SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ 2026 ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන අවම වැටුප් වැඩිවීම් සහ නව ආර්ථික වෙනස්කම්

Changes to superannuation in the current financial year
Changes to superannuation in the current financial year Source: Supplied

වැටුප් වැඩිවීම් , බදු වෙනස්කම්, විශ්‍රාම වැටුප් , දෙමාපිය නිවාඩු සහ නොමිලේ විදුලිය සැපයීම වැනි ඔබේ ආර්ථියට බලපාන ජූලි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන ප්‍රධාන වෙනස්කම් ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri, Mikele Syron

Presented by Athini Amarasiri

Source: SBS


Skip to podcast episode content

වැටුප් වැඩිවීම් , බදු වෙනස්කම්, විශ්‍රාම වැටුප් , දෙමාපිය නිවාඩු සහ නොමිලේ විදුලිය සැපයීම වැනි ඔබේ ආර්ථියට බලපාන ජූලි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන ප්‍රධාන වෙනස්කම් ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ නව මූල්‍ය වර්ෂයේ ඔබේ ආර්ථිකයට බලාපාන ප්‍රධාන වෙනස්කම් මොනවද?

නව මූල්‍ය වර්ෂය ආරම්භයේදී සිටම ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයයන් ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන නිසා , ඕස්ට්‍රේලියානුවන්ට 2026 වසරේ ජූලි මස පළමු වෙනිදා සිට වැටුප්, බදු, විශ්‍රාම වැටුප්, දෙමාපිය නිවාඩු සහ තවත් බොහෝ දේ සඳහා වෙනස්කම් අත්දකින්නට ලැබෙනවා.

නව මූල්‍ය වර්ෂයක ආරම්භයේ සිදු වන වෙනස්කම් බොහෝ විට ආර්ථිකය නියාමනය කිරීම සහ ව්‍යවස්ථාදායකය යාවත්කාලීන කිරීම වෙනුවෙන් සිදු කරන නමුත් මෙම වසරේ වෙනස්කම් මගින් සේවක වැටුපට, විශ්‍රාම ඉතුරුම් වලට වගේම පවුලේ අයවැය සහ ව්‍යාපාර මෙහෙයුම් වලට බලපාන වෙනස්කම් සිදු වනවා.

පැය තුනක විදුලිය නොමිලේ

ෆෙඩරල් රජයේ සූර්ය බලශක්තිය බෙදාගැනීමේ දීමනාව , Solar sharer offer යටතේ නිව් සවුත් වේල්ස්, දකුණු ඕස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්තයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ වල සුදුසුකම් ලත් නිවාසවලට දිනකට පැය තුනක නොමිලේ විදුලිය ලබා දීමට කටයුතු කරනවා.

එම නිවාස වල වහල මත සූර්ය පැනල තිබීම අවශ්‍ය නොවන, නමුත් ඔවුන්ට ස්මාර්ට් මීටරයක් තිබිය යුතු වන අතර මෙම වැඩසටහනට සහභාගී වන සිල්ලර වෙළෙන්දෙකු හරහා ඊට ලියාපදිංචි විය යුතුයි.

මිලියන ගණන් වැඩකරන ජනතාවට වැටුප් වැඩිවීම්.

මිලියන ගණන් වැඩකරන ජනතාවට වැටුප් වැඩිවීම් ලැබීමට නියමිතයි.

ඒ Fair Work කොමිසම අවම සේවා වැටුපට සහ Award wage හෙවත් කර්මාන්ත අනුව තීරණය වන ප්‍රදානිත වැටුපට සියයට 4.75 ක වැඩිවීමක් අනුමත කිරීමෙන් පසුවයි. ඒ අනුව මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන්ට මෙම මස මුල සිට ඉහළ වැටුපක් ලැබීමට නියමිතයි .

ජාතික අවම වැටුප පැයකට ඩොලර් 26.44 ක් දක්වා වැඩි වන අතර එය පැය 38 ක සතියක වැඩ සදහා බදු ගෙවීමට පෙර , ඩොලර් 1,004.90 ට සමාන වනවා.

මෙම වැඩිවීම ජූලි 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන පළමු සම්පූර්ණ වැටුප් කාලයේ සිට ක්‍රියාත්මක වනවා.

ජාතික අවම වැටුප ලබන සේවකයින්ට අමතරව නව ප්‍රදානයන් යටතේ ගෙවීම් ලබන සේවකයින් මිලියන 2.8 ක් පමණ වන පිරිසකට මෙම ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වැටුප් සමඟ එකවරම විශ්‍රාම වැටුප් ගෙවනු ලැබේ

ජුලි 1 දා සිට ක්‍රියාත්මක වන විශාලතම ව්‍යුහාත්මක වෙනස්කම් වලින් එකක් වන්නේ විශ්‍රාම වැටුප් , වැටුප් දිනයේදීම ගෙවීම හඳුන්වාදීමයි.

