Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ එන්නත් කරණයෙන් AstraZeneca ඉවත් වන ලකුණු : ජූනි 24 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

ජුනි 24 වන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

AstraZeneca, COVID-19 vaccine roll out, blood clots
Source: AAP

Highlights

  • කොරෝනා ආසාදිතයකු ඇසුරු කිරීම නිසා නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය ඇමති හුදකලා කාලසීමාවක
  • වර්ධනය වූ Bondi කොරෝනා පොකුර නිසා නීති පිළිපදින ලෙස නිව් සවුත් වේල්ස් අගමැතිනිය ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලයි
  • ඕස්ට්‍රේලියාවේ එන්නත්කරණයෙන් AstraZeneca ඉවත් වන ලකුණු
  • අද (24/06) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා සීමා තවදුරටත් ලිහිල් කෙරේ
  • බහු සංස්කෘතික වැසියන්ට රැකියා ලබාගැනීමට වික්ටෝරියා රජයෙන් ඩොලර් මිලියන 3.9ක්
  • එක්සත් ජාතික පක්ෂ නායක රනිල් යලිත් කරළියට
  • ජුලි මාසයේ පළමු සතියේ සිට ලංකාවට Pfizer එන්නත් මාත්‍රා ලක්ෂ 50ක්
  • නවසීලන්තයේ Wellington ප්‍රදේශය ඉරිදා(27/06) මධ්‍යම රාත්‍රිය දක්වා දෙවන මට්ටමේ අවදානම් කලාපයක් කෙරේ
  • ශ්‍රී ලංකා එංගලන්ත පළමු 20යි 20 ජාත්‍යන්තර තරගයේ ජය එංගලන්ත කණ්ඩායමට 

කොරෝනා ආසාදිතයකු ඇසුරු කිරීම නිසා නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය ඇමති හුදකලා කාලසීමාවක

කොරෝනා ආසාදිත පුද්ගලයකු සමග සමීප සම්බන්ධතාවයක් සිදු කල බවට වන විශ්වාසය මත නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard මේ වනවිට ස්වයං හුදකලා කාලසීමාවකට යොමු වී තිබේ.

මෙම නව ආසාදිත පුද්ගලයා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල සාමාජිකයකු වේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර නිවසේ හුදකලා කාලසීමාවකට යටත් වන ලෙස අමාත්‍ය Brad Hazzard වෙත නිව් සවුත් වේල්ස් හෙල්ත් සඳහන් කොට තිබේ.

තමාට මේ වනවිටත් කිසිදු කොරෝනා රෝගලක්ෂණයක් නොපවතින අතර ඔහු සඳහන් කොට සිටින්නේ තමන් මාධ්‍ය වෙත සිදු කල සාකච්චාවකට පෙර හෝ පසුව මෙම අසාදිත පුද්ගලයා සමග ඇසුරු කල බවයි.

කෙසේ නමුත් මෙම පුද්ගලයා මාධ්‍යවේදියකු නොවන බවද ඔහු සඳහන කොට සිටී.

Nine Network වෙත අදහස් දක්වමින් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කොට සිටියේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සාමාජිකයින් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ හැකියාවක් පවතින අතර ප්‍රාන්ත පාර්ලිමේන්තු සංකීර්ණයද පිරිසුදු කිරීම් කටයුතු සඳහා තාවකාලිකව වස දැමෙනු ඇති බවයි.

එමෙන්ම මේ හා සම්බන්ධ තවත් ආසාදිතයින් හමුවීමේ ඉඩකඩක් පවතින නමුත් එය දරුණු තත්වයක් නොවනු ඇති බවද ඔහු පවසයි.

වර්ධනය වූ Bondi කොරෝනා පොකුර නිසා නීති පිළිපදින ලෙස නිව් සවුත් වේල්ස් අගමැතිනිය ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලයි

ඊයේ (23/06) දිනයේදී නව ආසාදිතයින් 16 දෙනෙකු හමුවීමත් සමග මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල උද්ගතව ඇති තත්වය මත ප්‍රාන්තයම හෝ ප්‍රදේශ වශයෙන් Lockdown තත්වයකට යොමු කිරීම විකල්පයක් ලෙස තෝරාගෙන ඇති බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian පවසයි.

ප්‍රාන්තය තුල සිදුවන මෙම වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ඉදිරියේදී කොරෝනා සීමා දැඩි කිරීමට ප්‍රාන්ත රජය පසුබට නොවන බවද ඇය සඳහන් කොට සිටී.

