පාසල් බස් රථයේ දමා ගිය වයස අවුරුදු 5 ක දරුවෙකු තම දෙමාපියන්ව සොයා තනිව කිලෝ මීටරයක දුරක් පයින්ම ඇවිද ආ සිදුවීමක් ඔස්ට්‍රේලියාවේ Coober Pedy කලාපයෙන් වාර්තා වේ.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Coober Pedy Area පාසලේ ඉගෙනුම ලබන එම දරුවාව අදාළ පාසල් බස් රථයේ දමා ගොස් යාමෙන් මෙම සිදුවීම හටගෙන තිබේ.
Highlights
- පාසැල් ළමුන් බැස්වීමෙන් අනතුරුව අවසානයේ නිවසට කිලෝ මීටර් 10 ක පමණ දුරකින් බස් රථය නවතා තැබීමෙන් පසුව තිනුල පමණක් බස් රථය තුළ තනිවී තිබේ.
- තමන්ගේ පාසල් බෑගයත් සමග සෙල්සියස් අංශක 32 ක උෂ්ණත්වයක් තිබියදී පැයකට වැඩි කාලයක් තිනුල නිවෙස සොයා ඇවිදිමින් ගමන් කර තිබේ.
- තිනුලගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් වේ.
නිවසේ සිට කිලෝ මීටර් 10 ක් ඈතින් තනිවෙයි
Coober Pedy Area පාසලේ ඉගෙනුම ලබන තිනුල රයෝන් හෙට්ටිආරච්චි නමැති පස් හැවිරිදි දරුවා ව පසුගිය සතියේ බදාදා දිනයේදී පාසල නිමවී නිවස අසලින් බැස්වීමට අදාළ පාසල් බස් රථයේ රියදුරුට අමතකවී ගොස් තිබේ.
පාසැල් ළමුන් බැස්වීමෙන් අනතුරුව අවසානයේ බස් රථය නවතා තැබීමෙන් පසුව ඔහු පමණක් බස් රථය තුළ තනිවී තිබේ.
එම ස්ථානයේ සිට තිනුල ගේ නිවසට කිලෝ මීටර් 10 ක පමණ දුරක් පවතී.
අනතුරුව බස් රථයෙන් බැසගත් තිනුල Stuart අධිවේගී මාර්ගය දෙසට ඇදෙන මාර්ගයක තනිවම ඇවිදිමින් සිටියදී හමු විය.

"මගේ දරුවා බස් රථයේ දොර විවෘත කර අපව සොයා ගැනීමට කිලෝමීටරයක් පමණ ඇවිදිමින් සිටියා." යනුවෙන් තිනුල ගේ පියා වන ගයාන් ඉඳුනිල් හෙට්ටිආරච්චි මහතා SBS පුවත් වෙත පැවසීය.
තිනුලගේ දෙමාපියන් විසින් විශ්වාස කරන පරිදි ඔහු තමන්ගේ පාසල් බෑගයත් සමග සෙල්සියස් අංශක 32 ක උෂ්ණත්වයක් තිබියදී පැයකට වැඩි කාලයක් නිවෙස සොයා ඇවිදිමින් ගමන් කර තිබේ.
"අපට එය විශ්වාස කළ නොහැකියි. මේ වගේ දෙයක් වෙයි කියලා අපි කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. මේක මට කිව්වාම මම ඇඬුවා, මට තරහ ගියා" යනුවෙන් තිනුල ගේ මව වන චින්තා රෝහිනී සිංහපුරගේ මහත්මිය SBS පුවත් වෙත පැවසුවාය.
කුඩා දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ මීට වඩා සලකිලිලෙන් කටයුතු කළ යුතු බව තිනුලගේ දෙමාපියන් බලධාරීන්ට දන්වා සිටියි.