ජුලි 1 දා සිට, සේවා යෝජකයින් විසින් කාර්තුමය වශයෙන් නොව වැටුප් සමඟ එකවර සේවකයින්ගේ විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවිය යුතු වනවා.

මෙම වෙනස සැලසුම් කර ඇත්තේ නොගෙවූ සහ ප්‍රමාද වූ විශ්‍රාම වැටුප් අඩු කිරීමට සහ විශ්‍රාමික ඉතිරිකිරීම් සේවකයින්ට නිරීක්ෂණය කිරීම පහසු කිරීම සඳහායි.

ඕස්ට්‍රේලියාවේ Superannuation Funds සංගමයේ ප්‍රධාන ප්‍රතිපත්ති සහ උපදේශක නිලධාරී ජේම්ස් කෝවල් පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණය විශ්‍රාම ගිණුම් ඇති ඕස්ට්‍රේලියානුවන් මිලියන 19 කට පමණ බලපානු ඇති බවයි.

මෙම වෙනස්කම මගින් මිලියන සංඛ්‍යාත ජනතාවකට විශ්‍රාම යාමේදී ඉහළ විශ්‍රාම වැටුප් ශේෂයක් ඇති වන බවත් ඔවුන්ට ඔවුන්ගේ superannuation ගෙවීම් කලින් සහ නිතරයෙන් ලැබෙනු ඇති බවත් ඔහු පවසනවා.

නිතර ගිණුමට විශ්‍රාම දායක මුදල් ලැබීමෙන් විශේෂයෙන් තරුණ සේවකයින් සඳහා සංයුක්ත ප්‍රතිලාභ හරහා දිගු කාලීනව සිය විශ්‍රාම ගිණුමේ ශේෂයන් වැඩිදියුණු කළ හැකි බව මෙම වෙනසට සහය දෙන පිරිස පෙන්වා දෙනවා.

ප්‍රතිසංස්කරණය මඟින් සේවකයින්ට ඔවුන්ගේ ගිණුමට පැමිණෙන දායක මුදල් ඔවුන්ගේ වැටුප් පත්‍රිකාවට සාපේක්ෂව සංසන්දනය කිරීම පහසු කිරීමෙන් නොගෙවූ විශ්‍රාම මුදල් ඉක්මනින් හඳුනා ගැනීමට ද උපකාරී විය හැකි බව කෝවල් පවසනවා.

ව්‍යාපාරික කණ්ඩායම් ප්‍රතිසංස්කරණයේ අරමුණ සාදරයෙන් පිළිගෙන ඇති නමුත් මෙම වෙනස්කම් ව්‍යාපාරික මෙහෙයුම් සහ මුදල් ප්‍රවාහ සදහා අභියෝග ඇති කළ හැකි බවට අනතුරු අගවනවා. විශේෂයෙන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා මෙය අභියෝගක් විය හැකියි.

එමෙන්ම Consessional contribution cap හෙවත් බදු සහන ලැබෙන විශ්‍රාම වැටුප් දායකත්වය සදහා ඇති වාර්ෂික උපරිම සීමාව ඩොලර් 30,000 සිට ඩොලර් 32,500 දක්වා වැඩි කර තිබෙනවා.

මෙම මූල්‍ය වර්ෂයේ සිට පාරිභෝගික භාණ්ඩ හා සේවා සදහා මිල ඉහළ දැමීමේ නීති හඳුන්වා දී තිබීමත් සුවිශේෂත්වයක්

කෝල්ස් සහ වුල්වර්ත් ඇතුළු ඉතා විශාල සුපිරි වෙළඳසැල් වලට ජුලි පළමු වෙනිදා සිට අධික මිල ගණන් අය කිරීම තහනම් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් මෙම නීති ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒවා උල්ලංඝනය කරන සිල්ලර වෙළෙන්දන්ට ඩොලර් මිලියන 10 ක් දක්වා දඩ මුදල්වලට මුහුණ දීමට සිදු වනවා.

නීති කෙතරම් ඵලදායී වනු ඇත්දැයි ඇතැම් විශේෂඥයින් ප්‍රශ්න කරන්නේ "සැලකිය යුතු ලෙස අධික" මිලක් හෝ "සාධාරණ ආන්තිකයක්" ලෙස ගණන් ගන්නා දේ තීරණය කිරීම දුෂ්කර විය හැකි බව පෙන්වා දෙමින්.

මේ අතර, බදු, විශ්‍රාම වැටුප් සහ රජයේ ගෙවීම් සැකසුම් ද වෙනස් වීම් වලට ලක් වී තිබෙනවා.

