Key Points
- ‘Hi Mum’ දුරකථන කෙටි පණිවිඩ වංචාව හරහා “සැලකිය යුතු මුදලක්” ලබාගත් බවට කියවෙන පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
- මුදල් අවශ්‍යතාවක් ඇතැයි පවසමින් සිය ආදරණීයයන් එවන ආකාරයට අපරාධකරුවන් විසින් වින්දිතයින්ට කෙටි පණිවිඩ යැවීම මෙම වංචාව හා සම්බන්ධ වේ.
- 2022 දී ඔස්ට්‍රේලියාවේ මෙවැනි සිද්ධීන් 11,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එයින් ඩොලර් මිලියන 7.2 කට වැඩි පාඩුවක් සිදුව තිබේ.
2022 දී, ඔස්ට්‍රේලියානුවන්ට මෙම කුප්‍රකට 'Hi Mum' කෙටි පණිවුඩ වංචාව හරහා ඩොලර් මිලියන 7 කට වඩා අහිමි වී ඇති බව විශ්වාස කෙරේ.
එහිදී වින්දිතයන්ගේ දරුවන් ලෙස පෙනී සිටිමින් වින්දිතයන් රවටා සයිබර් අපරාධකරුවන් මුදල් ගෙන්වා ගැනීම සිදු කොට තිබේ.
දැන්, වික්ටෝරියානු පොලිසිය විසින් මෙම වංචාව හරහා "සැලකිය යුතු මුදලක්" ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම නිසා මෙම 'Hi Mum' දුරකථන කෙටි පණිවිඩ මොනවාද? එම වංචාව මෙතරම් ප්‍රචලිත වූයේ කොහොමද සහ ඔබට එය හඳුනාගත හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳව විමසා බලමු.
මොකද්ද මේ Scam එක?
'Hi Mum' දුරකථන කෙටි පණිවිඩ වංචාව සරල නමුත් පහසුවෙන් කෙනෙක් ඊට හසු කර ගැනීමට සමත් Scam එකක් වේ.
සයිබර් අපරාධකරුවන් සාමාන්‍යයෙන් WhatsApp හෝ SMS හරහා පණිවිඩයක් යවමින්, තම දුරකථනය නැති වූ හෝ නව අංකයක් ලබා ගත් සිය මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටියි.
එවිට වංචාකරුවන් online බැංකු පද්ධතියෙන් තමන්ව අගුළු දමා ඇති බව පවසන අතර, තමාට මුදල් එවන ලෙස වින්දිතයාගෙන් ඉල්ලා සිටී.

The WhatsApp message received by Liz Lawson from who she believed to be her daughter.
ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ (ACCC) දෙසැම්බර් මාසයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2022 වසරේදී මෙවැනි සිදුවීම් 11,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
එයින් ඩොලර් මිලියන 7.2 කට වඩා පාඩු සිදු වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙල්බර්න් වාසියෙක් අත්අඩංගුවට
පසුගිය සිකුරාදා, මෙල්බර්න් හි ඩොන්කාස්ටර් ප්‍රදේශයේ පොලිසිය, විසින් අන්තර්ජාලය හරහා වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කර ඇති බව තහවුරු කළේය.
ව්‍යාජ ලියකියවිලි හරහා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිලදී ගැනීමත් සමඟ මෙම පුද්ගලයා 'Hi Mum' වංචාව හරහා "සැලකිය යුතු මුදලක්" ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙම චෝදනාව එල්ල කර තිබෙන්නේ පොලිසිය විසින් සති හයක විමර්ශනයකින් සිදුකිරීමෙන් අනතුරුවයි.
මෙම දුරකථන පණිවිඩ වංචාව ඔස්ට්‍රේලියාව පුරා සහ ජාත්‍යන්තරව ජනප්‍රියව පවතින අතර, දැනට පවතින සහ නැගී එන වංචාවන් පිළිබඳව වඩාත් හොඳින් දැනුවත්ව සිටින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ Scam වලට හසුවන්නේ කවුද?
ඔස්ට්‍රේලියානු පාරිභෝගික අධිකාරියට අනුව, මෙවැනි සිදුවීම්වලින් තුනෙන් දෙකකට වඩා වාර්තා කර තිබෙන්නේ වයස අවුරුදු 55 ට වැඩි කාන්තාවන් විසිනි.
ACCC නියෝජ්‍ය සභාපතිනි ඩේලියා රිකාඩ් පවසන පරිදි අවාසනාවකට මෙන්, මෙම සයිබර් වංචාකරුවන් කාන්තාවන් සහ වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කරගනිමින් සිටී.
ව්‍යාජ ලෙස පවුල් ඉලක්ක කොට ගත් වංචා වලින් 82% ක් වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් විසින් වාර්තා කර තිබෙන අතර ඒවා වාර්තා වී ඇති පාඩුවෙන් 95% ක් වේ.
පර්ත්හි වෙසෙන ලිස් ලෝසන් නම් කාන්තාව මෙම වංචාවට හසු වූ එක් අයෙකි.
