වික්ටෝරියානු ප්‍රාන්ත රජය විදෙස් රටවල සමග ඇතිකරගත් ගිවිසුම් හතරක් අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.
ඒ අතර චීනය සමග ඇතිකරගත් ගිවිසුම් දෙකක් ද ඇති බව සඳහන්.
Highlights
- චීනය, ඉරානය සහ සිරියාව සමග වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඇතිකරගත් ගිවිසුම් හතරක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අහෝසි කර තිබේ.
- ඒ අතර චීනය සමග ඇතිකරගත් ගිවිසුම් දෙකක් ද ඇති බව සඳහන්.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව veto නීතිය මගින් මෙම ගිවිසුම් අහෝසි කර තිබේ.
ගිවිසුම් අහෝසි කිරීමට හේතු
චීනයේ Belt and Road initiative ව්‍යාපෘතියට සම්බන්ධව වික්ටෝරියානු ප්‍රාන්ත රජය චීනය සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම් අහෝසි කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Marise Payne ඊයේ (21/04) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය.
අනෙක් අහෝසි කළ ගිවිසුම් ඉරානය සහ සිරියාව සමග ඇතිකරගෙන තිබුණු ගිවිසුම් බව සඳහන්.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව veto නීතිය මගින් මෙම ගිවිසුම් අහෝසි කර තිබේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෑතකදී සම්මත කරගත් මෙම veto නීතිය මගින් අහෝසි කළ පළමු ගිවිසුම් ලෙස මෙම අහෝසි කළ ගිවිසුම් වාර්තා වේ.
"මෙම ගිවිසුම් හතර ඕස්ට්‍රේලියාවේ විදේශ ප්‍රතිපත්තියට පටහැනි හෝ අපගේ විදේශ සබඳතාවලට අහිතකර යැයි මම සලකමි." යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Marise Payne ප්‍රකාශ කළාය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මැදිහත්වීමකින් තොරව ප්‍රාන්ත ටෙරිටරි රජයන් විදෙස් රටවල සමග ඇතිකරගන්නා ගිවිසුම් අහෝසි කිරීමට මෑතකදී සම්මත කරගත් මෙම veto නීතිය මගින් මධ්‍යම රජයට බලය ලැබේ.

චීනයේ Belt and Road හෙවත් එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය
චීනයේ Belt and Road හෙවත් එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය සම්බන්ධව වික්ටෝරියානු ප්‍රාන්ත රජය ගිවිසුම් දෙකක් අත්සන් කර තිබුණි.
මෙම ව්‍යාපෘතිය රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධානවල ආයෝජනය කිරීම සඳහා චීන රජය විසින් වසර 2013 දී ආරම්භ කරන ලද ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන උපාය මාර්ගයකි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියා ප්‍රාන්තයේ යටිතල පහසුකම් ඉදිකිරීමේ වැඩ සටහනට චීන යටිතල පහසුකම් සමාගම්වල සහභාගීත්වය වැඩි කිරීම සහ චීනයේ වික්ටෝරියානු ව්‍යාපාරවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම අහෝසි කළ චීන - වික්ටෝරියා ගිවිසුම් වලට ඇතුළත් වී තිබුණි.
මෙම ගිවිසුම් අහෝසි කිරීම අවදානම් සහගත බවත්, කොරෝනා වසංගතයෙන් පසුව ,ඒ හරහා රැකියා ඉහළ දැමීමටත් ආයෝජන ගෙන ඒමටත් හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පසුගිය වසරේ අග භාගයේදී පැවසීය.

චීන - ඔස්ට්‍රේලියා සීතල යුද්ධය
පසුගිය වසර කිහිපය පුරාවටම චීනය සහ ඔස්ට්‍රේලියාව අතර විවිධ හේතු මත උණුසුම්කාරී තත්ත්ව හටගෙන තිබේ.
ඒ අතරේ පසුගිය වසරේ සිට එම සීතල යුද්ධය වෙළෙඳ යුද්ධයක් බවට පත්වී ඇත.
කොරෝනා වයිරසය ලොවට පැමිණියේ කොතැනින්ද යන්න සොයා බැලීම සඳහා ස්වධීන නිරීක්ෂණයක් සිදුකරන ලෙස ඔස්ට්‍රේලියාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් සිදු කිරීම එම වෙළෙඳ යුද්ධයට මූලිකම හේතුව වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මේ අතර පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරන භාණ්ඩ කිහිපයක්ම චීනය විසින් නිශ්චිත හේතු නොමැතිව ආනයනය කිරීම නවත්වා දමන ලදී.
මෙම අර්බුදය විසඳා දෙන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලෝක වෙළෙඳ සංගමයටද ඉල්ලීමක් යොමු කර තිබේ.

ගිවිසුම් අහෝසි කළාට චීනයේ විරෝධය
චීනයේ Belt and Road initiative ව්‍යාපෘතියට සම්බන්ධව වික්ටෝරියානු ප්‍රාන්ත රජය චීනය සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අහෝසි කිරීම සම්බන්ධව චීනය දැඩි අප්‍රසාදය හා දැඩි විරෝධය පා තිබේ.
මෙම තීරණය නිසා චීන - ඔස්ට්‍රේලියා ද්වි පාර්ශවික සම්බන්ධතාව බරපතල ලෙස පළුදු විය හැකි බවට චීනය පවසයි.
මෙය චීනයට එරෙහිව ඔස්ට්‍රේලියාව විසින් ගනු ලැබූ තවත් අසාධාරණ හා ප්‍රකෝපකාරී පියවරක් බව ඔස්ට්‍රේලියාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු පැවසීය.
චීන-ඔස්ට්‍රේලියානු සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අවංක අවශ්‍යතාවක් නොමැති බව මෙම ගිවිසුම් අහෝසි කිරීමෙන් තවදුරටත් පෙන්වා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