ජූලි 1 වන දින සිට ඕස්ට්‍රේලියානුවන් බදු සැකසුම්, විශ්‍රාම වැටුප් සීමාවන් සහ ඇතැම් රජයේ ගෙවීම් සීමාවන් සඳහා වෙනස්කම් සිදු ව තිබෙනවා.

බදු වෙනස්කම්

ඩොලර් 18,201 සිට ඩොලර් 45,000 දක්වා බදු අය කළ හැකි ආදායම සඳහා අවම ආන්තික බදු අනුපාතය සියයට 16 සිට සියයට 15 දක්වා අඩු කර ඇති අතර, මිලියන සංඛ්‍යාත සේවකයින්ට මෙමගින් බදු සහන හිමි වනු ඇති.

රැකියා ආශ්‍රිත වියදම් සඳහා රිසිට් පත් රහිත බදු අඩු කිරීම් වෙනුවෙන් පෙර පැවති ඩොලර් 300 සීමාව වෙනුවට

2026-27 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රැකියා ආශ්‍රිත වියදම් සඳහා ඩොලර් 1,000 ක ක්ෂණික බදු අඩු කිරීමක් ද මෙවර ඔබට හිමි වනවා.

එය 2026 ජූලි 1 වන දින සිට අයදුම් කරන ලද 2025-26 බදු ප්‍රතිලාභ සඳහා අදාළ වන්නේ නැහැ. ඒ අනුව ඔබට 2027 ජූලි මාසයේදී මෙම ඩොලර් 1,000 ක ක්ෂණික බදු අඩු කිරීම ලබා ගැනීමට හැකි වනවා.

පාර්ලිමේන්තුවේදී මෑතකදී සම්මත කරන ලද අනෙකුත් බදු වෙනස්කම් වලට අදාළව capital gain tax හෙවත් ප්‍රාග්ධන ලාභ බද්ද සහ ආදායමට වඩා වියදම් වැඩි වන ආයෝජන මගින් බදු සහන ලබා ගැනීමේ negative gearing සඳහා සිදු කරන වෙනස්කම් ඇතුළත් වනවා. නමුත් එම වෙනස්කම් පසුව ක්‍රියාත්මක වීමට නියමිතයි.

රජයේ ගෙවීම් සහ සීමාවන්

සමහර Centrelink ගෙවීම් සදහා උපරිම සහ අවම සීමාවන් ජූලි 1 වන දින සිට නිතිපතා ආර්ථික දර්ශකයන්ට අනුව සකස් කිරීමට නියමිතයි.

පවුල් සදහා බදු ප්‍රතිලාභ හෙවත් Family tax benefits A කොටස සහ B කොටස ලබා ගන්නා පවුල් සඳහා, උපරිම ගෙවීම් අනුපාත ඉහළ යනු ඇති අතර, වයස්ගත විශ්‍රාම වැටුප් සහ ආබාධිත විශ්‍රාම වැටුප් ඇතුළු ගෙවීම් සඳහා ආදායම් සහ වත්කම් සීමාවන් ද වෙනස් වීමට නියමිතයි.

නව වෙනස්කම් යටතේ Medicare levy surcharge , Medicare බදු අධිභාර සීමාවන් වැඩි කර තිබෙනවා

තනිකඩයින් සඳහා ඩොලර් 105,000 ක් සහ පවුල් සඳහා ඩොලර් 210,000 ක් දක්වා Medicare බදු අධිභාරය ක්‍රියාත්මක වන ආදායම් සීමාවන් ජූලි 1 වන දින සිට වැඩි වී තිබෙනවා.

සුදුසුකම් ලත් පෞද්ගලික රෝහල් ආවරණයක් නොමැති සහ සම්මත Medicare බද්දට අමතරව ගෙවනු ලබන ඉහළ ආදායම් ලබන අයට පමණක් මෙම අධිභාරය අදාළ වනවා

එමෙන්ම විශ්‍රාම වැටුප් දායකත්ව සීමාවන් ද වැඩි වී තිබෙනවා

ඒ අනුව වැටුප් දිනටම විශ්‍රාම වැටුප් ගෙවීමේ වෙනසට අමතරව, ඕස්ට්‍රේලියානුවන්ට අතිරේක බදු ගෙවීමට පෙර, සිය විශ්‍රාම ගිණුමට වාර්ෂිකව වැඩි දායකත්වයක් ලබා දීමට නව වෙනස්කම් මගින් හැකියාව ලැබී තිබෙනවා.

සේවායෝජක විශ්‍රාම වැටුප් දායකත්වය සහ Salary Sacrifice ඇතුළු බදු ගෙවීමට පෙර බදු සහන හිමිවන දායක මුදල් සීමාව , Concessional contribution cap වාර්ෂිකව ඩොලර් 30,000 සිට ඩොලර් 32,500 දක්වා වැඩි කර තිබෙනවා.

