Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නියෝජ්‍ය අගමැතිත් හුදකලා කෙරේ

ජුනි 25 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලීන වැඩසටහනේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ...

Acting NSW Premier John Barilaro addresses media during a press conference in Sydney.
New South Wales deputy premier John Barilaro Source: AAP

Highlights

  • ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරසයේ භයානකම කාල පරිච්ඡේදයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මුහුණ දෙමින් සිටින බව ප්‍රාන්ත අගමැතිනිය පවසයි
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නියෝජ්‍ය අගමැතිත් හුදකලා කෙරේ
  • සිඩ්නි කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයකු වික්ටෝරියා ප්‍රාන්තයෙන්
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ආසාදිතයින් වාර්තා වුනත් ප්‍රාන්ත නිලධාරීන් NSW ගැන අවධානයෙන්
  • ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා සිදුකරන අයදුම්පත් ගාස්තු ඉහල දැමීමට පියවර
  • දිනපතා ඉහල රෝගීන් වාර්තා වුවහොත් සංචරණ සීමා දැඩි කෙරෙන බවට බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම්
  • LTTE සාමාජිකයින් 16ක් සමග හිටපු මන්ත්‍රී දුමින්දටත් ජනාධිපති සමාව
  • ඔස්ට්‍රේලියාවට විරුද්ධව චීනයෙන් ලෝක වෙළඳ සංවිධානයට පැමිණිල්ලක්

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරසයේ භයානකම කාල පරිච්ඡේදයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මුහුණ දෙමින් සිටින බව ප්‍රාන්ත අගමැතිනිය පවසයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උද්ගතව ඇති තත්වය හමුවේ වුවද lockdown කිරීමකින් තොරව ඒ සඳහා සාර්ථකව මුහුණ දීමට හැකියාව හිමිවනු ඇතැයි විශ්වාස කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කොට සිටින්නේ ඔස්ට්‍රේලියාව තුල කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව හටගත් භයානකම කාල පරිච්ඡේදයට මේ වනවිට තම ප්‍රාන්තය මුහුණ දී සිටින බවයි.

මේ හේතුවෙන් සෑම ප්‍රාන්ත වැසියකුම නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍යවරිය ජනතාවට සඳහන් කොට සිටී.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල කොරෝනා වෛරසයේ Delta ප්‍රබේදය ව්‍යාප්ත වීම සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බෝවන රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය Peter Collignon පෙන්වා දෙන්නේ මේ වනවිට ජනතාව තුල මෙම වෛරසය සම්බන්ධයෙන් වන අවධානය අඩු කමක් දක්නට ලැබෙන බවයි.

කෙසේ නමුත් මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාවයේ අඩුවක් දක්නට නොලැබෙන බව මහාචාර්යවරයා සඳහන් කොට සිටී.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමග පැවති නිරෝධායනයෙන් තොරව සිදු කෙරෙන සංචාර තාවකාලිකව නවතා දැමීම තවත් දීර්ඝ කිරීමට නවසීලන්තය කටයුතු කොට තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නියෝජ්‍ය අගමැතිත් හුදකලා කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු සංකීර්ණය කොරෝනා වෛරසයට නිරාවරණය වූ ස්ථානයක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රාන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය John Barilaro හුදකලා කාලසීමාවකට යටත්ව තිබේ. මේ වනවිට ඔහු සිදු කල පරීක්ෂණ වල ප්‍රතිපල සෘණාත්මක වුවද ජුලි 6 වැනිදා දක්වා ඔහුට තවත් කොරෝනා පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

ප්‍රාන්ත කෘෂිකර්ම අමාත්‍ය Adam Marshall ද කොරෝනා වෛරසයට ධනාත්මක වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇතැයිද වාර්තා වේ.

ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සහ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard ද කොරෝනා වෛරසයට නිරාවරණය වන්නට ඇති බවට විශ්වාස කලද පසුව සිදු කල පරීක්ෂණ ඔස්සේ ඔවුන්ගේ ප්‍රතිපල සෘණාත්මක වී තිබේ.

කෙසේ නමුත් Deakin විද්‍යාලයේ මහාචාර්ය Catherine Bennett පවසන්නේ ඇතැම් පුද්ගලයින් හට නොසිතු සහ අවාසනාවන්ත ලෙස මෙම වෛරසය වැළඳෙන බවයි.

ඇය අවධාරණය කොට සිටින්නේ යම් පුද්ගලයකු නොදැනුවත්ව මෙම නව කොරෝනා ප්‍රබේදය වැළඳුනු පුද්ගලයකු පසු කර යාමේදී සිදු කරන හුස්ම ගැනීමකින් පවා වෛරසය වැළඳීමේ දැඩි අවදානමක් පවතින බවයි.

