SKIP TO MAIN CONTENT

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් මාලදිවයිනට පලා යයි

Sri Lankan president Gotabaya Rajapaksa waves after casting his vote during the parliamentary election in Colombo, Sri Lanka
Sri Lankan president Gotabaya Rajapaksa waves after casting his vote during the parliamentary election in Colombo, Sri Lanka Source: AP

3 min read

Published

Updated

By Madhura Seneviratne, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද - ජූලි 13 වන බදාදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම් කාලයේදී ශ්‍රී ලංකාවෙන් පිටව මාල දිවයින බලා පිටත්ව ගොස් තිබේ.

ඔහුගේ පාලනයට එරෙහිව පුලුල් විරෝධතා වලින් පසු, මාස ​​32 ක කාලයක් බලයේ රැඳී සිටීමෙන් අනතුරුව, ඉල්ලා අස්වීමට තමා විසින්ම නියම කරන ලද අවසන් දිනය වන අද දිනය (13 July) උදා වීමට සුළු වේලාවකට පෙර රටින් පිට වීමට ඔහු සමත්ව තිබේ.

ජනාධිපති වශයෙන් ඉල්ලා අස්වූ පසු ඔහුට හිමි 'මුක්තිය' අහිමිවන අතර ඔහුව අත් අඩංගුවට ගැනීමේ නීතිමය බලය හිමි වන නිසා එය වළක්වා ගැනීම සඳහා ඉල්ලා අස්වීමට පෙර ඔහුට විදේශගත වීමට අවශ්‍ය වූ බව විශ්වාස කෙරේ.

ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ අයෝමා, ශරීර ආරක්ෂකයින් වන බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ සහ මධුර සංජීව නමැති පුද්ගලයින් සමඟ මාලදිවයිනට රැගෙන යාමට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් යොදා ගැනීමත් සමඟ අද අලුයම කටුනායක ගුවන් තොටුපළේ දැඩි කලබලකාරී වාතාවරණයක් ඇතිවුණු බවට වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32බී ගුවන් යානය SCM-863 දරන ගුවන් යානය අද ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1.30 ට පමණ ජනාධිපතිවරයා, ආර්යාව සහ තවත් ශරීර ආරක්ෂකයින් දෙදෙනෙකුද රැගෙන ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති අතර පිටත්ව යාමට පෙර පැයක පමණ කාලයක් භූමියේ ගත කිරීමට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට සිදුව ඇති බවද වාර්තාවේ. ගමනාන්තයවන මාලදිවයිනේ 'මාලේ' අගනුවරට ගුවන් යානය ගොඩබෑම සඳහා අවසරය නැවත තහවුරු වන තුරු මෙලෙස බලා සිටීමට සිදුව ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මාලේ අගනුවරට ගොඩබෑම සඳහා අවසරය ලැබීම පිළිබඳව අවිනිශ්චිතතාවයක් පැවතියද, එය සංනිවේදන දෝෂයක් මත සිදුවූවක් බව පසුව කොළඹ ගුවන් තොටුපළ නිලධාරියෙක් SBS සිංහල සේවයේ අප කොළඹ වාර්තාකරු වෙත පවසා තිබේ.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සහ රාජපක්ෂ ආර්යාව සමඟ ගමන් කිරීමට නියමිතව සිටි තවත් 15 දෙනෙකු විශේෂ හමුදා ගුවන් යානයට නොපැමිණි බව නිලධාරීහු පවසති.

ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සඳහා පිටවීමේ මුද්‍රා තබා ඇති බවත් ඔවුන් විශේෂ ගුවන් හමුදා ගුවන් යානයට ගොඩ වූ බවත් අදාළ ක්‍රියාවලියට සම්බන්ධ ආගමන නිලධාරියෙකු ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් පිටවී යාමට උත්සහ දරා ඇති අතර ගුවන් තොටුපළේදී පැය 24 කට වැඩි කාලයක් ඊට බාධා කර තිබුණි.

ඔහුට වානිජ ගුවන් යානයකින් ඩුබායි වෙත පියාසර කිරීමට අවශ්‍ය වූ නමුත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩලය ප්‍රභූ මගී සේවාවන්ගෙන් ඉවත් වූ අතර සියලුම මගීන්ට පොදු කවුන්ටර හරහා යා යුතු බව තරයේ කියා සිටියේය.

මේ අතර සියලුම නීතිරීතිවලට යටත්ව, ශ්‍රී ලංකාවේ තවමත් විධායක ජනපති වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව මාලදිවයින බලා පියාසර කිරීමට ගුවන් පහසුකම් ලබා දුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (ජූලි 13) නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ජනාධිපතිවරයාට රටින් පිටවීමට ඉඩ ලබාදුන් බවට ගුවන් හමුදාවට චෝදනා එල්ල වන අතර එයට හේතු පහදමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය මෙම නිවේදනය නිකුත් කොට ඇත.

එම නිවේදනය පහතින්

SL Airforce press release
SL Airforce press release Source: SBS Sinhala

අද දිනයේදී ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම ලැබුනහොත් ජූලි 18 වනදා ඔහු වෙනුවට නාමයෝජනා කැඳවන බව පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මැතිවරණය ජුලි 20 වැනිදා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට නව ජනාධිපතිවරයෙකු පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now