පවතින තත්වය මත බොහෝ දෙනෙකුගේ පාසල් නිවාඩු සැලසුම්වලට මේ වනවිට දැඩි බාධා එල්ලාව තිබේ.

මේ වනවිට එකිනෙකට සම්බන්ධ නොවූ කොරෝනා වෛරස දාම සම්බන්ධයෙන් සොයාබැලීම නිව් සවුත් වේල්ස් Health සඳහා දැඩි අභියෝගයක් එල්ල කොට තිබේ.

පසුගියදා පැවති උපන්දින සාදයකින් සිදු වූ වෛරස සම්ප්‍රේෂණයකින් පසු Bondi ප්‍රදේශයේ හටගත් කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 31 දක්වා වැඩිවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය ජනවතවගෙන් ඉල්ලා සිටින්නේ නිවැරදි දේ කිරීමට වගබලාගන්නා ලෙසයි.

එමන්ම ප්‍රාන්තය තුල lockdown තත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තමන් මේ වනවිට අවධානය යොමු නොකොට ඇති අතර සියලු දෙනා නිසි ලෙස කොරෝනා නීති පිළිපැදීම සිදු කල හොත් ඉක්මනින් මෙම තත්වයෙන් මිදීමට හැකිවන බවද ඇය පවසයි.

ඕස්ට්‍රේලියාවේ එන්නත්කරණයෙන් AstraZeneca ඉවත් වන ලකුණු

ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක එන්නත්කරන වැඩසටහනෙන් AstraZeneca එන්නත ඉවත්ව යාමට ඉඩ පවතින බව වාර්තා වේ.

ඉදිරියේදී මෙම එන්නත්කරන වැඩසටහනට Pfizer සහ Moderna යන එන්නත් වැඩි වශයෙන් එක් කිරීම මීට හේතුවයි.

එමන්ම දීර්ඝ කලකට පසු එක් එක් ප්‍රාන්ත සඳහා වෙන් කෙරෙන එන්නත් ප්‍රමාණය සම්බන්ධයෙන් දත්ත එළිදැක්වීමට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


 ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න 

පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala


නව තීරණ වලට අනුව ඔක්තෝබර් මාසය වනවිට සෑම සතියකටම වරක් ඕස්ට්‍රේලියානුවන් 615,000කට Moderna එන්නත ලබාගැනීමට හැකියාව හිමි වේ. එමෙන්ම ඕස්ට්‍රේලියානුවන් මිලියන 2.3කට Pfizer එන්නත ලබාගැනීමටද හැකියාව හිමි වේ.

COVID-19 කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් John Frewen සඳහන් කොට සිටින්නේ පවතින තොරතුරු මත එන්නත්කරන වැඩසටහනේදී විවිධ ප්‍රාන්ත සම්බන්ධයෙන් හොදින් සැලසුම් සිදු කිරීමට හැකි වන බවයි. එමෙන්ම මේ වනවිට පවතින තත්වය හමුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වැඩි සාහායක් ලබාදෙන බවද ඔහු පවසයි.

අද (24/06) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා සීමා තවදුරටත් ලිහිල් කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තය තුල පවතින කොරෝනා සීමා තවදුරටත් ලිහිල් කරන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

ඒ අනුව බාර්, අවන්හල් සහ විවිධ උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස පුද්ගලයින් 300 දක්වා ඉහල දැමේ.

ප්‍රාන්තය තුල පවතින කාර්යාල සඳහා, සේවක මණ්ඩලයෙන් 75%ක ධාරිතාවයක් දක්වා සේවය සඳහා පැමිණිය හැක.

එක් නිවසකට පුද්ගලයින් 15 දෙනෙකු දක්වා පිරිසකට පැමිණිය හැකි අතර රෝගීන් බැලීම සඳහා පුද්ගලයින් 5 දෙනෙකුට අවසර හිමිවේ.

එළිමහන් රැස්වීම් සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට අවසර හිමි වේ.

එළිමහන් ස්ථාන වල ප්‍රජා ක්‍රීඩා නැරඹීම සඳහා පුද්ගලයින් 1,000කට අවසර හිමි වේ.

මෙලෙස ලිහිල් වන නීතීන්ට අනුව AFL , NBL and A-League අවසන් මහා තරඟ සඳහා පුද්ගලයින් හට සහභාගී වීමට හැකියාව හිමි වේ.

