ගෙවුණු දශක පහේ ලොව හොඳම එක්දින ක්‍රීඩකයන් පස් දෙනා අතරට මුරලිද නම් කෙරේ: අප්‍රේල් 19 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

අප්‍රේල් 19 වන දා සඳුදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

Murali among the Wisden Almanack’s Top 5 Cricketers of all time in ODIs

Murali among the Wisden Almanack’s Top 5 Cricketers of all time in ODIs Source: Facebook/ Muttiah Muralitharan

Highlights

  • ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් අද (19/04) සිට යළි ඇරඹේ.
  • සිඩ්නි නුවර හෝටල් නිරෝධායන වැඩසටහනෙන් දේශීය ප්‍රජාවේ සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි.
  • අවුරුදු 70 ට වැඩි වික්ටෝරියානුවාසීන්ට කලින් වෙන්කරගත් වේලාවක් නොමැතිව කොරෝනා එන්නත ලබාගැනීමට මධ්‍යස්ථානතුනක්.
  • බලශක්ති මිල අඩු කිරීමට සහ බලශක්ති සැපයුම්වල විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය අතර ගිවිසුමක්.
  • රුසියානු විපක්ෂ ක්‍රියාකරු ඇලෙක්සි නවාල්නි සිරගෙදරදී මිය ගියහොත් ඊට වන්දි ගෙවිමට සිදුවනු ඇති බවට ඇමෙරිකාව රුසියාවට අනතුරු අඟවයි.
  • ගෙවුණු දශක පහේ විස්ඩන් එක්දින ක්‍රීඩකයන් පස් දෙනා අතරට මුරලිදරන්ද නම් කෙරේ.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් අද සිට යළි ඇරඹේ

වසරකට අධික කාලයක් පුරාවට පැවති දැඩි සීමාවන්ට පසුව ඔස්ට්‍රේලියානු - නවසීලන්ත සංචාරක බුබුල ආරම්භ කිරීමට හැකිවීම දෙරටම අත්කරගත් “ජයග්‍රහණයක්” ලෙස ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසයි.

ඔස්ට්‍රේලියානු - නවසීලන්ත සංචාරක බුබුල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරිණි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සිටින්නන් හට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නවසීලන්තයට සංචාරය කිරීමට අවසර ඇති අතර ඔස්ට්‍රේලියාවට නැවත පැමිණිමේදී ඔවුන්ට හෝටල් නිරෝධායනය වීම අනවශ්‍ය වේ.

ඔස්ට්‍රේලියානු - නවසීලන්ත සංචාරක බුබුල යටතේ ප්‍රථම ගුවන් ගමන අද පෙරවරු 6.15 ට සිඩ්නි නුවරින් නවසීලන්තය බලා පිටත්ව ගියේය.

මේ වන විට මෙල්බර්න් නුවර වාසය කරන නවසීලන්ත ජාතික Joshua Pomare ලබන මාසයේ මුල භාගයේදී සතියක පමණ නවසීලන්ත සංචාරයකට සූදානම් වේ.

නවසීලන්තයේ සිටින තම දෙමාපියන් තමාව සහ තමාගේ මාස 10 ක් වයසැති සිඟිති දියණියව දැකීමට නොඉවසිල්ලෙන් සිටින බව ඔහු පැවසීය.

සිඩ්නි නුවර හෝටල් නිරෝධායන වැඩසටහනෙන් දේශීය ප්‍රජාවේ සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

සිඩ්නි නුවර හෝටල් නිරෝධායන වැඩසටහනෙන් දේශීය ප්‍රජාවේ සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම පිළිබඳ නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් නැවත පරීක්ෂණයක් සිදුකර තිබේ.

සිඩ්නි නගර ශාලාවේ ඇඩිනා මහල් නිවාසයේ යාබද කාමරයක නවාතැන් ගෙන සිටි සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයින් තිදෙනෙකු හට කොරෝනා වයිරසයට ආසාදනය වී ඇති බව එම පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

එලෙස වයිරසය ඔවුන්ට සම්ප්‍රේෂණය වූයේ කෙසේදැයි NSW Health විසින් විමර්ශනය කරමින් සිටී.

මෙහිදී හෝටල් නිරෝධායනය සිදුකරන හෝටල් වල වාතාශ්‍රය සපයන පද්ධතිය පිළිබඳ පරීක්ෂා කළ යුතු බවට කම්කරු පක්ෂයේ සෞඛ්‍ය පිළිබඳ නියෝජිත Mark Butler පවසයි.

