ඔස්ට්‍රේලියාවේදී ප්‍රමාදවන හෝ අවලංගුවන ගුවන් ගමන් සඳහා ගුවන් මගීන්ට නුදුරේදීම වන්දි ලබාදීමේ සූදානමක්

ගුවන් ගමන් ප්‍රමාදයකට හෝ ගුවන් ගමන් අවලංගු කිරීමකට හෝ මුහුණ දී පීඩාවට පත් මගීන්ට පිරිනමන වන්දි වර්ගය සහ ප්‍රමාණය ඔවුන් ගමන් කරන ගුවන් සමාගම සහ එහි ප්‍රවාහන කොන්දේසි මත රඳා පවතී.

People walking through an airport, pulling wheeled luggage

Passenger numbers are tipped to surge to pre-pandemic levels following the last day of the school term in Victoria and Queensland. Source: AAP / Diego Fedele

මෑත වසරවලදී ඔස්ට්‍රේලියාවේදී ගුවන් ගමනක් ගිය ඕනෑම අයෙකු පාහේ අවම වශයෙන් එක් ගුවන් ගමන් ප්‍රමාදයකට හෝ ගුවන් ගමන් අවලංගු කිරීමකට හෝ මුහුණ දී තිබෙනු ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී කාර්මික දෝෂයකට ලක් වී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 30 ක ප්‍රමාදයකින් පසුව ශ්‍රී ලංකාවට ගොඩ බෑමේ සිද්ධියත් සමග ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ද සමුහයක් ලෙස ඉතාම මෑතකදී මෙම ගුවන් ගමන් ප්‍රමාදවීමේ අත්දැකීම විඳ ගත්හ.
මාර්තු මාසයේ සියලුම ගුවන් මාර්ග හරහා නියමිත වේලාවට ගුවන් යානා පැමිණීමේ අගය දිගු කාලීන සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස අඩු බව ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම්, ප්‍රවාහන, ප්‍රාදේශීය සංවර්ධන සහ කලා දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කළේය.

නියමිත වේලාවට ගුවන් යානය පිටවීමේ අගය ද දිගු කාලීන සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස අඩු වූ අතර ගුවන් ගමන් අවලංගු කිරීම් අනුපාතය ද වැඩි වී ඇති බව වාර්තා වේ.
ගුවන් මගීන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් සඳහා ගුවන් සමාගම් වගවීම සඳහා වන්දි ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දෙන ලෙසට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම, ඔස්ට්‍රේලියානු නීතිඥවරුන්ගේ සන්ධානය සහ Choice සහ Consumer Champion යන පාරිභෝගික උපදේශක කණ්ඩායම් සියල්ලම ෆෙඩරල් රජයට වෙන වෙනම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. .

එවැනි යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම් එහිදී ගුවන් මගියෙකු ලෙස ඔබට හිමිවිය හැකි දේ පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ගෙන එයි.

ගුවන් මගියෙකු ලෙස ඔබට දැනට හිමිවන වන්දිය කුමක්ද?

ගුවන් ගමන් ප්‍රමාදයකට හෝ ගුවන් ගමන් අවලංගු කිරීමකට හෝ මුහුණ දී පීඩාවට පත් මගීන්ට පිරිනමන වන්දි වර්ගය සහ ප්‍රමාණය ඔවුන් ගමන් කරන ගුවන් සමාගම සහ එහි ප්‍රවාහන කොන්දේසි මත රඳා පවතී.

ඇතැමුන්ට ටිකට් පතේ මුදල් ආපසු ගෙවීමක් හෝ ආදේශක ගුවන් ගමනක් සඳහා අවස්ථාවක් ලබා දෙන අතර, අනෙක් අයට ගුවන් තොටුපළේදී කෝපි කෝප්පයක මිල පියවා ගැනීමට ප්‍රමාණවත් තරම් වටිනා ආහාර වවුචරයක් පමණක් ලබා දිය හැකිය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතියේ 63 වන වගන්තිය යටතේ "සාධාරණ වේලාවක" සේවා සැපයිය යුතු බවට සහතිකයක් ඇති නමුත් එම නීතිය බලාත්මක කිරීමේදී එය "වඩා අපැහැදිලි" සහ "ඉතා සංකීර්ණ" එකක් බව ඔස්ට්‍රේලියානු නීතිඥවරුන්ගේ සන්ධානයේ ප්‍රකාශිකා Victoria Roy පැවසුවාය.

ප්‍රමාදයන් හෝ අවලංගු කිරීම් සඳහා ගුවන් සමාගම් වගවීමට කිසිදු දිරිගැන්වීමක් හෝ කිසිවක් නොමැති විට, පාරිභෝගිකයින් නිසැකවම දුර්වල පාර්ශවයක් වන බව ඇය පැවසුවාය.

ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් සඳහා මගීන්ට වන්දි ගෙවීම සඳහා ජාතික යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම සඳහා ඔස්ට්‍රේලියානු නීතිවේදීන්ගේ සන්ධානය යෝජනා කරන්නේ එම හේතු නිසා බව ද ඇය පැහැදිලි කළාය.

අවලංගු කරන ලද සහ ප්‍රමාද වූ ගුවන් ගමන් සඳහා වෙනත් රටවල වන්දි යෝජනා ක්‍රම තිබේද?

