Voluntary assisted dying (VAD) හෙවත් ස්වේච්ඡාවෙන් මරණය ලබාගත හැකි නීති පිළිබඳ ඔස්ට්‍රේලියාව තුළ යළි සාකච්ඡා කිරීමට පටන් ගෙන තිබේ.
ස්වේච්ඡාවෙන් මරණය ලබාගත හැකි නීති කෙටුම්පත ටස්මේනියා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී ඊයේ (04/03) සම්මත වීමත් සමග ඔස්ට්‍රේලියාව තුළ මෙම කතාබහ යළි මතුවී ඇත.
ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීම යනු කුමක්ද? ඔස්ට්‍රේලියාවේ කුමන ප්‍රාන්ත වල මෙය නීතියෙන් අනුමත වී ඇතිද යන්න පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
Highlights
- මෙම නීතිය ඔස්ට්‍රේලියාවේ පළමු වරට බලාත්මක කිරීමේ ගෞරවය වික්ටෝරියානු ප්‍රාන්තයට හිමි වෙයි.
- ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීමේ නීතිය දෙවැනියට බලාත්මක කිරීමේ ගෞරවය හිමිවන්නේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයටය.
- ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීමේ නීතිය ලොව පළමු වරට නීතිගත කරනු ලැබුවේ Northern Territory හි වන නමුත් 1997 වසරේදී එය අහෝසි කෙරුණි.
ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීම
ජීවිතය අවසන් වන බව දැනගෙන තමාට මරණය අත්කරදෙන මෙන් අදාළ පුද්ගලයාට තම මරණය ලබාගත හැකිවීම Voluntary euthanasia හෙවත් ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීම ලෙස හැඳින්වේ.
මෙය සිය දිවි නසාගැනීමකට සහය දීමක් නොවන බව නීති විශාරදයෝ පවසති.
සුව නොවන රෝග වැළදුණු, මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට ස්වේච්ඡාවෙන් මරණය සදහා සහය දීමට මෙම Voluntary assisted dying (VAD) හෙවත් ස්වේච්ඡාවෙන් මරණය ලබාගත හැකි නීති මගින් අවසර ලැබේ.
මේ වන විට මෙම ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීම නීතියක් ලෙස ඔස්ට්‍රේලියාවේ අනුමත කර ඇත්තේ පහත සඳහන් ප්‍රාන්ත දෙකෙහි පමණකි.
- වික්ටෝරියා ප්‍රාන්තය
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
ටස්මේනියා ප්‍රාන්තයේ මෙම නීති කෙටුම්පත පහළ මන්ත්‍රණ සභාවේ සම්මත වුවද තවමත් එය නීතියක් ලෙස සම්මත වී නොමැත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියානු ප්‍රාන්තය
2020 වසරේ ජුනි මස 19 වන දින සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීම නීතිමය වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ විය.
2017 සැප්තැම්බර් 20 වන දින ඒ සඳහා වූ නීති කෙටුම්පත වික්ටෝරියානු පාර්ලිමේන්තුවට ගෙන ආ අතර 2017 දෙසැම්බර් 05 වන දින එය සම්මත විය.
ඒ අනුව මෙම නීතිය ඔස්ට්‍රේලියාවේ පළමු වරට බලාත්මක කිරීමේ ගෞරවය වික්ටෝරියානු ප්‍රාන්තයට හිමි වෙයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ සුව නොවන රෝග වැළදුණු, මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා සහය දීම මෙහි මුල් යෝජනාවට අඩංගු විය.
නමුත් එම මාස 12 ක කාලය මාස 6 දක්වා අවසානයේ අඩු කෙරිණි.
නමුත් චාලක නියුරෝන රෝගයෙන් සහ පඨක ඝන වීමේ රෝග වලින් පෙළෙන රෝගීන් හට එම කාලය මාස 12ක් දක්වා දීර්ඝ කර ඇත.
මෙහිදී පුද්ගලයෙකු සුව කළ නොහැකි රෝගයකින් පෙළිය යුතු අතර ඔහු හෝ ඇය එනිසා නොඉවසිය හැකි දුක් වේදනා අත්විඳිය යුතුය.
අදාළ රෝගියා මාස හයක් ඇතුළත මරණයට පත්වනු ඇතැයි වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් තක්සේරු කිරීමෙන් අනතුරුව ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීමට අදාළ රෝගියාට අවසර ලැබේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීමේ නීතිය දෙවැනියට බලාත්මක කිරීමේ ගෞරවය හිමිවන්නේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයටය.
2019 වසරේ දෙසැම්බර් 10 වන දින බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී මෙම නීති කෙටුම්පත සම්මත විය.
නමුත් මෙය නිල වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙනුයේ 2021 ජූලි 01 වන දින සිටය.
මේ සඳහා සුදුසුකම් ලැබීමට අදාළ පුද්ගලයාට මාස හයක් හෝ මාස 12 ක් තුළ ස්නායු විකෘතිතා තත්වයක් නිසා නොඉවසිය හැකි දුක් වේදනා ඇතිව මාරාන්තික ලෙස රෝගාතුර විය යුතුය.
අදාළ පුද්ගලයා විසින් වාචික ඉල්ලීම් දෙකක් සහ එක් ලිඛිත ඉල්ලීමක් කළ යුතු අතර, සෑම ඉල්ලීමක්ම ස්වාධීන වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් අත්සන් කළ යුතුය.

Northern Territory සහ Australian Capital Territory
ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීමේ නීතිය ලොව පළමු වරට නීතිගත කරනු ලැබුවේ Northern Territory හි වන අතර ඒ 1996 වසරේදීය.
නමුත් 1997 වසරේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සම්මත කෙරුණු පනතකින් ඔස්ට්‍රේලියාවේ ටෙරිටරි වල ස්වේච්ඡාවෙන් මරණය ලබා ගැනීම නීතියෙන් තහනම් කෙරුණි.
මේ අතර සෙනට් සභික ඩේවිඩ් ලියොන්හැම් ගේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් මගින් එම තහනම අහෝසි කරන ලෙස ඉල්ලා මෝසමක් ඉදිරිපත් කෙරුණු අතර එය මධ්‍යම පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.

