Highlights
- සීග්‍ර කොරෝනා ව්‍යාප්තිය නිසා ඕස්ට්‍රේලියානු ජාතික ආරක්ෂක කමිටුව හදිසි රැස්වීමක් කැඳවයි
- නොදර්න් ටෙරිටරියේ ඩාවින් කලාපය දින දෙකකට lockdown
- බටහිර ඕස්ට්‍රේලියා කොරෝනා සීමා දැඩි කරේ
- දකුණු ඔස්ට්‍රේලියාවේ කොරෝනා සීමා
- Bondi කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන තවදුරටත් ඉහලට
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Delta ප්‍රබේදය අසාදිත කාන්තාවක් ප්‍රජාවෙන් හමුවේ
- කොරෝනා වෛරසය වැළඳී ඇති බවට විශ්වාස කරන බ්‍රිස්බේන් සිට මෙල්බර්න් දක්වා පැමිණි මගීන් 128ක් සොයා පරීක්ෂණ
- අනතුරකට මුහුණ දුන් වික්ටෝරියානු අග්‍රාමාත්‍යවරයා යලිත් සිය රාජකාරි අරඹයි
- ඕස්ට්‍රේලියානුවන් 4%කට සම්පුර්ණයෙන්ම කොරෝනා එන්නත ලබා දේ
- ඇමරිකාවේ Miami හි අනතුරින් මියගිය පිරිස 9 දක්වා ඉහලට අතුරුදන් වුවන් සොයා පරීක්ෂණ
- බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායමේ දඟ පන්දු උපදේශකවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත්
සීග්‍ර කොරෝනා ව්‍යාප්තිය නිසා ඕස්ට්‍රේලියානු ජාතික ආරක්ෂක කමිටුව හදිසි රැස්වීමක් කැඳවයි
ඔස්ට්‍රේලියාව තුල නැවතත් ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති කොරෝනා වෛරස තත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා අද(28) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවීමට ඕස්ට්‍රේලියානු ජාතික ආරක්ෂක කමිටුව තීරණය කළේය
කොරෝනා වෛරසය ඔස්ට්‍රේලියාව තුල ව්‍යාප්ත වීම ඇරඹි දින සිට සමස්ත ඔස්ට්‍රේලියාව තුල එකවර ක්‍රියාත්මක වූ පුළුල්ම සීමා පැනවීම මෙය ලෙස සැලකේ
නොදර්න් ටෙරිටරියේ රත්‍රන් පතලක සේවයෙහි නිරතවූ කොරෝන අසාදිත පුද්ගලයකු හා සම්බන්ධ තවත් ආසාදිතයින් හඳුනාගැනීමත් සමග ග්‍රේටර් ඩාවින් කලාපය දින දෙකකට lockdown කිරීම සිදු කල අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ සඳහා දින 14ක Lockdown තත්වයක් ප්‍රකාශයට පත් කළේය.
කෙසේ නමුත් මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හටගත් කොරෝනා පොකුර හා සම්බන්ධ ආසාදිතයින් සංක්‍යාව මේ වනවිට 100ය ඉක්මවා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිඩ්නි විශ්වවිද්‍යාලයේ සායනික වසංගත රෝග විද්‍යාව පිලිබඳ මහාචාර්ය Angela Webster සඳහන් කොට සිටින්නේ මෙම තත්වයත් සමග මේ වනවිට කොරෝනා එන්නත ලබාගැනීමට පසුබට වූ පිරිස එන්නත් ලබාගැනීමට දිරිමත් වනු ඇති බවයි.
