දෙවැනි එළිසබත් රැජිණගේ අභාවයෙන් පසුව රජකමට තේරී පත්වූ චාල්ස් කුමරු III චාල්ස් රජු ලෙස එළඹෙන මැයි 06 වන දින කිරුළු පැළඳීමට නියමිතය.
චාල්ස් රජුගේ සහ ඔහුගේ බිරිඳ වන කැමිලා රැජිණගේ රාජාභිෂේකය සඳහා මේ වන විට එංගලන්තයේ බකිංහැම් මාළිගාව සූදානම් වෙමින් පසුවෙයි.
නිල ලාංඡනය හෙළිදරව් කරයි
බ්‍රිතාන්‍ය රාජ පරම්පරාවේ සම්ප්‍රදායට අනුව ඒ ඒ රජවරුන්ට සහ රැජිණියන්ට තමන්ටම වෙන්වූ නිල ලාංඡනයක් තිබේ.
මෙය අනුගමනය කරමින් මැයි 06 වන දින ඔටුනු පළඳින III චාල්ස් රජුගේ නිල ලාංඡනයද මේ වන විට ලෝකයට එළිදක්වා තිබේ.
එමෙන්ම රාජාභිෂේකය සඳහා අවශ්‍ය sacred oil හෙවත් පූජනීය තෙල් වර්ග කර නව සංගීතයද මේ වන විට සකස් කර අවසන්.
III චාල්ස් රජුගේ මව වූ දිවංගත දෙවැනි එළිසබත් රැජිණගේ 1953 රාජාභිෂේකය හා සසඳන විට මෙම රාජාභිෂේකය තරමක් සරල අයුරින් සිදුකරනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කර ඇත.
III චාල්ස් රජුගේ රාජාභිෂේක ලාංඡන සැලසුම රජුගේ වසර ගණනාවක පාරිසරික ව්‍යාපාරයට අනුව යමින් සකසා තිබෙන බව සඳහන්.
එංගලන්තයේ රෝස, ස්කොට්ලන්තයේ thistle, වේල්සයේ daffodil සහ උතුරු අයර්ලන්තයේ shamrock යන එක්සත් රාජධානිය සමන්විත වන රාජ්‍යයන් හතරේ වෘක්ෂලතා මෙම නව ලාංඡනයේ ඇති අතර එය සොබාදහමට රජු දක්වන ආදරයට උපහාරයක් බව බකිංහැම් මාළිගය පවසයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එමෙන්ම රාජාභිෂේක උත්සවයේ අති පූජනීය කොටසේදී භාවිතා කරන Chrism තෙල් තුළ පෙර අවස්ථා වලදී භාවිත කර ඇති තෙල්වල මෙන් සත්ත්ව අමුද්‍රව්‍ය කිසිවක් ඇතුළත් නොවේ.
මෙම අවස්ථාව සඳහා වාද්‍ය වෘන්ද හයක්, ගායන මණ්ඩල පහක් සූදානම් කර තිබේ.
එමෙන්ම Andrew Lloyd Webber විසින් මෙම රාජාභිෂේකය සඳහාම නිර්මාණය කරන ලද නව රාජාභිෂේක ගීයක්ද මෙහිදී ඉදිරිපත් කෙරේ.

රාජාභිෂේකය සඳහා වන කුකුල් මස්
මෙය රාජාභිෂේකය සඳහා වන බ්‍රිතාන්‍ය සම්ප්‍රාදයක් බවට පත්වී තිබේ.
1953 දෙවැනි එළිසබත් රැජිණගේ රාජාභිෂේක උත්සවය සඳහා වූ භෝජන සංග්‍රහයේදී රාජාභිෂේකය සඳහා වන කුකුල් මස් ප්‍රථම වරට පිරිනමන ලදී.
එය ආහාර ලැයිස්තුවේ Poulet Reine Elizabeth හෝ chicken Queen Elizabeth ලෙස දැක්විණි.
එය නිර්මාණය කරන ලද්දේ එවකට ලන්ඩනයේ Le Cordon Bleu ඉවුම් පිහුම් පාසලේ විදුහල්පතිනිය වූ Rosemary Hume සහ රැජිණගේ රාජකීය මල් සක්සන්නිය වූ Constance Spry විසිනි.
එම කුකුල් මස් ආහාරය සමන්විත වූයේ curry cream sauce එකක ආලේප කරන ලද සීතල කුකුල් මස් වලින් සහ හොඳින් පදම් කරන ලද සලාදයක් සහිත බත්, මුං ඇට සහ ගම්මිරිස් වර්ගයක් වන pimentos සමගය.
නමුත් III වන චාල්ස් රජුගේ රාජාභිෂේක දිනයේදී රාජාභිෂේකය සඳහා වන කුකුල් මස් පිළිගැන්වීමක් පිළිබඳ සඳහන් නොවේ.
මෙවර උත්සවයේ ආහාර අතරට Ken Hom විසින් සකස් කරන ආසියානු විදියට පදම් කරගත් රෝස්ට් කරන ලද බැටළු මස්, Nadiya Hussain විසින් සකස් කරන රාජාභිෂේක වම්බටු, සහ Adam Handling සකස් කරන ස්ට්‍රෝබෙරි හා ඉඟුරු Trifle ඇතුළත් වේ.