බදු ගෙවීමෙන් පසු හිමිවන, සහන නොවන දායක මුදල් සීමාව එනම් non concessional contribution cap එකද ඩොලර් 120,000 සිට ඩොලර් 130,000 දක්වා වැඩි කර තිබෙනවා. ඒ අතර general transfer balance සීමාව ඩොලර් මිලියන 2 සිට ඩොලර් මිලියන 2.1 දක්වා ඉහළ දමා තිබෙනවා.

විශ්‍රාම යාමට ආසන්න ඕස්ට්‍රේලියානුවන්ට ඉහළ දායක මුදල් සීමාවන් විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකි බව කෝවල් මහතා පවසනවා.

"අවුරුදු 50 ගණන්වල අගභාගයේ හෝ 60 ගණන්වල මුල් භාගයේ පසුවන සහ වඩාත් සුවපහසු විශ්‍රාම ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැබවින්ම සිතන පුද්ගලයින් සඳහා, මෙම වෙනස්කම් සැබවින්ම ධනාත්මක විය හැකි වන බව කෝවල් මහතා පෙන්වා දෙනවා

බදු සහන හිමි වන දායක මුදල් සීමාව ඉහළ දැමීම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ශ්‍රම බලකායෙන් ඉවත් වීමට පෙර විශ්‍රාම වැටුප් ඉතිරිකිරීම් ශක්තිමත් කිරීමට වැඩි අවස්ථාවක් නිර්මාණය විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

ඉතා විශාල Superannuation ශේෂයන් ඇති ඕස්ට්‍රේලියානුවන් සඳහා රජය අතිරේක බදු වෙනස්කම් ද යෝජනා කර තිබෙනවා. එම යෝජනාව , ඩොලර් මිලියන 3 ට වැඩි විශ්‍රාම වැටුප් ශේෂයන් සමඟ සම්බන්ධ ඉපැයීම් සදහා ඉහළ බදු අනුපාතයක් හදුන්වා දීමට යෝජනා වී ඇති නමුත් නීති සම්පාදනය සහ එහි ආරම්භක විධිවිධාන මත ඒවා ක්‍රියාත්මක කිරීම, රඳා පවතිනවා.

ජුලි 1 වෙනිදා සිට දරුවන් ලැබෙන පවුල්වලට වැඩි කරන ලද රජයේ අරමුදල් සහිත දෙමාපිය නිවාඩු සඳහා අවස්ථාව හිමි වනවා.

වැටුප් සහිත දෙමාපිය නිවාඩු දින ගණන 120 සිට දින 130 දක්වා වැඩි කර ඇති අතර එය සම්මත දින පහක් වැඩ කරන සති වලින් ගත් කල සති 26 කට සමාන වනවා.

දරු උපත් සදහා දෙමව්පිය සහකරු නිවාඩු හිමිකම ද දින 15 සිට 20 දක්වා වැඩි කර තිබෙන්නේ ජූලි 1 සිට උපත ලැබූ හෝ හදා වඩා ගත් දරුවන්ට අදාළ වන ලෙසයි.

මෙම වෙනස මගින් දෙමාපියන්ට දරුවන්ගේ වගකීම් බෙදා ගැනීමේදී වැඩි නම්‍යශීලී බවක් ලබා දීම අරමුණු කර ගෙන තිබෙනවා.

කෙටි පණිවිඩ සඳහා නව වංචා විරෝධී ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමත් මෙම නව වෙනස්කම් අතර වනවා.

Anti scam හෙවත් නව වංචා විරෝධී ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ ඔවුන්ග්ගේ දුරකථනවල සන්නාමගත කෙටි පණිවිඩ දිස්වන ආකාරයෙහි වෙනස්කම් ඕස්ට්‍රේලියානුවන්ට දැන් දැකගත හැකි වනවා.

ඒ අනුව සන්නාමගත කෙටි පණිවිඩ යවන්නාගේ හැඳුනුම්පත් භාවිතා කරන ව්‍යාපාර එම හඳුනාගැනීම් ලියාපදිංචි කිරීම අවශ්‍ය වනවා.

ව්‍යාජ ලෙස යම් සන්නාමයක් , brand එකක් ලෙස පෙනී සිටින වංචාකරුවන්ගේ ක්‍රියා අඩු කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙය ක්‍රියාත්මක වනවා. ලියාපදිංචි නොකළ පුද්ගලයාගේ caller ID එක භාවිතා කර යවන කෙටි පණිවිඩ, “සත්‍යාපනය නොකළ” Unverified " ලෙස සහ ලියාපදිංචි කළ සන්නාම ඇති ව්‍යාපාරිකයන් එවන කෙටි පණිවිඩ Verified ලෙස වෙන්ව ඔබේ ජංගම දුරකථනයේ දිස් වේවි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now