එමෙන්ම Angela පෙන්වා දෙන්නේ කිසි විටෙකත් පුද්ගලයින් සමාජයෙන් වෙන්ව නොසිටින අතර මේ හේතුවෙන් බොහෝ දෙනෙක් කොරෝනා එන්නත ලබාගැනීම අනිවාර්ය වන බවයි
නොදර්න් ටෙරිටරියේ ඩාවින් කලාපය දින දෙකකට lockdown
නොදර්න් ටෙරිටරියේ රත්‍රන් පතලක සේවයෙහි නිරත පුද්ගලයකු කොරෝනා වෛරසයට ධනාත්මක බවට පසුගිය සිකුරාදා (25) හඳුනාගත් අතර එම සිදුවීම හා සම්බන්ධ තවත් ආසාදිතයින් හඳුනාගැනීමත් සමග ග්‍රේටර් ඩාවින් කලාපය දින දෙකකට lockdown කිරීමට නොදර්න් ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය Michael Gunner තීරණය කොට තිබේ.
මේ අනුව එම කලාපයේ පුද්ගලයින් හට අහාර ලබාගැනීම, ප්‍රතිකාර හෝ රැකබලගැනීම් සේවා සහ කිලෝ මීටර 5 සීමාවකට යටත්ව ව්‍යායාම කිරීම වැනි අත්‍යවශ්‍ය කරුණු මත පමණක් නිවසින් පිටවීමට හැකියාව හිමි වේ.
නිවසින් පිටත මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර නොදර්න් ටෙරිටරි වැසියන් හට දේශසීමා අතර සංචාරය කිරීමට අවසර හිමි නොවේ.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න
පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට
මෙලෙස සිකුරාදා දින හඳුනාගත් කොරෝනා ආසාදිත පතල් සේවකයා හා සම්බන්ධ සෙසු ආසාදිතයින් සිව් දෙනාගෙන් දෙදෙනකු Tanami කාන්තාරයේ පවතින එම පතල් පරිශ්‍රයේ පසුවේ. නමුත් සෙසු ආසාදිතයින් දෙදෙනාගෙන් එක අයකු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා Palmerston හි සිය නිවසට යාමට පෙර ඩාවින් වෙත ගමන් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නොදර්න් ටෙරිටරි ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කොට සිටින්නේ කොරෝනා වෛරසය ඇතිවීමෙන් පසු නොදර්න් ටෙරිටරිය මුහුණ දුන් විශාලතම තර්ජනයට මේ වනවිට මුහුණ දෙමින් සිටින බවයි.
එමෙන්ම මේ තත්වය සම්බන්ධයෙන් හැකි සාම පියවරක්ම ඉක්මනින් ගතයුතු අතර කල්ගතවීම මගින් තත්වය බරපතල විය හැකි බවත් ඔහු පවසයි.
බටහිර ඕස්ට්‍රේලියා කොරෝනා සීමා දැඩි කරේ
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නිහි සිට පැමිණි කාන්තාවක් කොරෝනා වෛරසයට ධනාත්මක වීමත් සමග බටහිර ඔස්ට්‍රේලියාවේ Perth සහ Peel යන ප්‍රදේශ සඳහා දින තුනක කාලයකට දැඩි කොරෝනා සීමා පනවා තිබේ.
මෙම කාන්තාව සිඩ්නිහි අවදානම් සහිත ප්‍රදේශ වෙත ගමන් කොට ඇති අතර පසුගිය 22 වැනිදා සිට 24 වැනිදා දක්වා වෛරසය වැළඳී සිටියදී ප්‍රජාව අතර සිට ඇති බවට විශ්වාස කෙරේ.
එමෙන්ම මෙම කාන්තාව සම්බාහනය සහ ව්‍යායාම වැනි ක්‍රම ඔස්සේ රෝග සහ විකෘතිතා සුවපත් කරන භෞතික චිකිත්සකවරියක වන අතර ඇය පාසල් ඇතුළු ස්ථාන ගණනාවකට ගොස් තිබේ.
කොරෝනා සීමා පවතින ප්‍රදේශයන්හි ගෘහස්තව සහ පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
එක් නිවසකට පුද්ගලයින් 30 දෙනෙකු හට පමණක් යාමට හැකියාව හිමි වේ.
