ඔස්ට්‍රේලියාවේ 2020/21 මුල්‍ය වර්ෂය එළඹෙන ජුනි 30 වන දිනෙන් අවසන් වන නිසා බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් තම වාර්ෂික Tax Return එක හෙවත් බදු ප්‍රතිලාභය සකස් කිරීමට උත්සාහ දරමින් සිටියි.
නමුත් සනාථ නොකරන ලද වියදම් හුවා දක්වමින් කෙරෙන ආදායම් බදු අඩු කිරීම් සම්බන්ධව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවා තිබේ.
Highlights
- අනවශ්‍ය ආකාරයෙන් Work-from-home වියදම් නොදක්වන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවා සිටී.
- කුලී දේපල හිමිකම් සම්බන්ධ දක්වන වියදම් පිළිබඳවද මෙවර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වැඩි අවධානයක් යොමු කර ඇත.
- Uber, Uber Eats, Deliveroo, Airbnb, Airtasker වැනි ක්ෂේත්‍රවල රැකියා කරන්නන්ගේ ආදායම්, වාර්තා කරන ලෙසද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඉල්ලා සිටියි.
මෙවර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ මූලික අවධානය යොමුවී ඇති ක්ෂේත්‍ර
මෙවර ආදායම් බදු සමයේදී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ මූලික අවධානය ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි යොමුවී ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම ක්ෂේත්‍ර පහත පරිදි වේ.
- Work-from-home හෙවත් නිවසේ සිට රාජකාරී කිරීමේදී දක්වන වියදම්
- Rental property claims හෙවත් කුලී දේපල හිමිකම්
- Gig economy workers හෙවත් ස්වාධීනව රැකියා කරනන්ගේ ආදායම්
- cryptocurrency වෙළෙඳුන්

Work-from-home හෙවත් නිවසේ සිට රාජකාරී කිරීමේදී දක්වන වියදම්
කොරෝනා වසංගතය සමග Work-from-home හෙවත් නිවසේ සිට රාජකාරී කිරීම් ඉහළ ගිය අතර ඒ සඳහා වන වියදම් ද ඉහළ ගොස් තිබේ.
2019/20 මුල්‍ය වර්ෂයේ Tax Return එකේදී මිලියන 8.5 ක් පමණ ඔස්ට්‍රේලියානුවාසීන් රැකියා ආශ්‍රිත වියදම් ලෙස ඩොලර් බිලියන 19.4 ක් නැවත ලබාගෙන ඇත.
2018/19 මුල්‍ය වර්ෂයේ එම මුදල ඩොලර් බිලියන 20.7 කි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
2018/19 මුල්‍ය වර්ෂයට වඩා මිලියන 4.4 ක සේවකයින් 2019/20 මුල්‍ය වර්ෂයේදී නිවසේ සිට රාජකාරී කිරීමේදී සිදුවූ වියදම් තම Tax Return එකෙන් යළි ලබාගෙන ඇත.
කෙසේනමුත්, රැකියා සඳහා යන ප්‍රවාහන වියදම්, මෝටර් රථ වියදම්, ලොන්ඩරි වියදම්, නිල ඇඳුම් සඳහා යන වියදම්, ව්‍යාපාරික ගමන් සඳහා යන වියදම් වැනි වියදම් රාශියක් නිවසේ සිට රාජකාරී කිරීම නිසා විශාල වශයෙන් පහත බසිනු ඇතැයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අපේක්ෂා කරයි.
එනිසාම අනවශ්‍ය ආකාරයෙන් Work-from-home වියදම් නොදක්වන ලෙසද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවා සිටී.

