වික්ටෝරියානු ප්‍රාන්තයේ Dining and Entertainment Program හෙවත් ආහාර පාන සහ විනෝදාස්වාද වැඩසටහන යළිත් විවෘත කර තිබේ.
මෙම වැඩසටහන යටතේ එක් පුද්ගලයෙකුට ආහාර පාන සහ විනෝදාස්වාදය සඳහා තමන් ගෙවූ බිල්පත්වලින් $125 ක් දක්වා නැවත ලබාගැනීමට හැකියාව ලැබේ.
මෙම වැඩසටහනට වෙන්කරන ලද සියලුම අරමුදල් අවසන් වනතුරු හෝ 2022 දෙසැම්බර් 16 වන දින රාත්‍රී 11:59 දක්වා මෙම සේවය ලබා දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු කර ඇත.
මුදල් ආපසු ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට නම් අදාළ ව්‍යාපාරයේ ABN සහ නම, මිලදී ගත් දිනය, මිලදී ගත් අයිතම සහ ගණුදෙණු එකතුව ඇතුළත් රිසිට්පතක් එම වෙළෙඳ සලෙන් ඔබ ලබා ගත යුතුය.
මෙම වැඩසටහන පහත ආකාරයෙන් කොටස් දෙකකට බෙදා ක්‍රියාත්මක වේ.

Source: Getty / Getty Images
Dining හෙවත් ආහාර පාන ගැනීම්
වික්ටෝරියා ප්‍රාන්තයේ කුමන ස්ථානයකදී හෝ ඔබේ ආහාර පාන ගැනීම සඳහා ඔබ ඩොලර් 40ක් හෝ ඊට වැඩි මුදලක් වැය කරන විට එම මුළු පිරිවැයෙන් 25% ක් යළි ඔබට ලබාගත හැකිය.
උදාහරණයක් ලෙස ඔබ ආහාර පාන ගැනීම සඳහා ඩොලර් 80 ක් වැය කළහොත් ඔබට ඩොලර් 20 ක මුදලක් ආපසු ලබා ගත හැකිවනු ඇත.
එක් පුද්ගලයෙකුට මෙලෙස ඩොලර් 125 ක් දක්වා උපරිම මුදලක් නැවත ලබාගත හැකි වන අතර ඒ සඳහා කිහිපවරක් ඩොලර් 40ට වැඩි බිල්පත් ඉදිරිපත් කිරීමට හැකිය.
විකල්පයක් ලෙස, ඔබ ආහාර හෝ විනෝදාස්වාදය සඳහා එක් මිලදී ගැනීමකදී $500 හෝ ඊට වැඩි වියදමක් කරන්නේ නම්, එක් රිසිට්පතක් යොමු කිරීමෙන් ඔබට සමස්ත $125 මුදල ආපසු ලබා ගත හැකිවේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ පහත සඳහන් ඕනෑම ස්ථානයකින් ආහාර ගන්නේ නම් ඔබට මේ සඳහා හිමිකම් පෑමට හැකිය:
- කැෆේ සහ අවන්හල්
- Bars සහ pubs (ආහාර අනිවාර්යෙන් මිලදී ගත යුතුය)
- මහජනතාවට විවෘත නොවන පුද්ගලික සමාජ ශාලා හැර ලියාපදිංචි සමාජ ශාලා
- බීර නිෂ්පාදනාගාර, ස්කාගාර සහ වයින් කර්මාන්තශාලා (ආහාර අනිවාර්යෙන් මිලදී ගත යුතුය)
- Fast food හා take away ස්ථාන, juice bars
- හෝටල් වැනි නවාතැන් පහසුකම් සපයන ස්ථාන තුළ මහජනතාවට විවෘතව ඇති අවන්හල් සහ කැෆේ
- ක්‍රීඩා, කලා සහ රංග භූමි තුළ පවතින hospitality ස්ථාන
- Food courts
- සිනමා ශාලා
- ජංගම ආහාර ට්‍රක් රථ, වෑන් රථ, ආපනශාලා සහ ට්‍රේලර් ඇතුළු තාවකාලික ආහාර පරිශ්‍ර
පහත සඳහන් දේවල් සඳහා මුදල් ආපසු ලබාගත නොහැකි බව ද වික්ටෝරියා ප්‍රාන්ත රජය දන්වා සිටී.
- Gift cards සහ තෑගී වවුචර්
- UberEats, DoorDash, Menulog, Deliveroo වැනි සේවාවන් හරහා නිවසටම ඇණවුම් කළ ආහාර (ආහාර පාන බෙදා හැරීම සඳහා ගාස්තුවක් අඩංගු රිසිට්පතක් මෙයට සුදුසුකම් නොලබයි)
- convenience stores, milk bar, සුපිරි වෙළඳසැල්, එළවලු හා පලතුරු වෙළෙඳ සැල්, සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම් ස්ථාන, රසකැවිලි වෙළඳසැල් සහ ඇසුරුම් කළ ආහාර වෙළඳසැල් වලින් මිලදී ගන්නා ආහාර
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
Entertainment හෙවත් විනෝදාස්වාදය
වික්ටෝරියා ප්‍රාන්තයේ පහත සඳහන් ඕනෑම විනෝදාස්වාද අත්දැකීමක් මිලදී ගත හැකි අතර ඕනෑම වේලාවක එය භුක්ති විඳිමට හැකිය:
- ක්‍රීඩා ඉසව් හැර වෙනත් උත්සව සහ ප්‍රසංග
- චිත්‍රපට
- ප්‍රදර්ශන සහ සමුළු
- කෞතුකාගාර, කලාගාර සහ සත්වෝද්‍යාන
- නාට්‍ය, සංගීතය, විකට, සාහිත්‍ය සහ විලාසිතා සංදර්ශන ඇතුළු සජීවී ප්‍රසංග
- විනෝද උද්‍යාන, ජල උද්‍යාන, theme parks, සංචාරක ෆෙරී සහ දුම්රිය, කුඩා ගොල්ෆ් සහ ගෝ-කාට් ස්ථාන
පහත සඳහන් දේවල් මෙම වැඩසටහන මගින් ආවරණය නොවන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය දැනුම් දෙයි.
- Gift cards සහ තෑගී වවුචර්
- ක්‍රීඩා තරග, ක්‍රීඩා පන්ති. පුද්ගලික යෝග්‍යතාවය සහ ඕනෑම ක්‍රීඩා ඉසව්වකට ඇතුළුවීම ඇතුළු දේ
- කැසිනෝ සහ සූදු ක්‍රීඩා ස්ථාන ඇතුළු gaming ස්ථාන
- ප්‍රවාහන ගාස්තු
- ටිකට් නැවත විකිණීම