Key Points
- NSW ප්‍රාන්තයේ කුලී නිවාස හිමියන්ට තම නිවාස වලින් කුලී නිවැසියන් ඉවත් කිරීමට සාධාරණ හේතුවක් තිබීම අනිවාර්ය බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් පවසයි.
- යෝජිත වෙනස්කම් සමග NSW ප්‍රාන්තයද ACT, දකුණු ඕස්ට්‍රේලියාව සහ වික්ටෝරියා වැනි අනෙකුත් ප්‍රාන්ත සමග සම තත්ත්වයට පැමිණෙනු ඇත
- NSW හි මිලියන 8ඉක්මවූ පිරිසෙන් තුනෙන් එකක් කුලී නිවසියන් බවත්, මේ හේතුවෙන් දශක කිහිපයකට පසු එළඹි අසීරු ම කුලී නිවාස වෙළදපළ මෙය වන බව මින්ස් පවසා තිබේ.
කුලී නිවැසියන් තම නිවෙස්වලින් ඉවත් කිරීමට ඉඩම් හිමියන්ට භාවිතා කළ හැකි හේතු කිහිපයක් NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් විසින් ඉදිරිපත් කොට තිබෙනවා.
යෝජිත NSW ප්‍රාන්ත නීති යටතේ කුලී නිවැසියෙකු නිවසින් ඉවත් කිරීම සඳහා කිසිඳු පදනමක් නොමැති අසාධාරණ හේතු භාවිතා කළහොත් එම ඉඩම් හිමියන්ට දඩ නියම කළ හැකිය.

ක්‍රිස් මින්ස් ඉරිදා (28.07.2024 ) සිඩ්නි හි පැවති NSW ලෙබර් පාක්ෂික සම්මේලනයේදී මේ පිළිබඳව අදහස් පළ කළේය. 2023 වසරේ කළ මැතිවරණ පොරොන්දුවට අනුව සැප්තැම්බර් මාසය වන විට පවතින අසාධාරණ ක්‍රමය අවසන් කිරීමට නීති සම්පාදනය කිරීමට තම ආන්ඩුව ඉලක්ක කරන බව මින්ස් පවසන ලදී.
මෙම යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ, නිවාස හිමියන් හට, කුලී නිවැසියන් වෙත කෙටි කාලීනව හෝ යම් නිශ්චිත කාලයක් සඳහා නිකුත් කොට ඇති කුලී ගිවිසුම් නිමා කිරීම සඳහා වලංගු හේතු අවශ්‍ය වේ.
නව නීති වලට, කුලී ගෙවිම කඩකිරීම, දේපළවලට හානි කිරීම හෝ කුලී නොගෙවීම සඳහා දැනට පවතින නීති ද ඇතුළත් වේ.
කුලී නිවැසියන් නෙරපා හැරීමට ඉදිරිපත් කල හැකි සාධාරණ හේතූන් අතරට නිවසේ සැලකිය යුතු අලුත්වැඩියාවක් කිරීමට අවශ්‍ය වීම, ප්රතිසංස්කරණය කිරීමට හෝ කඩා ඉවත් කිරීමට සිදු වීම හෝ තවදුරටත් කුලියට ලබා නොදෙන දේපලක් ලෙස නම් කිරීම මෙම හේතු ලෙස පෙන්වා දිය හැකිය.

නිවස අලුත්වැඩියා කිරීමේ හේතු මත කුලී නිවැසියන් ඉවත් කිරීමට කටයුතු කළහොත් , අවම වශයෙන් සති හතරක් වත් ගතවන තුරු එම දේපළ නැවත කුලී පදනම යටතේ විකිණීමට නිවාස හිමියෙකුට හැකියාවක් නැත.
විවිධ කාරණා යටතේ සීමිත පිරිසක් සදහා පමණක් නිර්මාණය කෙරුණු කුලී නිවාස වලින් තවදුරටත් එහි නවාතැන් ලබා ගැනීමට සුදුසුකම් නොලබන පිරිස් ඉන් ඉවත් කිරීමට නිවාස හිමියාට හැකියාව ලැබෙණු ඇත. උදාහරණයක් ලෙස, ගෙහිමියා හට සිසුන් සදහා නිර්මාණය කළ අවම කුලී මුදලකට ලබා දෙන නිවාස වලින් තවදුරටත් සිසුන් නොවන තැනැත්තන් ව ඉවත් කිරීමට නීතියෙන් අවසර ලැබෙණු ඇත.
යෝජිත නව නීති වලට අනුව;
- කුලී නිවැසියා හට තම නිවසින් ඉවත් වීමට දැනුම් දෙන අවස්ථාවේදී එයට හේතුව සාක්ෂි සහිතව ගෙහිමියා ඉදිරිපත් කළ යුතුයි, අසත්‍ය හේතු ඉදිරිපත් කළහොත් අදාල දඩ මුදලක් ගෙවීම්ට ගෙහිමියහට සිදු වනු ඇත.
- මාස 6ට අඩු කාල සීමාවක් සදහා කුලී නිවාස පහසුකම් ලබාදුන් විට ඉවත් වන දිනට දින 60ට පෙර කුලී නිවැසියාට ඉවත්වීමේ දැන්වීම ලබා දිය යුතුයි. මීට පෙර එම දැනුවත් කිරීම දින 30කට පෙර කළ හැකිව තිබුණා. මාස 6ට වැඩි කාලයක් සදහා කුලී නිවාස ලබා දී ඇති නම් කුලී නිවැසියා ඉන් ඉවත් කිරීමට අවශ්‍ය දිනට දින 90 ට පෙර දැනුම්දීම් කළ යුතුයි.
- මාසෙන් මාසයට හෝ සතියෙන් සතියට අළුත් වන කුලී නිවාස ලබාදීමේ එකගතාවකින් කුලී නිවැසියා නෙරපා දැමීම සම්බන්ධ නීති වල වෙනසක් සිදු වී නැත.
මෙම වෙනස් කම් ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව NSW ප්‍රාන්තය ද ACT, දකුණු ඕස්ට්‍රේලියාව සහ වික්ටෝරියා වැනි ප්‍රාන්ත සමග සම තත්ත්වයට පැමිණෙනු ඇත.
NSW ප්‍රාන්තයෙහි මිලියන අටකට වඩා වැඩි පදිංචිකරුවන්ගෙන් තුනෙන් එකක් පමණ කුලී පදනම යටතේ ජීවත් වන්නන් ය. දශක කිහිපයකට පසු උදා වූ අපහසුම කුලී නිවාස වෙළඳපල මෙය බව මින්ස් පවසා තිබේ. නව නීති ප්‍රතිසංස්කරණ මගින් නිවාස හිමියන්ට සහ කුලී නිවැසියන්ට එකිනෙකා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති කෙරෙන බව මින්ස් ගේ විශ්වාසයයි.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් ඕනෑම පොඩ්කාස්ට්මාධ්‍යයකින් පුළුවන්. සෙවුම් තීරුවේ SBS සිංහල ලෙසටයිප් කිරීමෙන් අපගේ පොඩ්කාස්ට් වලට පිවිසිය හැකියි.





