පිහිණුම් තටාකයකට යන ඔබ ආරක්ෂාකාරී වීමට දත යුතු කරුණු 10 ක්

10 things you should know about pool safety

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලය එළඹීමත් සමග බොහෝ දෙනා පිහිණුම් තටාක වෙත යාම සුලබ දෙයකි.

එහිදී ඔබේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම අතිශය වැදගත් වේ.

ඒ අනුව පිහිණුම් තටාකයකට යන ඔබ ආරක්ෂාකාරී වීමට දැනගත යුතු කරුණු 10 ක් පිළිබඳ මෙල්බර්න් නුවර පිහිණුම් උපදේශිකාවක් ලෙස කටයුතු කරන දුලානි විතාන මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේ පහත අයුරිනි


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


01. පිහිණුම් තටාකයක් අවට කිසිවිටෙකත් දුවන්න එපා

පිහිණුම් තටාකයක ජලය පිටතට පිටාර ගලා අවට ප්‍රදේශයේ ජලය විසිරී තිබීමට ඇති හැකියාව ඉතා වැඩිය.

මේ හේතුවෙන් එම මතුපිට ලිස්සීමට ඇති හැකියාව අතිශය ඉහළය.

ඔබ පිහිණුම් තටාකයක් අවට දිවීමෙන් ලිස්සා යාම නිසා විශාල අනතුරකට මුහුණ පෑ හැකිය.

02. පිහිණුම් තටාකයකට යාමට පෙර ළමුන්ව දැනුවත් කරන්න

ඇතැම් විට දෙමාපියන්ගේ අධීක්ෂණයකින් තොරව පිහිණුම් තටාකයකට ගිය විගස ළමුන් පිහිණුම් තටාකයට පැනීමට රුචිකත්වයක් දක්වයි.

එහිදී දියේ ගිලීම් වැනි බරපතල අනතුරු ඇතිවීමේ වැඩි ඉඩක් ඇති නිසා සැමවිටම පිහිණුම් තටාකයකට යාමට පෙර එහිදී ආරක්ෂාකාරී ලෙස හැසිරෙන්නේ කෙසේද පිළිබඳව ළමුන්ව දැනුවත් කිරීම ඉතා වැදගත්ය.

pool safety
Source: Pixabay

03. කුමන මොහොතක හෝ කිසිවෙකුත් තල්ලු කරන්නට එපා

පිහිණුම් තටාකයක් අවට සිටින කිසිවෙකුත් කිසි විටෙක පිහිණුම් තටාකයට තල්ලු කිරීමෙන් වළකින්න.

අදාළ පුද්ගලයා පිහිණීමට නොදන්නා කෙනෙක් නම් ඔහුව දියේ ගිලී අනතුරට පත් විය හැකිය.

නැතිනම් පිහිණුම් තටාකයේ නොගැඹුරු පැත්තට උසින් වැඩි පුද්ගලයකු තල්ලු කිරීමෙන් ඔහුගේ ඔළුව, මුහුණ, දත් හෝ වෙනත් අවයව වලට අනතුරු සිදුවී ඒවා මාරාන්තික විය හැකිය.

04. ළමුන්ව සැමවිටම අධීක්ෂණය කරන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රමිතීන්ට අනුව නම් ළමුන්ව අධීක්ෂණය කිරීම ඛාණ්ඩ දෙකකට බෙදා ඇත.

වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන්ව පිහිණුම් තටාකය තුළ අතේ දුරින් (Arm Reach) තබා ගත යුතුය.

වයස අවුරුදු 10 ට වඩා අඩු දරුවන් පිහිණුම් තටාකය තුළ සිටින විට ඔවුන් දෙස නෙත් යොමා සුපරීක්ෂාකාරීව සිටිය යුතුය.

මන්ද ළමයෙකු දියේ ගිලී මරණයට පත්වීමට ගතවන්නේ තත්ත්පර 20 කටත් වඩා අඩු කාලයකි.

pool safety
Source: Pixabay/ adrit

05. පිහිණුම් තටාකය අවට ඇති සංඥා කියවන්න

පොදු පිහිණුම් තටාක වල සැමවිටම තටාකයේ ගැඹුර, ගැඹුරු පැත්ත හා නොගැඹුරු පැත්ත, Dive කළ යුත්තේ කොතැනින්ද යනාදී කරුණු ඇතුළත් සංඥා ප්‍රදර්ශනය කර තිබේ.

පිහිණුම් තටාකයට බැසීමට පෙර මෙම සියලුම සංඥා පුවරු කියවා අවබෝධ කරගැනීම ඉතා වැදගත් වේ.

06. Flotation device එකක් යනු ආධාරකයක් පමණයි

පිහිණුම් තටාක වල භාවිතා කරන Flotation device හෙවත් පාවීමට උපකාරී වන උපාංග දියේ ගිලීමෙන් වළක්වන ජීවිතාරක්ෂක උපකරණ නොව එය හුදෙක් දියේ පාවීමට ඉඩ සලසන ආධාරකයක් පමණක් බව සිහියේ තබා ගැනීම ඉතා වැදගත්ය.

pool safety
Source: Pixabay/ platinumportfolio

07. Emergency Exits හෙවත් හදිසි පිටවීමේ දොරටු ඇති ස්ථාන ගැන අවබෝධයෙන් සිටින්න

පිහිණුම් තටාකයකට යන විට එම පරිශ්‍රයේ Emergency Exits හෙවත් හදිසි පිටවීමේ දොරටු ඇති ස්ථාන දැන සිටීම ඉතා වැදගත්ය.

යම් හදිසි අවස්ථාවක් මතු වුවහොත් කලබල නොවී ඔබට එම දොරටු හරහා බාහිරට යාමට එම දැනුවත්වීම ඉඩ සලසා දෙයි.

08. ලබා දෙන Wrist Band එක හෙවත් අත් පළඳනාව ගලවන්න එපා

ඔස්ට්‍රේලියාවේ පොදු පිහිණුම් තටාක වලට යාමේදී Wrist Band එකක් හෙවත් අත් පළඳනාවක් ලබා දෙයි. කුඩා දරුවන්ගේ එය කකුලේ ගැට ගසයි.

කුමන වේලාවක හෝ එය අදාළ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන තෙක් නොගැලවීමට වග බලාගත යුතුය.

මන්ද එම අත් පළඳනාවෙන් පිහිණුම් තටාකය අවට සිටින ජීවිතාරක්ෂකයකින්ට ඔබේ වයස් මට්ටම දැනගත හැකිය.

pool safety
Source: Pixabay/ Survivor

09. මත්පැන් පානය කර පිහිණුම් තටාකයකට බැසීම නොකල යුතුය

මත්පැන් පානය කිරීමෙන් මිනිසාගේ සිතීමේ ශක්තිය හා තීරණ ගැනීමේ ශක්තිය ප්‍රමාද කරවීමක් හෝ දුර්වල කරවීමක් සිදුකරයි.

එනිසා ඇති දක්ෂ පිහිණුම්කරුවෙකු වුවද මත්පැන් පානය කර පිහිණුම් තටාකයකට බැසීම සිදු කළහොත් ජලයේ ගිලී අනතුරට පත්වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

10. ජීවිතාරක්ෂකයකින් සිටියත් ළමයාගේ ආරක්ෂාව ඔබ සතුය

පිහිණුම් තටාකයක් අවට ජීවිතාරක්ෂකයකින් සිටියත් තම ළමයාගේ ආරක්ෂාව තමා සතු බව දෙමාපියන් සැමවිටම සිහියේ තබාගැනීම යෝග්‍ය වේ.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now