ඔස්ට්‍රේලියාවේ 2018/19 මුල්‍ය වර්ෂය එළඹෙන ජුනි 30 වන දිනෙන් අවසන් වීමට නියමිතය.
ඒ අනුව මෙම මුල්‍ය වර්ෂය සඳහා ඔබේ Tax Return එක හෙවත් බදු සැකැස්ම ඔබ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට යොමු කළ යුතුවේ.
එහිදී ඔබ වර්ෂයේ සිදුකළ රාජකාරියට අදාළ වියදම් සටහන් කළ යුතු වන අතර එහිදී ඇඳුම් පැළඳුම් වියදම් පිළිබඳව මෙවර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විශේෂ අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.

ඇඳුම් පැළඳුම් වියදම්
වාර්ෂික බදු සැකැස්මේදී දක්වන වියදම් අතරින් ඇඳුම් පැළඳුම් වියදම් ප්‍රධාන තැනක් ගනී.
මේ සඳහා laundry expenses හෙවත් laundry වියදම්ද ඇතුළත් කළ හැකිය.
නමුත් පසුගිය වසර වල වාර්ෂික බදු සැකස්මන් දෙස බැලූ කල බොහෝ ඔස්ට්‍රේලියානුවන් අනවශ්‍ය ලෙස මෙම ඇඳුම් පැළඳුම් වියදම් දක්වා වැඩි බදු ප්‍රතිලාභයක් ලබාගැනීමට උත්සාහ දරන බව හෙළිවී තිබේ.
කොටස් තැරැව්කරුවන් තමන් එදිනෙදා අඳිනු ලබන ඇඳුම් කට්ටල සඳහා බදු ප්‍රතිලාභ ලබාගැනීමට ඒවායේ වියදම් ඉදිරිපත් කර තිබීම අපට බහුල වශයෙන් දැකගැනීමට හැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහාකාර කොමසාරිස් Karen Foat, The Age පුවත් පතට පැවසුවාය.

ඇඳුම් පැළඳුම් වියදම් නැවත ලබාගැනීමට ඇති නීති
ඇඳුම් පැළඳුම් වියදම්, තමන්ගේ වාර්ෂික බදු ප්‍රතිලභයේදී නැවත ලබා ගැනීමට යම් නීති සහ කොන්දේසි කිහිපයක් පනවා තිබේ.
එනම් ඒවා තමන්ගේ රැකියාවට සෘජුව සම්බන්ධ විය යුතුය. උදාහරණ ලෙස කොකියෙකුගේ ඇඳුම්, කම්කරුවෙකුගේ steel-capped බූට් සපත්තු.
ඊට අමතරව ඔබේ රැකියාවට නියම කෙරුණු නිල ඇඳුමක් ඇත්නම් ඒ සඳහා ඔබ විසින් වියදම් දරන විටදී එම වියදම් ඔබට ඔබේ වාර්ෂික බදු ප්‍රතිලාභයෙන් නැවත ලබාගත හැකිය.
එලෙස එම වියදම් වාර්ෂික බදු ප්‍රතිලාභයෙන් නැවත ලබාගැනීමට අවශ්‍යනම් එම වියදම් ඔබ විසින්ම ගෙවා තිබිය යුතු අතර ඒවා කිසි ලෙසකින්වත් තම සමාගමෙන් අයකර නොතිබිය යුතුය.

පුදුම හිතෙන වියදම් ලබාගැනීම්
පසුගිය වසරේදී මිලයන 6 ක ඔස්ට්‍රේලියානුවාසීන් ඇඳුම් පැළඳුම් වියදම් ලෙස ඩොලර් බිලියන 1.5 ක් නැවත ලබාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වාර්තා කරයි.
ඒ අනුව සෑම බදු ගෙවන්නන් දෙදෙනකුගෙන් එක් අයෙකුම විශේෂවූ නිල ඇඳුම් සහ ආරක්‍ෂිත උපකරණ පැළඳිය යුතුවේ.
මෙය බැලූ බැල්මටම සැක සිතෙන සිදුවීමක් බවද සඳහන්.
ඇඳුම් පැළඳුම් වියදම් ලෙස සටහන් කළ හැකි සාමාන්‍ය සීමාව ලෙස දැක්වෙන්නේ ඩොලර් 150 ක් බව වාර්තාවේ.
නමුත් ඒ සඳහා ඔබ ඊට අදාළ රිසිට් ඉදිරිපත් කිරීමට සූදානම් විය යුතුය.
එනිසා මෙවර බදු සැකස්මේදී ඔබ ඇඳුම් පැළඳුම් වියදම් සටහන් කරන විට ඒ පිළිබඳ වඩාත් අවධානයක් යොමු කරන ලෙසට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවා සිටියි.