බහු සංස්කෘතික වැසියන්ට රැකියා ලබාගැනීමට වික්ටෝරියා රජයෙන් ඩොලර් මිලියන 3.9ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණ සහ බහු සංස්කෘතික වැසියන්ගේ රැකියා ලබාගැනීම සඳහා වන බාධක ජයගැනීමට වන සහායක් වශයෙන් එම ප්‍රාන්තය ඩොලර් මිලියන 3.9ක මුදලක් වෙනකොට තිබේ.

සත්කාරක සංවිධාන 11ක් සඳහා මෙම ආධාර ලබාදෙන අතර ඒ ඔස්සේ එම ආධාර අවශ්‍ය තරුණ සහ බහු සංස්කෘතික රැකියා අපේක්ෂකයින් හට උපකාර සැලසේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


වයස අවුරුදු 16-25ත් අතර පිරිස සහ ස්ථිර රැකියා ලබාගැනීම සඳහා විවිධ බාධක වලට මුහුණ දෙන බහු සංස්කෘතික පසුබිමක් සහිත වැඩිහිටි පිරිස සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය Ros Spence පවසන්නේ පුද්ගල අවශ්‍යතාව මත පදනම්ව ආධාර ලබාදීම සිදු කලයුතු අතර ඒ අනුව භාෂා දැනුම පුහුණුව වැනි විවිධ අවශ්‍යතා සඳහා මෙමගින් උපකාර සැපයෙන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් යලිත් කරළියට

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඊයේ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළේය.

දීර්ඝ කාලයක සිට එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් නොකිරීමට එම පක්ෂය පියවර ගෙන තිබු අතර සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කිරීමට පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පත් වී තිබේ.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුම් පවතී.

ජුලි මාසයේ පළමු සතියේ සිට ලංකාවට Pfizer එන්නත් මාත්‍රා ලක්ෂ 50ක්

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 2,205 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 264,091 ක් දක්වා ඉහල ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආශ්‍රිත මරණ 65 ක් ද වාර්තා වී තිබේ.ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 2,769 ක් දක්වා ඉහල ගොස් තිබේ.

ජුලි මාසයේ පළමු සතියේ සිට Pfizer එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.

මෙලෙස ශ්‍රී ලංකාවට ලැබෙන Pfizer එන්නත්. මේ වනවිට AstraZeneca එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් හට ඔවුන්ගේ දෙවන එන්නත් මාත්‍රාව වශයෙන් ලබාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

නවසීලන්තයේ Wellington ප්‍රදේශය ඉරිදා(27/06) මධ්‍යම රාත්‍රිය දක්වා දෙවන මට්ටමේ අවදානම් කලාපයක් කෙරේ

නවසීලන්තයේ Wellington ප්‍රදේශය ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා දෙවන මට්ටමේ අවදානම් සහිත ප්‍රදේශයක් බවට නිවේදනය කොට තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයේ එක්රැස් වන පුද්ගල සංක්‍යාව සඳහා සීමා පැනවීම , සමාජ දුරස්ථ බව ආරක්ෂා කිරීම අනිවාර්ය අතර පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ අනිවාර්ය වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සිට නවසීලන්තයේ Wellington වෙත ගමන් ගත් පුද්ගලයකු නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් අනතුරුව කොරෝනා වෛරසයට ධනාත්මක වීමත් සමග මෙම නිවේදනය සිදු කිරීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කොට තිබේ.

එරට කොවිඩ් -19 ප්‍රතිචාර අමාත්‍ය Chris Hipkins සඳහන් කොට සිටින්නේ එම සංචාරකයා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පිරිස පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවයි.

නවසීලන්තයේ Wellington හි Te Papa ජාතික කෞතුකාගාරය නැරඹීමට එම පුද්ගලයා ගොස් ඇති අතර එම අවස්ථාවේ පුද්ගලයින් 2,500ක් පමණ කෞතුකාගාරය නැරඹීමට පැමිණ සිට තිබේ

ශ්‍රී ලංකා එංගලන්ත පළමු 20යි 20 ජාත්‍යන්තර තරගයේ ජය එංගලන්ත කණ්ඩායමට

ශ්‍රී ලංකා එංගලන්ත පළමු 20යි 20 ජාත්‍යන්තර තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ඒ අනුව, පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා තීරණය කළේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කදුලු 7ක් දැවී ලකුණු 129ක් රැස් කළේය.

කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවකදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 130ක් රැස් කරමින් තරඟයේ ජය හිමිකරගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මීළඟ 20යි 20 තරඟය හෙට ආරම්භ වීමට නියමිතව තිබේ.


7 min read

Published

Updated

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now