කෘතීම බුද්ධිය (AI) ආශ්‍රිත විප්ලවයේ නවතම හැරවුම ලෙස ChatGPT හැඳින්විය හැකිය.
බොහෝ ඔස්ට්‍රේලියානුවන් ChatGPT නැමති මෙම කෘත්‍රිම බුද්ධි මෙවලම භාවිතා කිරීමට මේ වන විට පුරුදු වී ඇත.
නමුත් ඔබ එය ඔබේ ජීව දත්ත පත්‍රිකාවේ කුසලතාවක් ලෙස ලැයිස්තුගත කරනවාද? ඔස්ට්‍රේලියාවේ නුදුරු අනාගතයේදී ChatGPT සමග කටයුතු කිරීම රැකියාවක් සඳහා ප්‍රබල සුදුසුකමක් වෙනවාද?
ඒ ගැන ඉඟියක් සිඩ්නි නුවරින් වාර්තා වී තිබේ.
ඉතාමත් මෑතකදී සිඩ්නි නුවර Ultimate Edge Communications වැනි සන්නිවේදන සමාගම් copywriter හෙවත් පිටපත් රචකයෙකු සඳහා රැකියා දැන්වීමක් පළ කළ නමුත් ඒ වෙනුවට මේ සතියේ 'ChatGPT prompt editor' රැකියා පුරප්පාඩුවක් සඳහා රැකියා දැන්වීමක් පළ කළේය.

ඔස්ට්‍රේලියාව තුළ ChatGPT භාවිතය
ChatGPT මෙවලම ගෙවීමක් කර ලබාගත හැකි version එකක් හෙවත් පිටපතක් තිබුණද සාමාන්‍ය ප්‍රජාවට ChatGPT free version එකක් හෙවත් නොමිලේ ලබාගත හැකි පිටපතක් ද තිබේ.
එනිසාම ඔස්ට්‍රේලියාවේ විවිධ වෘත්තීන්වල රැකියා කරන වෘත්තිකයින් මෙන්ම කුඩා ළමුන් ඇතුළු සාමාන්‍ය ජනතාවද මෙම ChatGPT භාවිත කිරීමට පෙළඹී ඇති බව මෙල්බර් නුවර කෘතීම බුද්ධිය පිළිබඳ පරිගණක විශේෂඥවරියක් වන ආචාර්ය රුවංගි ප්‍රනාන්දු SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ChatGPT යනු AI තාක්‍ෂණය මගින් මෙහෙයවනු ලබන ස්වාභාවික භාෂා සැකසුම් මෙවලමක් වන අතර එය ඔබට මිනිසුන් වැනි සංවාද කිරීමට සහ chatbot සමඟ තවත් බොහෝ දේ කිරීමට ඉඩ සලසයි.
මෙයට ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි අතර ඊමේල්, රචනා සහ code රචනා කිරීම වැනි කාර්යයන් සඳහා ද ඔබට සහාය විය හැක.
ChatGPT මත පදනම්ව ඇතැම් දියුණු AI තාක්ෂණික නිපැයුම් මේ වන විට ලෝකයේ නිෂ්පාදනය කර ඇති බවත් තවත් ඒවා ඕස්ට්‍රේලියාවේද මේ වන විට භාවිත කිරීම ආරම්භ කර ඇති බවත් රුවංගි ප්‍රකාශ කළාය.
මිනිස් ශ්‍රමිකයින් වෙනුවට පරිගණක ආදේශ කිරීමක් සිදුවේවිද?
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම රැකියා වෙබ් අඩවියක් වන SEEK හි freelance භූමිකාවක් වන ඉහත සඳහන් කළ prompt editor තනතුර සඳහා පැයක වැටුප $50 ක් ලෙස පළ කර ඇත.
"ChatGPT වෙතින් විමසා එහි ප්‍රතිචාරය ප්‍රේක්ෂකයින් ආකර්ශනය කර අදාළ නිෂ්පාදනවල අලෙවිය මෙහෙයවන බලවත් පිටපතක් බවට පරිවර්තනය කළ හැකි" පුද්ගලයෙකු එම රැකියා දැන්වීමෙන් අදාළ සමාගම ඉල්ලා සිටී.
"ලෝකය වෙනස් වී ඇත, අපි මුල සිට පිටපතක් ලිවීමට කෙනෙකු සොයන්නේ නැත. ඒ කාලය හමාරයි." යනුවෙන් එම දැන්වීමේ වැඩි දුරටත් සඳහන් වේ.
කෘතීම බුද්ධිය නිසා බොහෝ රැකියාවලට මිනිසුන්ගේ අවශ්‍යතාව නැතිවනු ඇතැයි ඇතැම් අය කනස්සල්ලට පත්ව සිටියද, අදාළ දැන්වීම පැහැදිලි කරන්නේ මිනිස් සේවකයෙකු තවමත් අවශ්‍ය වනු ඇති බවය.
ChatGPT ඇතුළු ඕනෑම කෘතීම බුද්ධි මෙවලමක් ක්‍රියා කරන්නේ එයට කවා ඇති දත්තවලට අනුව පමණක් බවත් විශේෂයෙන්ම එක් එක් රැකියාවන් සඳහා යොදන මිනිසාගේ නිර්මාණශීලිත්ව ගුණය සහ අනෙකුත් මානුෂීය සිතුවිලි මෙයින් යෙදිය නොහැකි බවද ආචාර්ය රුවංගි ප්‍රනාන්දු පැවසුවාය.

