ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 163ක ජයක් හිමි කරගනිමින් ටෙස්ට් තරගාවලියෙන් 3-0 ක් ලෙස ඓතිහාසික ජයක් හිමි කරගන්නට ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (අගෝස්තු 17දා ) සමත් විය. වසර 33ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ විශිෂ්ඨතම ටෙස්ට් ජයග්‍රහණය මෙය බව බොහෝ ක්‍රිකට් ප්‍රවිනයින්ගේ මතය වී තිබේ.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව පළමු ඉනිම - 355 (සියලුදෙනා දැවී )
දිනේෂ් චන්දිමාල් - 132
ධනංජය ද සිල්වා - 129
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - 379 (සියලුදෙනා දැවී )
ෂෝන් මාෂ් - 130
ස්ටීවන් ස්මිත් - 119
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම - 347 (කඩුලු 8ක් දැවී)
කෞශාල් සිල්වා - 115
දිනේෂ් චන්දිමාල් - 43
ධනංජය ද සිල්වා - 65 (නොදැවී)
ජයග්‍රහණය සදහා ඕස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය - ලකුණු 324
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - 160 (සියලුදෙනා දැවී )
ඩේවිඩ් වෝනර් - 68
රංගන හේරත්ගෙන් තරගාවලිය තුල කඩුලු 28ක්
රංගන හේරත් තුවනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 64කට කඩුලු 7ක් දවාගත් අතර, මෙම තරගයේ පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 6ත් සමගින් සමස්ත තරගය තුලදී ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 13ක්. ටෙස්ට් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තුලදී කඩුලු 28ක් දවගන්නට සමත් වූ රංගන හේරත්, අවසන් තරගයේ වීරයා ලෙසත්, තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන හිමි කරගත්තේය. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතර රංගන හේරත් සහ මුත්තයියා මුරලිදරන් තුන්වැනි ස්ථානයේ පසුවන අතර, කඩුලු 33ක් සමගින් රිචර්ඩ් හැඩ්ලි පළමු ස්ථානයේත්, හර්බජන් සිංග් කඩුලු 32ක් සමගින් දෙවැනි ස්ථානයේත් පසු වෙයි. 2004 වසරේ මුරලි ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියකදී කඩුලු 28ක් දවාගත් අතර, ඔහු සම කරන්නට රංගන මෙහිදී සමත් විය. 3-0ක් ලෙස ලොව වර්ගීකරණයේ අංක එකේ කණ්ඩායම පරාජයට පත් කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් බවත්, ශ්‍රී ලංකා කණ්ඩායම කොතරම් දක්ෂතා ඇති හොද කණ්ඩායමක් දැයි මෙම ජයග්‍රහණයත් සමගින් ලොවට පෙන්වා ඇති බවත් රංගන හේරත් තරගයෙන් අනතුරුව පවතී මාධ්‍ය හමුවේදී සදහන් කළේය. රංගන හේරත් මෙම තරගාවලියේදී පන්දු යැවීමේදී දැක්වූ දස්කම් වලට අමතරව, පන්දුවට පහරදීමේදී තරගාවලිය තුලදී ලකුණු 119ක් වාර්තා කර ඇති අතර, පන්දුවට පහර දීමේදී ඔහු රදවාගෙන ඇති සාමාන්‍ය 23.80 ක්.
තවද මෙම තරගාවලිය තුලදී වමතින් පන්දු යවන ක්‍රීඩකයින් කඩුලු 70ක් දවාගෙන තිබීමද විශේෂ සිදුවීමක්. වමතින් දග පන්දු යවන රංගන හේරත් කඩුලු 28ක්ද, වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් කඩුලු 24ක්ද මෙම තරගාවලිය තුලදී දවාගෙන තිබේ.
ආසියානු කලාපයේදී ඕස්ට්‍රේලියාවට පිට අන්ත පරාජ තුනක්
ආසියානු කලාපයේදී ඕස්ට්‍රේලියාව කිසිදු තරගයක් ජය ගන්නේ නැතිව, පිට පිට තරගාවලි තුනක් පරාජයට පත් වී තිබීමද විශේෂ සිදුවීමක්. 2012 -13 තරග වාරයේදී ඕස්ට්‍රේලියාව 4-0 ක් ලෙස ඉන්දියාවට පරාජය වූ අතර, 2014 -15 තරග වාරයේදී 2-0 ක් ලෙස පාකිස්ථානයට පරාජයට පත් විය. 2016 වසරේදී 3-0ක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ ඕස්ට්‍රේලියාව පරාජයට පත් වූ අතර ආසියානු කලාපයේ දග පන්දු යවනන්ට හිතකර තණතීරු තුල ක්‍රීඩා කිරීමේ අභියෝගයට ඕස්ට්‍රේලියානු කණඩායම සාර්ථකව මුහුණ නොදුන් බව ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේය.
ටෙස්ට් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාව තුන්වැනි තැනට
ICC නවතම ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයට අනුව ඕස්ට්‍රේලියාවට හිමිව තිබෙන්නේ තුන්වැනි තැනයි. වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව හමුවේ ලැබූ ටෙස්ට් පරාජයත් සමගින් වර්ගීකරණයේ තුන්වැනි තැන දක්වා පහත වැටි අතර, හත් වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයට පත්ව තිබේ. ප්‍රසාද ලකුණු 112ක් සමගින් ඉන්දියාවට වර්ගීකරණය තුල ප්‍රථම ස්ථානය හිමිව ඇති අතර, ප්‍රසාද ලකුණු 111ක් සමගින් පාකිස්ථානයට දෙවැනි තැන හිමිව තිබේ. වර්ගීකරණය තුල ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 95ක්.
තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක දින තරගාවලිය අගෝස්තු 21දා R . ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.