අපරාජිත ඉන්දියාවට නොසිතූ පරාජයක් අත් කරදෙමින් එංගලන්තය ජයගනිද්දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට.

ICC Cricket World Cup 2019

Source: Getty Images

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 38 වන තරගය ලෙස ඊයේ (30/06) Birmingham හිදී එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් එංගලන්තය ලකුණු 31 ක විශිෂ්ඨ ජයක් අත්කරගත්තේය.

එංගලන්තයේ මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිළට මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ සියලු අවස්ථා ගිලිහී ගියේය.

කාසියේ වාසිය දිනූ එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 337 ක් රැස් කිරීමට සමත් විය.

වේගවත් ආරම්භයක් ලබාගත් එංගලන්ත ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 160 ක වාර්තාගත සම්බන්ධතාවක් පිහිටවුයේය.

එහිදී Jonny Bairstow අගනා ලකුණු 111 ක් ලබාගත් අතර Jason Roy ලකුණු 66 ක් ලබාගත්තේය.

ICC Cricket World Cup 2019
Jonny Bairstow Source: AFP

ඊට අමතරව Ben Stokes පන්දු 54 කදී වේගවත් ලකුණු 79 ක් ලබාගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 300 සීමාවට ගෙන ගියේය.

ජයග්‍රාහී ලකුණු 338 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 306 ක් පමණි.

ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ශර්මා ලකුණු 102 ක් ලබාගත් අතර නායක විරාත් කෝලි ලකුණු 66 ක් ලබාගත්තේය.

එංගලන්තයේ  Jonny Bairstow හට තරගයේ වීරයා සම්මානය හිමි විය.

ප්‍රසාද ලකුණු සටහන

මෙම තරගය ජයගැනීමත් සමග එංගලන්තය ප්‍රසාද ලකුණු 10 ක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයට සුරක්ෂිත කරගැනීමට තවමත් සමත් වී තිබේ.

ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 14 ක් ලබා තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී සිටින අතර ඔවුන් අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලැබීය.

 ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව දෙවැනි ස්ථානයේත් නවසීලන්තය තුන්වන ස්ථානයේත් පසුවෙයි.

එංගලන්තය සහ ඉන්දියාව අතර ඊයේ පැවති තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: ICC/ Facebook

ශ්‍රී ලංකාවේ අද තරගය

මේ අතර අද දිනයේ ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත් අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව අද තරගය මෙන්ම එළඹෙන ජූලි 06 වන දින ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ද ජයග්‍රහණය කළද අවසන් පූර්ව වටයට පිවිසීමට කිසිදු අවස්ථාවක් නොමැත.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now