Vegan හිතකාමී holy oil හෙවත් ශුද්ධවූ තෙල්
මෙවර රාජාභිෂේක උත්සවයේ අති පූජනීය කොටසේදී, III වන චාල්ස් රජතුමා Chrism තෙල්වලින් අභිෂේක කරනු ලැබේ.
මීට පෙර රාජාභිෂේක උත්සවවලදී භාවිත වූයේ තල්මසුන්ගේ බඩවැල් වලින් ලබාගන්නා තෙල් සහ ambergris වලින් සකස් කරගන්නා තෙල් වර්ගයකි.
නමුත් චාල්ස් රජු සහ කැමිලා රැජිණගේ රාජාභිෂේකයේදී භාවිත කිරීමට නියමිත තෙල් වර්ගය ඊට හාත්පසින්ම වෙනස්ය.
ග්‍රීසියේ චාල්ස් රජුගේ මිත්තණිය වන ඇලිස් කුමරියගේ සොහොන් බිම වූ Ascension ආරාමයේ සහ Mary Magdalene ගේ ආරාමයේ, ජෙරුසලමේ ඔලිව් කන්දේ වතු දෙකකින් නෙලාගත් ඔලිව් භාවිතයෙන් මෙම අලුත් තෙල් වර්ගය සාදා ඇත.
තල, රෝස, සමන් පිච්ච, කුරුඳු, neroli, benzoin සහ orange blossom සුවඳ මුසු කර වසර 70 කට පෙර දිවංගත එළිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේකය සඳහා භාවිතා කරන ලද තෙල් සහ වසර සිය ගණනක් භාවිතා කරන ලද සංයෝජන සූත්‍රය මත පදනම්ව මෙම තෙල් වර්ගය සාදා ඇති බව බකිංහැම් මාලිගය පවසයි.
සාම්ප්‍රදායිකව, මෙම රාජාභිෂේක තෙල් ampulla හෙවත් රාජාලියෙකුගේ හැඩයෙන් යුත් රන් බඳුනකින් රාජාභිෂේකය සඳහාම වෙන්කළ හැන්දක් මත වත් කරනු ලබන අතර පසුවරජතුමාගේ සහ රැජිණගේ හිස, පපුව සහ අත් මත ආලේප කරනු ලැබේ.
අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකයේදී, එම අවස්ථාව විකාශය කිරීමට නොහැකි තරම් පූජනීය යැයි සැලකීම නිසා රූපවාහිනී කැමරාවලට එම අවස්ථාව ආවරණය කිරීමට අවසර ලබා දුන්නේ නැත.
III වන චාල්ස් රජුගේ රාජාභිෂේකයේදී ද මේ අවස්ථාව ආවරණය කිරීමට අවසර දෙනවාද නැතිද යන්න තවම හෙළිවී නොමැත.

වසර 700ක් පැරණි රාජාභිෂේක පුටුව
අටවන හෙන්රි ඇතුළු එංගලන්තයේ සහ පසුව බ්‍රිතාන්‍යයේ වසර 700ක් පමණ ඔටුනු පැළඳි ඓතිහාසික රාජාභිෂේක පුටුව මෙවර චාල්ස් රජු වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට පෙරාතුව නවීකරණය වෙමින් පවතී.
ශතවර්ෂ ගණනාවක් පටන් ස්කොට්ලන්ත රජවරුන්ගේ ඔටුනු පැළඳීම සඳහා භාවිතා කරන ලද Stone of Scone නොහොත් දෛවයේ පාෂාණය ඇතුළත් කිරීම සඳහා රාජාභිෂේක පුටුව සාදන ලද්දේ I වන එඩ්වඩ් රජුගේ නියෝගය මතය. එඩ්වඩ් රජු වසර 1296 දී ස්කොට්ලන්තයේ සිට ,මෙම පාෂාණය ගෙන එන ලදී.
එය වසර 1308 සිට රාජාභිෂේක උත්සවවල දක්නට ලැබෙන අතර, 1399 දී IV වන හෙන්රිගේ සිට රජවරු සහ රැජිණියන් ඔටුනු පැළඳීමට භාවිතා කරන පුටුව බව ලන්ඩනයේ Westminster Abbey පවසයි.

18 වැනි සහ 19 වැනි සියවස්වලදී ප්‍රාදේශීය වෙස්ට්මිනිස්ටර් පාසල් සිසුන්ගේ සහ සංචාරකයන්ගේ කුරුටු ගෑම්වලට හසු වූ මෙම පුටුව වසර ගණනාවක් දිරාපත් වෙමින් පවතී. එක් සංචාරකයෙක් මෙම ආසනය මත "P. Abbott නිදාගත්තේ මෙම පුටුවේ 1800 ජූලි 5-6 " ලෙස කොටා තිබේ.
1914 දී කාන්තාවන් සිය ඡන්ද අයිතිය සඳහා සිදුකළ උද්ඝෝෂණයකදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් නිසා මෙම පුටුවේ කුඩා කොනකට හානි සිදුවිය.
සෑම කොනකම සිංහයෙකු සිටින මෙහි පාදම 18 වන සියවසේදී ද ප්‍රතිස්ථාපනය කෙරිණි.
මේ අතර, ස්කොට්ලන්ත ජාතිකවාදීන් 1950 දෙසැම්බර් 25 වන දින Stone of Scone පාෂාණය රැගෙන ගිය අතර පසුව එය නැවත ලබා ගත්තේය. 1996 දී ස්කොට්ලන්තයට මෙම පාෂාණය ආපසු ලබා දුන් අතර එය එඩින්බරෝ මාලිගයේ තබා ඇති නමුත් රාජාභිෂේකය සඳහා නැවත ලන්ඩනයට ගෙනෙනු ඇත.

