙන එන ලද පුද්ගලයින් රේගුව විසින් සොයා ගෙන තිබේ.
ලෝකය පුරා සිදු කරන සංචාරයක් අතරමැද නවතා ඌරු මස් ටිකක් නිසා ආපසු හැරී යාමට සිදු වුණොත්, එය කොයි තරම් නම් නරක අත්දැකීමක් වේවිද ?
මස් සහ චීස් ඔස්ට්‍රේලියාවට රැගෙන ඒම නිසා මෙම මාසයේ මුලදී ස්පාඤ්ඤ තරුණයෙකු මෙරටින් පිටුවහල් කර තිබේ.
ඔස්ට්‍රේලියාවට ඇතුළු වන පුද්ගලයින් incoming passenger card නම් කාඩ්පත පිරවිය යුතු වේ.
මෙම කාඩ්පත මගින් යම් පුද්ගලයෙකු මෙරටට ඇතුළු වීමේදී රට තුළට ගෙන එන භාණ්ඩ වර්ග ගැන විමසනු ලබයි.
මෙම කාඩ්පත පිරවීමේදී තමන් ගෙන එන භාණ්ඩ නොවලහා ප්‍රකාශ කිරීමෙන්, ගුවන් මගීන් විසින් ඔවුන් ළඟ ඇති භාණ්ඩ අතුරින් රේගුව උනන්දුවක් දක්වන භාණ්ඩ මොනවාදැයි බලධාරීන්ට දන්වනු ලබයි.
ලෝකයේ දැඩි රේගු නීති කිහිපයක්ම ඇති ඔස්ට්‍රේලියාවට ඔබට ගෙන ආ හැක්කේ මොනවාද? ගෙන ආ නොහැක්කේ මොනවාදැයි විමසා බලමු.
සතුන්
ඔස්ට්‍රේලියාවට ගෙන ආ හැකි දේ පිළිබඳ ඇති බොහෝ නීති සහ සීමාවන් රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සකස් කර ඇති අතර මෙම දැඩි ජෛව ආරක්ෂණ පාලන ක්‍රම මගින් පළිබෝධ සහ රෝග රටට ඇතුළු වීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු මීට පෙර 2018 සිදුවීමක් ගැන විස්තර කළ අතර එය ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපලවල ජෛව ආරක්ෂණ නිලධාරීන් දැක ඇති වඩාත් පුදුම සහගත හා බරපතල සිදුවීම් වලින් එකකි.
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු බාලි හි සංචාරය කිරීමෙන් අනතුරුව සිය සිරුරේ සඟවාගත් සජීවී ලේනුන් රැගෙන බ්‍රිස්බේන් වෙත පැමිණ තිබේ.

ලේනුන්ට ජලභීතිකා රෝගය රැගෙන ආ හැකි අතර එම රෝගය බාලි හි දක්නට තිබේ.
එබැවින් එම රෝගය මෙහි පැමිණියහොත් මිනිසුන්ගේ සහ සතුන්ගේ සෞඛ්‍යයට විශාල හානියක් සිදුවනු ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ක්‍රිස් වෝකර් පවසයි..
එම පුද්ගලයාට මාස 18 ක සිරදඬුවමක් නියම කර ඇති අතර, ඔහු වසර පහක් පුරා හොඳ හැසිරීමක් ඇතිව සිටීමේ කොන්දේසිය මත වහාම නිදහස් කර තිබේ..
ආහාර
රේගුවේ නිර්ණායක සපුරාලන්නේ නම් පමණක් ඇතැම් ආහාර නිෂ්පාදන ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර ඇත.
වාණිජමය වශයෙන් සකස් කරන ලද බිල්ටොං හෝ ජර්කි ගෙන ඒම සදහා සාමාන්‍යයෙන් අවසර ඇති නමුත් , ඒවා ඌරු මස් වලින් සාදා ඇත් නම් ඊට රේගුවෙන් අවසර හිමි නොවේ.
නවසීලන්තයේ ටින් නොකළ මස් යම් නිර්ණායකයන්ට අනුකූල නම් ඔස්ට්‍රේලියාව තුළට ගෙන ඒමට හැකි නමුත් ගුවන් යානායේ සපයන ආහාර රට තුළට ගෙන ඒමට අවසර නැති වීම මෙහි ඇති විශේෂත්වයකි.
2022 වසරේ දී බ්‍රිස්බේන් ගුවන් තොටුපළේ ගුවන් ඉංජිනේරුවන් ලෙස තම රැකියාවට යන පුද්ගලයින් දෙදෙනෙක්ට ගුවන් යානයේ ආහාර රැගෙන ඒම සම්බන්ධව රේගුව විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
එවිට දෙදෙනාම රේගු පාලනයට යටත්ව ජාත්‍යන්තර ගුවන් යානාවලින් ගෙන ආ එම ආහාර ඉවත් කර තිබේ.
මේ අතර පාන් රෝල්ස්, ක්‍රිස්ප්ස්, චොක්ලට්, යෝගට් සහ මස් නිෂ්පාදන අඩංගු ගුවන් යානයේ සපයන ආහාර ද්‍රව්‍යවලින් පිරුණු මල්ලක් සමඟ එක් පුද්ගලයෙකු සොයා ගැනීමෙන් පසුව ඔහුට අවවාද කර තිබේ.