පොදු කටයතු සඳහා පුද්ගලයින් 150 දෙනෙකු හට පමණක් සහභාගී විය හැක.
එමෙන්ම වික්ටෝරියා , නොදර්න් ටෙරිටරි , ක්වීන්ස්ලන්ත සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් පැමිණෙන පිරිස සඳහාද බටහිර ඔස්ට්‍රේලියාව සිය දේශසීමා දැඩි කොට තිබේ. එලෙස පැමිණෙන පුද්ගලයින් අනිවාර්ය කොරෝනා පරීක්ෂාව සිදු කලයුතු අතර දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතු වේ.
නමුත් දකුණු ඔස්ට්‍රේලියාව සහ ටස්මෙනියව අඩු අවදානමක් සහිත ප්‍රාන්ත වශයෙන් සැලකේ
කෙසේ නමුත් මේ වනවිට කොරෝනා වෛරසයේ ශීග්‍ර පැතිරීමක් දක්නට ලැබෙන හෙයින් පවතින තත්වය මත ඉදිරි දින වලදී තම ප්‍රාන්තය Lockdown කිරීමට පසුබට නොවන බව බටහිර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Mark McGowan පවසයි.
ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එළඹෙන තත්වය අනුව සීමා වැඩිකිරීම හෝ lockdown කිරීම පිළිබඳව තීරණය කරන අතර දිගුකාලීන සැලසුම් වශයෙන් කොරෝනා එන්නත් ලබාදීම කාර්යක්ෂම කිරීම අත්‍යාවශ්‍ය වන බවයි
දකුණු ඔස්ට්‍රේලියාවේ කොරෝනා සීමා
නොදර්න් ටෙරිටරියට /ක්වීන්ස්ලන්තයට/ බටහිර ඔස්ට්‍රේලියාවට සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියට සිය දේශසීමා වසා දැමීමට දකුණු ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබේ.
එම ප්‍රාන්ත වලින් පැමිණෙන දකුණු ඕස්ට්‍රේලියා වැසියන් හට සහ අත්‍යාවශ්‍ය සංචාරකයින් හට දකුණු ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර හිමි වේ.
නිව් සවුත් වේල්ස් වැසියන් හට මෙම ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් වන අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් පැමිණෙන පිරිස පළමු දිනයේම කොරෝනා පරීක්ෂාව සිදු කලයුතු වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Steven Marshall සඳහන් කොට සිටින්නේ අද දිනයේදී කොරෝනා නීතීන්හි සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් නිවේදනය කිරීම සිදු වනු ඇති බවයි.
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය මුහුණු ආවරණ අනිවාර්ය කරයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ස්ථාන වල සහ පොදු ප්‍රවාහන සේවයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන බව ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය Andrew Barr පවසයි.
මෙය පුර්වාරක්ෂාවක් වශයෙන් ගන්න ක්‍රියාමාර්ගයක් වන අතර මෙය වෛරස වාතය මගින් සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා බෙහෙවින් උපකාරී වන බවද ඔහු සඳහන් කොට සිටි.
Bondi කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන තවදුරටත් ඉහලට
පසුගිය පැය 24ක කාලය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී තිබේ.
මුහුණු ආවරණ නොපැලඳි, කොරෝනා එන්නත නොලැබි සිඩ්නිහි රියදුරකු සිඩ්නි ගුවන්තොටුපලේ සිට ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු රැගෙන යාමෙන් අනතුරුව සිඩ්නි හි කොරෝනා පොකුර ඇරඹීම සිදුවිය.
එම රියදුරාගෙන් පසු ඔහුගේ බිරිඳට වෛරසය වැළඳී ඇති අතර එතැන් සිය වෛරසය ශීග්‍ර ලෙස ව්‍යාප්ත වීම සිදුවිය.