යුරෝපා සංගමය (EU), කැනඩාව, එක්සත් රාජධානිය, තායිලන්තය සහ මැලේසියාව දැනටමත් ගුවන් මගීන් සඳහා වන්දි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති රටවල් වේ.

"යුරෝපා සංගමයේ වන්දි වැඩසටහන ඉතා හොඳින් ස්ථාපිතයි. ඇඩිලේඩ් සිට සිඩ්නි දක්වා වැනි කෙටි ගුවන් ගමනක් පැය තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වන්නේ නම් අදාළ ගුවන් මගීන්ට එම අපහසුතාවයට යුරෝ 250 ක වන්දියක් හිමි වෙනවා, එය ඔස්ට්‍රේලියානු ඩොලර් 400 ක් පමණ වෙනවා," ඔස්ට්‍රේලියානු නීතිඥවරුන්ගේ සන්ධානයේ ප්‍රකාශිකා Victoria Roy පැවසුවාය.

බ්‍රිස්බේන් සිට බාලි වෙත සමාන දිගු දුර ගුවන් ගමන් හෝ එවැනි දුරක් සඳහා පැය හතරක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද වන්නේ නම් ඔවුන්ට යුරෝ 600ක් දක්වා, එනම් ඔස්ට්‍රේලියානු ඩොලර් 1,000ක් පමණ වන්දි හිමි වෙන බවද ඇය ප්‍රකාශ කළාය.

කැනඩාවේ, දිගු ගුවන් ගමන් ප්‍රමාදයන් සඳහා මගීන්ට ඩොලර් 1,000ක් දක්වා ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියාවට යෝජනා කර ඇති වන්දි ක්‍රමය

ඔස්ට්‍රේලියාව සඳහා වඩාත් හොඳින් ක්‍රියා කරන්නේ කුමන ආකාරයේ වන්දි ක්‍රමයක්ද යන්න පිළිබඳව උපදේශන තිබිය යුතු අතර, යුරෝපා සංගමයේ ආකෘතිය හොඳ ආරම්භක ලක්ෂ්‍යයක් බව ඔස්ට්‍රේලියානු නීතිඥවරුන්ගේ සන්ධානයේ ප්‍රකාශිකා Victoria Roy පැවසුවාය.

"අපට නිසැකවම ඔස්ට්‍රේලියාවේ ගුවන් මගීන්ට වන්දි ලබා දෙන සරල යෝජනා ක්‍රමයක්, මගීන්ට තමන් විසින්ම භාවිතා කළ හැකි ක්‍රමයක් සහ නියමිත වේලාවට ධාවනය කිරීමට ගුවන් සමාගම්වලට දිරිගැන්වීමක් ලබා දෙන වන්දි ක්‍රමයක් අවශ්‍යයි" යනුවෙන් ඇය පැවසුවාය.

"අපගේ මතය අනුව යුරෝපා සංගම් යෝජනා ක්‍රමය සාර්ථක වීමට හේතුව එය පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමේදී ඉතා හොඳින් ක්‍රියා කරන අතර යුරෝපයේ ගුවන් ගමන් තවමත් තරඟකාරී ලෙස මිල කර තිබීමයි." ලෙසද Victoria Roy පැවසුවාය.

"යුරෝපා සංගමයේ ආකෘතියේ තවත් වාසියක් නම්, ප්‍රමාද වීමට හේතුව ගුවන් සමාගමේ පාලනය තුළ පවතින විට එය ගුවන් ගමන් සඳහා ද වන්දි ගෙවීමක් සිදු කිරීමයි" යනුවෙන්ද ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.
ගුවන් මගියෙකුට හදිසි සෞඛ්‍ය ගැටළු ඇතිවන අවස්ථාවලදී, දරුණු අයහපත් කාලගුණික සිදුවීම් ඇතිවන අවස්ථාවලදී ගුවන් ගමන් ප්‍රමාද වීම සාධාරණ බව ද ඇය සඳහන් කළාය.

නමුත් ගුවන් සමාගමේ අනුදැනුමක් ඇතිව ඉහත කී ඔවුන්ගේ පාලනයෙන් තොරවන හේතුවක් නොමැතිව ගුවන් ගමනක් ප්‍රමාද වන්නේ නම් හෝ අවලංගු කෙරේ නම් එයින් පීඩාවට පත්වන ගුවන් මගීන්ට වන්දියක් හිමි විය යුතු බව ද ඇය අවධාරණය කළාය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට ගුවන් සේවා පිළිබඳ විශේෂඥ විශ්ලේෂණයක් සහිතව ධවල පත්‍රිකාවක් සකස් කරමින් සිටින අතර, ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටළු පරීක්ෂා කර විසඳුම් ද ඒ හරහා යෝජනා කරයි.

පසුගිය මාර්තු මාසයේ මෙම ධවල පත්‍රිකාවට යෝජනා ඉදිරිපත් කිරීමේදී සහ ප්‍රමාද වූ හෝ අවලංගු කරන ලද ගුවන් ගමන් සඳහා වඩාත් නිශ්චිත පාරිභෝගික වන්දි හිමිකම් හඳුන්වාදීම ගැන සාකච්ඡා කිරීමේදී ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම යුරෝපා සංගමයේ වන්දි යෝජනා ක්‍රමය ගැන ද සඳහන් කළේය.



Share

Published

By Amy Hall, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service