සිඩ්නි කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයකු වික්ටෝරියා ප්‍රාන්තයෙන්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයකු හමුවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් එම ආසාදිත පුද්ගලයා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් සොයා පරීක්ෂණ අරඹා තිබේ.

මෙම නව ආසාදිත පුද්ගලයාද මෙල්බර්න්හි වෙරළබඩ ප්‍රදේශයේ උප නගරයක් වන Sandringham ප්‍රදේශයේ dry-cleaning ව්‍යාපාරයක සේවකයකු වේ.

මෙම පුද්ගලයා ඊයේ සවස කොරෝනා වෛරසයට ධනාත්මක වී ඇති අතර මෙම පුද්ගලයාගේ පවුල් සාමාජිකයින් මේ වනවිට නිරෝධායනය කොට තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ආසාදිතයින් වාර්තා වුනත් ප්‍රාන්ත නිලධාරීන් NSW ගැන අවධානයෙන්

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ඊයේ නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වූ අතර මොවුන් තිදෙනා බ්‍රිස්බේන් හි කොරෝනා වෛරසයට ධනාත්මක වූ ගුවන් සේවිකාවගේ සිදුවීමට සෘජු සම්බන්ධතාවයක් පවතින බවට සොයාගෙන තිබේ.

 


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


කෙසේ නමුත් ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Jeannette Young සඳහන් කොට සිටින්නේ කෙසේ නමුත් තම ප්‍රාන්තය මේ වනවිට සිඩ්නි හි පවතින කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවයි.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා සිදුකරන අයදුම්පත් ගාස්තු ඉහල දැමීමට පියවර

Processing costs හෙවත් සැකසුම් ගාස්තු වැඩි ප්‍රමාණයක් ආවරණය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය අයදුම්පත් ගාස්තු ඉහල දැමීමේ මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වන සම්මත ගාස්තුව ඩොලර් 285 සිට ඩොලර් 490 දක්වා ඉහළ යාම සිදු වේ.

එමන්ම මේ සඳහා අයදුම් කරන්නන්ගේ පසුබිම සහ වෙනත් තත්වයන් මත මෙම ගාස්තුව ඉහල යා හැකි බවද වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය Alex Hawke අවධාරණය කොට සිටින්නේ ජුලි මාසයේදී මෙම මිල ඉහල යාම සිදු වන අතර එය වඩාත් සංකීර්ණ සහ වැඩි සැකසුම් කාලයක් ගතවන අයදුම් පත් සඳහා වන ගාස්තු පිළිබඳව හොදින් පෙන්වන බවයි.

දිනපතා ඉහල රෝගීන් වාර්තා වුවහොත් සංචරණ සීමා දැඩි කෙරෙන බවට බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම්

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,917 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 248,026 ක් දක්වා ඉහල ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආශ්‍රිත මරණ 45 ක් ද වාර්තා වී තිබේ.ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 2,814 ක් දක්වා ඉහල ගොස් තිබේ.

පවතින තත්වය අනුව මේ අයුරින් දිනකට කොරෝනා අසාදිත පුද්ගලයින් 2,000ක් පමණ වාර්තා වීම පැවතුනහොත් සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අනතුරු අඟවා සිටී.

LTTE සාමාජිකයින් 16ක් සමග හිටපු මන්ත්‍රී දුමින්දටත් ජනාධිපති සමාව

පොසොන් පොහොය නිමිති කරගනිමින් ජනාධිපති පොදු සමාව යටතේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර රැඳවියන් 93 දෙනෙකු ඊයේ නිදහස් කොට තිබේ.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කොට තිබේ.

මේ අතර අත්අඩංගුවට පත්ව සිටි හිටපු LTTE සාමාජිකයින් 16 දෙනෙකු හටද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඊයේ දිනයේදී නිදහස ලැබී තිබේ.

ඔස්ට්‍රේලියාවට විරුද්ධව චීනයෙන් ලෝක වෙළඳ සංවිධානයට පැමිණිල්ලක්

චීනය අපනයනය කරන Wind towers නොහොත් සුළං කුළුණු, Stainless steel sinks සහ දුම්රිය රෝද සඳහා වන තීරුබදු සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.

ඔස්ට්‍රේලියාව සහ චීනය අතර ආතතිය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පැවති අතර ඕස්ට්‍රේලියාවේ වයින් සඳහා චීනය පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් ලෝක වෙළඳ සංවිධානයට පැමිණිල්ලකට දින කිහිපයකට පසු මෙම තීරණයට චීනය එළඹ ඇති වාර්තා වේ


4 min read

Published

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now