කෙසේ නමුත් මෙම රියදුරා කිසිදු අයුරකින් සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීමක් සිදු කොට නොමැති අතර ඒ හේතුවෙන් ඔහුට කිසිදු චෝදනාවක් එල්ල නොවේ.
කෙසේ නමුත් විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් සමග සම්බන්ධතා පැවැත්වීමට සිදුවන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටින සෑම පුද්ගලයකුම මුහුණු ආවරණ පැළඳීම සහ කොරෝනා එන්නත ලබාගැනීම අනිවාර්ය වේ.
නිව් සවුත් වේල්ස් අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කොට සිටින්නේ මේ වනතෙක් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් තාමන් හට කිසිදු පසුතැවීමක් නොමැති බවයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආර්ථිකය විවුර්තව තබාගැනීම සඳහා Lockdown තත්වයක් ප්‍රකාශ කිරීමට කල්ගතවීම සම්බන්ධයෙන් වන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය සඳහන් කොට සිටියේ සාම පියවරක්ම අදාළ සෞඛ්‍ය උපදෙස් අනුව තමන් ක්‍රියා කල අතර පුද්ගලයින් මිලියන ගණනකට බලපාන මෙම දැඩි තීරණය සම්බන්ධයෙන් සුළු ලෙස නොතැකූ බවයි.
Greater Sydney, Blue Mountains, Central Coast සහ Wollongong යන බල ප්‍රදේශ සඳහා ජූලි මස 9 වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා lockdown තත්වයේ පසුවේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Delta ප්‍රබේදය අසාදිත කාන්තාවක් ප්‍රජාවෙන් හමුවේ
පසුගිය පැය 24ක කාලය තුලදී ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් එක් අයකු ප්‍රජාව අතුරින් හඳුනාගෙන තිබේ.,මෙම කාන්තාව හට Delta කොරෝනා ප්‍රබේදය වැළඳී ඇති අතර ඇය නොදර්න් ටෙරිටරියේ රත්‍රන් පතලේ සේවය කොට ඇති බවද හෙළිව තිබේ.
මේ අනුව හෙට උදෑසන 1 සිට ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක මුහුණු ආවරණ අනිවාර්ය කොට තිබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින්ගෙන් දෙදෙනකු බ්‍රිස්බේන් කොරෝනා පොකුරට සම්බන්ධ වේ. එමෙන්ම මොවුන් දෙදෙනා බ්‍රිස්බේන් හි සමාජය තුලද වෛරසය වැළඳී තිබු කාලය අතරතුර සිට තිබේ.
කොරෝනා වෛරසය වැළඳී ඇති බවට විශ්වාස කරන බ්‍රිස්බේන් සිට මෙල්බර්න් දක්වා පැමිණි මගීන් 128ක් සොයා පරීක්ෂණ
පසුගිය පය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු කල පරීක්ෂණ 17,617 ඔස්සේ ප්‍රජාව අතුරින් කිසිදු කොරෝනා ආසාදිතයකු හමු නොවූ බව වාර්තා වේ.
එමන්ම බ්‍රිස්බේන් සිට මෙල්බර්න් දක්වා ගමන් ගත් මගීන් 128 දෙනෙකු සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂණ අරඹා තිබේ.
මෙම පිරිස ගමන් ගත් යානයේ ගුවන් සේවිකාවක පසුගිය 26 වැනිදා කොරෝනා වෛරසයට ධනාත්මක වීම ඊට හේතුව වේ.
එමෙන්ම මෙල්බර්න් ගුවන්තොටුපල සහ Holiday Inn Express හෝටලයද ප්‍රාන්තයේ අවදානම් ස්ථාන වශයෙන්ද නම් කොට තිබේ.
අනතුරකට මුහුණ දුන් වික්ටෝරියානු අග්‍රාමාත්‍යවරයා යලිත් සිය රාජකාරි අරඹයි
මේ අතර වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews අද සිට අද සිට නැවතත් සිය රාජකාරි කටයුතු ආරම්භ කොට තිබේ.