මෙවැනි ක්‍රියාවක් සඳහා යම් පුද්ගලයෙකුට ඩොලර් 111,000 දක්වා දඩයකට මුහුණ දීමට සිදු විය හැක.
ගුවන් යානයකින් පැමිණි ගුවන් සේවිකාවකගෙන් බේකරි නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුට ඩොලර් 3,300 ක දඩයක් ද නියම විය.
ශාක ද්‍රව්‍ය
2020 දී, කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා වසා දැමීමට පෙර, ඔස්ට්‍රේලියාවේ පැඟිරි කුලයේ ශාක නිෂ්පාදන කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කළ හැකි රෝග කාරකයක් සහිති පැඟිරි කුලයට අයත් පලතුරු මගීන් දෙදෙනෙකු විසින් වෙන වෙනම මෙරටට ගෙනැවිත් ඇති බව සොයා ගන්නා ලදී.
එක් අයෙක් දෙහි කිලෝග්‍රෑමයක් ද තවත් අයෙකු වියළි පැඟිරි ලෙලි යම් ප්‍රමාණයක් ද රැගෙන ආ අතර, ඒ සියල්ලේම citrus canker නම් ශාක බැක්ටීරියා රෝගයට අදාළ රෝග කාරකය ඇති බවට තහවුරු විය.
එම භාණ්ඩ විනාශ කළ නමුත්, ඒවා තම ගමන් මලුවල තිබූ පුද්ගලයින් රේගුවේදී ඒවා තමන් සතු බවට ප්‍රකාශ කර තිබූ නිසා දඩ ගෙවීමකට හෝ චෝදනාවකට යටත් වූයේ නැත.
දුම්කොළ
2019 දී, චීන ජාතිකයන් අට දෙනෙකු විසින් තමා සතු බව රේගුවේදී ප්‍රකාශ නොකරන ලද සිගරට් 170,000 ක් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට උත්සාහ කළ අතර ඔවුන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප වූ බව වාර්තා වේ.
තීරුබදු ගෙවීමකින් තොරව දුම්කොළ සහ මධ්‍යසාර කුඩා ප්‍රමාණයක් රට තුළට ගෙන ඒමට හැකි වුවද, මෙම භාණ්ඩ තමා සතුව ඇති බව රේගුවේදී ප්‍රකාශ කළ යුතු වේ.

වයස අවුරුදු 18 ට වැඩි සංචාරකයින්ට එක් විවෘත නොකළ සිගරට් 25 ක් සහිත පැකට්ටුවක් සහ විවෘත කළ සිගරට් පැකට්ටුවක් ගෙන ඒමට හැක.
තීරුබදු රහිත දීමනාවක් ලෙස සලකන්නේ මෙම සිගරට් ප්‍රමාණය වන අතර ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන එන ඕනෑම කෙනෙකුට භාණ්ඩ සඳහා තීරුබදු ගෙවීමට සිදුවේ.
ඔබ මෙරටදී තමන් සතු භාණ්ඩ ප්‍රකාශයට පත් කරන විට මේ ගැනත් සැලකිලිමත් වන්න.
සංචාරකයින් සදහා වන Incoming passenger කාඩ්පතේ ලැයිස්තුගත කර ඇති භාණ්ඩ තමන් සන්තකයේ ඇති බවට ප්‍රකාශ කර නොමැති බව අනාවරණය වුවහොත් රේගුවෙන් ඔවුන්ට දඩ හෝ නඩු පැවරිය හැකිය.
රේගු කාර්ය මණ්ඩලය භාණ්ඩ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න ඇසිය හැකි අතර ජෛව ආරක්ෂණ නිලධාරීන් ඒවා තක්සේරු කළ හැකිය.
බොහෝ අවස්ථාවලදී, ඔවුන් ඒවා පරීක්ෂා කළ පසු ප්‍රකාශිත භාණ්ඩ ආපසු ලබා දෙනු ඇත.
ලී කැටයම් වැනි සමහර භාණ්ඩ සඳහා ඒවා ආරක්ෂිත බවට පත් කිරීමට ප්‍රතිකාරක ගල්වා තිබීම අවශ්‍ය විය හැකි අතර, සමහර ලී භාණ්ඩ ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට කිසිසේත් අවසර නැත.
රේගු නිලධාරීන් මෙම භාණ්ඩ අල්ලා ගත්තොත් ඔවුන් ඒවා අපනයනය කිරීමට හෝ විනාශ කිරීමට ඉඩ තිබේ.
ගුවන් තොටුපළ පර්යන්තවල නම් කරන ලද කසල බඳුන් ද තබා ඇත. මෙරටට පැමිණෙන අයට ඔවුන් හිමිකම් කියන්නට අකැමති භාණ්ඩ බැහැර කිරීම සඳහා එම කසල බඳුන් භාවිතා කළ හැකිය.