ඇය මෙම වංචාවට ගොදුරු වූයේ එවකට ඇමරිකාවේ සේවය කරමින් සිටි තම දියණිය ලෙස පෙනී සිටි අයෙකුගෙන් ලැබුණු පණිවිඩයක් නිසාය.
දියණිය විසින් තම දුරකථනය වැසිකිළියට වැටුණු බවත් ජලයෙන් හානි වීම නිසා එය තවදුරටත් ක්‍රියා නොකරන බවත් ඇය දුරකථනයක් ණයට ඉල්ලා ගෙන නව සිම් කාඩ්පතක් ලබා ගත් බවත් පවසමින් දීර්ඝ දුක්ඛිත පණිවිඩයක් තමාට ලැබුණු බව 53 හැවිරිදි ලිස් පැවසුවාය.
ඇයගේ දියණිය බෝට්ටුවක වැඩ කරමින් සිටින නිසාත්, මීට පෙර ඇගේ දුරකථනය නැතිවී ගොස් අලාභ හානි වී ඇති නිසාත්, විශේෂයෙන් ජල හානිය යන යෙදුම නිසාත් මෙම පණිවිඩය සිය දියණියගෙන්ම වන බව ඇයට ඒත්තු ගැන්වී ඇත. එමෙන්ම මෑතකදී සිය දියණිය නව කැමරා උපකරණ මිලදී ගන්නා විට ඇය වෙනුවෙන් ගෙවීම් කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටි බවත් ලිස් පැවසුවාය.
මෙම වංචාවට හසුවීමෙන් ඇයට ඩොලර් 10,000 කට ආසන්න මුදලක් වැය වී තිබේ.
පසුව ඇයගේ බැංකුවට මෙම සම්පූර්ණ මුදල ඇය වෙත ආපසු ලබා දීමට හැකි වූ නමුත් බොහෝ වින්දිතයින්ට ඔවුන්ගේ මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි විය.
මෙවැනි වංචා වලින් ඔබ ආරක්ෂා වන්නේ කොහොමද?
හඳුනා නොගත් අංකයකින් සැක සහිත පණිවිඩයක් ලැබුණු විට සිය පුද්ගල සම්බන්ධතාව තමන් විසින්ම පරීක්ෂා කර බලා හඳුනා ගන්නා ලෙස ඔස්ට්‍රේලියානු පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
"ඔබගේ පුතා, දුව, නෑදෑයෙකු හෝ මිතුරෙකු යැයි කියා ගන්නා කෙනෙකු ඔබව දුරකථනයෙන් සම්බන්ධ කර ගන්නේ නම්, එම දුරකථන අංකය තවදුරටත් භාවිතයේ නොමැති දැයි තහවුරු කර ගැනීම සඳහා ඔබේ දුරකථනයේ දැනටමත් ගබඩා කර ඇති අංකයට ඔවුන් ඇමතීමෙන් පරික්ෂා කිරීම ආරම්භ කරන්න. ඔවුන් දුරකථනයට ප්‍රතිචාර දක්වයි නම් එය වංචාවක් බව ඔබටම දැන ගත හැකියි. " යනුවෙන් රිකාඩ් මහත්මිය පැවසුවාය.
“දුරකථනයෙන් ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට නොහැකි නම්, ඔබ කතා කරන්නේ කා සමඟද යන්න හරි හැටි දැනගැනීමට වෙනත් සම්බන්ධතා ක්‍රමයක් මගින් උත්සාහ කළ යුතුයි. එහෙත් ඔබට තවමත් ඔබේ පවුලේ සාමාජිකයා හෝ මිතුරා සම්බන්ධ කර ගත නොහැකි නම්, වංචාකරුවෙකුට පිළිතුර දැනගත නොහැකි පුද්ගලික ප්‍රශ්නයක් ඇසීම සලකා බලන්න, එවිට ඔබ කතා කරන පුද්ගලයා ඔවුන් පවසන අයම ද යන්න දැන ගැනීමට ඔබට පුළුවන්."
Scamwatch ආයතනයද ඕනෑම කෙනෙකුට මුදල් යැවීමට පෙර ප්‍රවේශමෙන් ඒ ගැන පරීක්ෂා කර බලන ලෙස උපදෙස් දී ඇත.
ඔබ විශ්වාස කරන ව්‍යාපාරයකින් හෝ පුද්ගලයෙකුගෙන් පැමිණෙන බවක් පෙනෙන්නට තිබුණත්, අනවශ්‍ය සබැඳි (links) ක්ලික් කිරීමට පෙර දෙවරක් සිතන ලෙස ද Scamwatch ආයතනය උපදෙස් ලබා දී තිබේ.
ඔබගේ online ගිණුම් සුරක්ෂිතව තබා ගැනීමට, Scamwatch ආයතනය විසින් ශක්තිමත් මුරපද භාවිතා කිරීම, ආරක්ෂක මෘදුකාංග නිතිපතා යාවත්කාලීන කිරීම සහ හැකි නම් බහු සාධක සත්‍යාපනය (multi-facror authentication) සක්‍රීය කිරීම නිර්දේශ කරයි.