Rental property claims හෙවත් කුලී දේපල හිමිකම්
නිවෙස් හිමියන් අඩු සංඛ්‍යාවක් ඔවුන්ගේ නිවාස කුලියට දීමෙන් පාඩු ලබන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ බදුකරණ සංඛ්‍යාලේඛනවලින් පෙනී ගොස් තිබේ.
2018/19 මුල්‍ය වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ගොනු කළ මිලියන 14.7 කට ආසන්න සංඛ්‍යාවෙන් නිවෙස් හිමියන් මිලියන 2.24 ක් සිටි අතර ඔවුන්ගෙන් 59% කට ආසන්න සංඛ්‍යාවක් අඛණ්ඩව ආදායම් අහිමි වූ බව පවසා ඇත.
එහිදී සාමාන්‍ය කුලී අලාභය (average net rental loss) ඩොලර් 1,352 ක් ලෙස ප්‍රකාශ කර තිබුණි.
තමන් ජීවත් වන නිවසේ මුළුතැන්ගෙයි අලුත්වැඩියාව මෙන්ම refinancing කිරීම වැනි වියදම් වාර්ෂික බදු සැකැස්මේදී ඇතැම් පුද්ගලයින් වියදම් ලෙස යොදන බවත් එය ගැටලුකාරී බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.
එමෙන්ම තම කුලී නිවාසය සඳහා වූ නිවාස ණය මත පනවන පොලියද ඔවුන් යළි ලබාගැනීමට උත්සහ කරන බවද සඳහන්.
එනිසා කුලී දේපල හිමිකම් සම්බන්ධ දක්වන වියදම් පිළිබඳවද මෙවර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වැඩි අවධානයක් යොමු කර ඇත.

Gig economy workers හෙවත් ස්වාධීනව රැකියා කරනන්ගේ ආදායම වාර්තා කිරීම
Uber, Uber Eats, Deliveroo, Airbnb, Airtasker වැනි ඩිජිටල් මාධ්‍ය හා සම්බන්ධ වෙමින් ආදායම් ලබන ස්වාධීන රැකියා කරන්නන්ගේ ආදායම් වාර්තා කරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඉල්ලා සිටියි.
එවැනි පුද්ගලයින්ට එම රැකියාව කිරීමේදී ඒ සඳහා වන වියදම් තම බදු වලින් යළි ලබාගැනීමට හැකි බවත් ඒ සඳහා ක්‍රමවත් ලෙස රිසිට් පත් තබාගත යුතු බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.
ඔස්ට්‍රේලියාවේ මේ වන විට විවිධ ක්ෂේත්‍ර වලට සම්බන්ධව මෙම Gig ආර්ථිකය විහිදී යමින් පවතින අතර විශාල සංඛ්‍යාවක් එහි රැකියා කරමින් සිටියි.

Cryptocurrency වෙළෙඳුන්
ඔස්ට්‍රේලියානුවාසීන් ලක්ෂ 6 කට අධික සංඛ්‍යාවක් Bitcoin වැනි Cryptocurrency වෙළෙඳාමේ යෙදෙන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය හඳුනාගෙන තිබේ.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එනම් 550,000 ක් පමණ බදු ගෙවන්නන්, ඔවුන්ගේ cryptocurrency ප්‍රාග්ධන ලාභ හෝ අලාභ මෙවර Tax Return එකේදී වාර්තා කරන ලෙස ද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඉල්ලා සිටියි.
මේ අතර Cryptocurrency වත්කම් ඇති බදු ගෙවන්නන් 100,000 කට පමණ ඔවුන්ගේ බදු ගෙවීම් පිළිබඳ පැහැදිලි කරමින් සහ කලින් ඉදිරිපත් කළ Tax Return සමාලෝචනය කරන ලෙසද බදු කාර්යාලය ලිපි යවමින් සිටී.
Cryptocurrency ආයෝජකයින් විසින් නියම බදු ප්‍රමාණයක් ගෙවන බවට වග බලා ගැනීම සඳහා බදු කාර්යාලය විසින් බදු ගෙවන්නන්ගේ දත්ත බදු වාර්තා සමඟ සසඳනු ඇත.