ලිස්සා වැටීමක් හේතුවෙන් ඔහුගේ කොඳු ඇට පෙලට සහ ඉල ඇට කිහිපයකට සිදු වූ අනතුරු හේතුවෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews මාස 3ක පමණ කාලයක් සේවයෙන් ඉවත්ව පසුවිය.
ඔහු සඳහන් කොට සිටියේ වැටීමෙන් දරුණු දෙයක් සිදු වූ බව තමන් හට අනතුරට මුහුණ දුන් මොහොතේම වැටහුන බවයි.
ඕස්ට්‍රේලියානුවන් 4%කට සම්පුර්ණයෙන්ම කොරෝනා එන්නත ලබා දේ
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටින්නේ සමස්ත ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 4 ක් පමණ සම්පූර්ණයෙන්ම එන්නත ලබා දී ඇති බවයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව මේ වනවිට එන්නත් මාත්‍රා මිලියන 7කට වඩා වැඩි සංක්‍යාවක් ඕස්ට්‍රේලියානුවන් හට ලබාදී තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ එය සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 28.5% කට වයස අවුරුදු 50ට වැඩි පිරිසෙන් 50.8%කට වැඩි ප්‍රතිෂතයකට, වයස අවුරුදු 60ට වැඩි පිරිසෙන් 59.5%කට සහ වයස අවුරුදු 70ට වැඩි පිරිසෙන් 68%කට කොරෝනා එන්නත් මේ වනවිට ලබාදී ඇති බවයි.
ඇමරිකාවේ Miami හි අනතුරින් මියගිය පිරිස 9 දක්වා ඉහලට අතුරුදන් වුවන් සොයා පරීක්ෂණ
ඇමරිකාවේ Miami හි මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක් පසුගියදා කඩාවැටීමට ලක්වූ අතර මේ වනවිට එම අනතුරෙන් වාර්තා වන මරණ සංක්‍යාව 9 දක්වා ඉහල ගොස් තිබේ.
Miami හි Surfside ප්‍රදේශයේ මෙම අනතුර සිදු වූ අතර තවමත් පුද්ගලයින් 150 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කල පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී ඇත්තේ 2018 වසරේදී ඉංජිනේරුවකු වාර්තාවක් තුල මෙම ගොඩනැගිල්ලේ පැවති ජලාපවාහන ගැටළු සහ බිත්ති ඉරිතැලීම් සම්බන්ධයෙන් සඳහන් කොට ඇති බවයි.
කෙසේ නමුත් Miami-Dade ගිනි නිවීමේ අංශ ප්‍රධානී Alan Cominsky පවසන්නේ දිවි බේරාගත් පුද්ගලයින් සිටින බවට විශ්වාස කරන ස්ථාන වල තම කාර්ය මණ්ඩලය සහන සේවයෙහි අඛණ්ඩව නිරත අතර පවතින සුන්බුන් හේතුවෙන් එම කාර්යයන් අපහසු වී ඇති බවයි.
බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායමේ දඟ පන්දු උපදේශකවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශකවරයා වශයෙන් හිටපු ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත්කොට තිබේ.
වමත් දඟ පන්දු යවන හිටපු ක්‍රීඩක රංගන හේරත් සිය ක්‍රිකට් දිවිය තුල කඩුලු 433ක් ලබා ක්‍රිකට් ඉතිහාසයට එක් වූ ක්‍රීඩකයෙකි.
ලබන මසදී බංග්ලාදේශ කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම සමග ටෙස්ට් තරඟයකට, 20 20 තරඟ තුනකට සහ එක්දින තරඟ තුනකට සහභාගී වීමට නියමිතව තිබේ.
මෙම සංචාරය හේතුකොටගනිමින් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු උපදේශකවරයා වශයෙන් හිටපු ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත්කොට ඇතැයි වාර්තා වේ.