ChatGPT තාක්ෂණය යොදාගැනීමට වැඩි සම්භාවිතාවක් ඇති රැකියා ක්ෂේත්‍ර
සාමාන්‍ය අලෙවිකරණ රැකියාවක සිට වෛද්‍ය හෝ අධි තාක්ෂණික ක්ෂේත්‍රයක් දක්වා ඕනෑම ක්ෂේත්‍රයකට මෙම ChatGPT තාක්ෂණය යොදාගැනීමට හැකියාව ඇති බව මෙල්බර් නුවර කෘතීම බුද්ධිය පිළිබඳ පරිගණක විශේෂඥවරියක් වන ආචාර්ය රුවංගි ප්‍රනාන්දු SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

"මේ වන විට අපිට රැකියාවක් කරනවිට මොනවහරි හොයාගන්න අවශ්‍ය වුණොත් අපි කරන්නේ Google search කරන එක. නමුත් මේ ChatGPT තාක්ෂණය ඊට වඩා එහාට ගිය තාක්ෂණයක්. එයට කවා ඇති දත්තවලට අනුව Google search එකකින් ලබාදෙන පිළිතුරකට වඩා විශේෂඥ පිළිතුරක් මෙම ChatGPT එකෙන් ලබාගන්න පුළුවන්." බවත් රුවංගි පැහැදිලි කළාය.
එනිසාම ඕනෑම ක්ෂේත්‍රයකට මෙය භාවිත කිරීමට හැකි බව ඇය සඳහන් කළාය.
නමුත් අදාළ රැකියාවට අවශ්‍ය මානුෂීය ගුණාංග සහ මිනිස් හැඟීම් මුසු කර අදාළ උපදෙස් හෝ පිළිතුරු ලබාදීමට ChatGPT හට සිදු කිරීමට නොහැකි බවද රුවංගි පැවසුවාය.
"උදාහරණයක් ලෙස රෝගියෙකුට තමන්ගේ රෝග ලක්ෂණ ChatGPT වෙත පැවසුවොත් අදාළ රෝගය මොකද්ද සහ ඒ සඳහා කළ යුතු වෛද්‍ය පරීක්ෂණ ගත යුතු ඖෂධ වැනි දේ එම රෝගියාට පැවසිය හැකියි. නමුත් අදාළ රෝගියාගේ සෞඛ්‍ය ඉතිහාසය සහ ඇවතුම් පැවතුම් මත නිශ්චිතවම එම රෝගියාට නියම කළ යුතු ඖෂධ සහ පරීක්ෂණ නියම කිරීමට වැඩිපුර හැකියාවක් ඇත්තේ අදාළ වෛද්‍යවරයාටයි. එනිසා වෛද්‍යවරයා ගේ රැකියාව ChatGPT මගින් ප්‍රතිස්ථාපනය කිරීමට අපහසුයි." යනුවෙන් ඇය පැහැදිලි කළාය.