අවුරුදු 70 ට වැඩි වික්ටෝරියානුවාසීන්ට කලින් වෙන්කරගත් වේලාවක් නොමැතිව කොරෝනා එන්නත ලබාගැනීමට මධ්‍යස්ථාන තුනක්

වයස අවුරුදු 70 ට වැඩි වික්ටෝරියානුවාසීන්ට එළඹෙන බදාදා සිට කලින් වෙන්කරගත් වේලාවක් නොමැතිව කොරෝනා එන්නත ලබාගැනීමට එන්නත්කරණ මධ්‍යස්ථානයක් තෝරා ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව කොරෝනා එන්නත ලබාගැනීමට අදාළ 1a සහ 1b ඛාණ්ඩ වල වික්ටෝරියානුවාසීන්ට Royal Exhibition ගොඩනැගිල්ල, Melbourne Convention and Exhibition Centre සහ Geelong හි පෙර පැවති Ford කාර්මාන්ත ශාලාව යන ස්ථාන ත්‍රිත්වයෙන් කලින් වෙන්කරගත් වේලාවක් නොමැතිව AstraZeneca එන්නත ලබාගැනීමට අවස්ථාව උදාවේ.

මේ අතර වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත තවමත් තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් වුවද ලබාගත හැකිය.

කොරෝනා එන්නත ලබාගැනීමට වික්ටෝරියානුවාසීන්ට වැඩි විකල්ප ලබාදීම තම රජයේ අරමුණ බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


බලශක්ති මිල අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය අතර ගිවිසුමක්

බලශක්ති මිල අඩු කිරීමට සහ බලශක්ති සැපයුම්වල විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය  සමඟ ඩොලර් බිලියන 1.08 ක ගිවිසුමක් අත්සන් කරයි.

මෙම ගිවිසුමේ කොටසක් ලෙස ගෑස් සැපයුම් සීමා මුදා හරිනු ඇති අතර, දකුණු ඔස්ට්‍රේලියාව සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අතර නව අන්තර් සම්බන්ධතාවක් ආරම්භ වනු ඇත.

ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙම ගිවිසුම ඉලක්ක කර ඇති බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall පවසයි.

රුසියානු විපක්ෂ ක්‍රියාකරු ඇලෙක්සි නවාල්නි සිරගෙදරදී මිය ගියහොත් ඊට වන්දි ගෙවිමට සිදුවනු ඇති බවට ඇමෙරිකාව රුසියාවට අනතුරු අඟවයි

මේ වන විට සිරගත කර සිටින රුසියානු විපක්ෂ ක්‍රියාකරු ඇලෙක්සි නවාල්නිගේ ජීවිතය අනතුරේ බව ඔහුගේ වෛද්‍යවරු පවසති.

බන්ධනාගාරය තුළ තමන්ට ලැබෙන දුර්වල සැලකීම් වලට විරෝධය පෑමක් ලෙස ඇලෙක්සි නවාල්නි සති තුනකට අධික කාලයක සිට උපවාසයක් ආරම්භ කර තිබේ.

නවාල්නිගේ පිට ප්‍රදේශයේ හටගෙන ඇති දරුණු වේදනාවට සහ පාදවලට ප්‍රතිකාර කිරීම සඳහා පෞද්ගලික වෛද්‍යවරයකු ගෙන්වාගැනීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ඇලෙක්සි නවාල්නි සිරගෙදරදී මිය ගියහොත් ඊට වන්දි ගෙවිමට සිදුවනු ඇති බවට ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට අනතුරු අඟවා තිබේ.

මේ අතර නවාල්නිගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරෙන හෙයින් මොස්කව් හා ශාන්ත පීටර්ස්බර්ග්හි විරෝධතා දක්වන ලෙස නවාල්නිගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලියොනිඩ් වොල්කොව් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ගෙවුණු දශක පහේ විස්ඩන් එක්දින ක්‍රීඩකයන් පස් දෙනා අතරට මුරලිදරන්ද නම් කෙරේ

අන්තර්ජාතික ක්‍රිකට් පිටියට එක්දින ක්‍රීඩාව එක් වී වසර 50 සම්පූර්ණ වීම නිමිත්නෙන් ගෙවී ගිය දශක පහේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකු නම් කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිත සුප්‍රකට විස්ඩන් සඟරාව කටයුතු කර තිබේ.

ඒ අනුව 1971 වසරේ ආරම්භ වූ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී 2010 වසරේ ඇරඹි දශකයේ එක්දින ක්‍රීඩකයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි නම් කර ඇති අතර, 2000 වසරෙන් ආරම්භ වූ දශකයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර ඇත.

එක්දින තරග 350කදී කඩුලු 534ක් බිඳ හෙළා ඇති මුරලි 2000-2009 කාලයේදී ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 205කි.

1990 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්, 1980 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස හිටපු ඉන්දීය නායක කපිල් දේවි නම් කර ඇති අතර, එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූ 1970 දශකයේ එක්දින ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ය.



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service