ලාංකික සම්භවයක් සහිත පවුලක්
තිනුල රයෝන් හෙට්ටිආරච්චි නමැති දරුවාගේ දෙමාපියන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් වන අතර ඔවුන් මීට වසර 4 කට පමණ පෙර මෙල්බර්න් සිට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Coober Pedy වෙත පැමිණ තිබේ.
තමා බස් රථය තුළ බොහෝ වේලාවක් බලා සිටි බවත් එහිදී ඔහුට මුත්‍රා පහවූ බවත් අවසානයේ බස් රථයේ දොර විවෘත කර බැස ගිය බවත් තිනුල තම දෙමාපියන්ට පවසා ඇත.
"වාසනාවකට ඔහු වමට හැරුනේ, ඔහු දකුණට හැරුනානම් පතල් කනින ස්ථාන බොහොමයක් තිබෙනවා, එහෙම වුණානම් මොනවා වෙයිද කියලා හිතන්න අමාරුයි." යනුවෙන් තිනුලගේ පියා පැවසීය.
"මම කියන්නේ ක්‍රියා පටිපාටිය පමණක් අනුගමනය නොකර සෑම සේවා මුරයක් අවසානයේදීම බස් රථය තුළ හොඳින් පරීක්ෂා කර කිසිවෙකුත් ඒ තුළ නොමැති බවට සනාථ කරගත යුතුයි." යනුවෙන්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පාසල වෙත නිල පැමිණිල්ලක්
තිනුල මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් පසුවදාම පාසල වෙත නිල පැමිණිල්ලක් සිදුකර තිබේ.
මෙම සිදුවීම සිදුවුයේ කෙසේදැයි සහ මේ සඳහා කුමන පියවර ගත යුතුද යන්න පිළිබඳ වහාම සොයා බලන ලෙස ඔවුන් පාසලට දන්වා ඇත.
"ඉතා කුඩා ළමයෙකු සමඟ කටයුතු කිරීමේදී පාසල සහ එහි සේවකයින් විසින් බරපතල ලෙස නොසැලකිලිමත්කමක් දක්වා තිබේ." යනුවෙන් එම ලිඛිත පැමිණිල්ලේ සටහන් කර තිබේ.
බ්‍රහස්පතින්දා දිනයේ පැමිණිලි කළද ඊළඟ සතියේ සඳුදා දිනයේ දී තමන් ඒ පිළිබඳ යළි සොයාබලන තෙක් පාසලෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද තිනුල ගේ දෙමාපියන් පැවසීය.
නමුත් පාසල එම සිදුවීම පිළිබඳ දැනුවත් බව සඳහන් කරමින් සිද්ධිය සිදුවූ දිනට පසුදිනම තිනුල ගේ දෙමාපියන් වෙත ලිපියක් යැවූ බව Coober Pedy Area පාසලේ විදුහල්පතිනිය පවසා ඇත.
එම සිදුවීම දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ද වාර්තා කළ බව ඇය පැවසුවාය.
මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදුනොවීමට පියවර ගන්නා බවත් තිනුලගේ දෙමාපියන්ව අමතා සිදුවූ සිද්ධිය පිළිබඳව සමාව අයැද සිටි බවත් ඇය ප්‍රකාශ කළාය.

තිනුල තවමත් කම්පනයෙන්
මෙම සිද්ධියෙන් පසුව තම පුතා තවමත් කම්පනයට පත්ව සිටින බවත්, දිනපතා ඔහු අත්විඳී සිදුවීම විස්තර කරන බවත් තිනුලගේ දෙමාපියෝ පැවසූහ.
නිවස බලා එමින් සිටි තිනුලව සොයාගනු ලැබුවේ එම ප්‍රදේශයේ පදිංචි Ariane Montminy-Roberge නමැති කාන්තාව විසිනි.
තමන්ට තිනුලව මුණගැසෙන විට ඔහු කැළඹීමෙන් සිටි නමුත් ඔහුගෙන් කෙසේදැයි විමසු විට ඔහු හොඳින් යයි පැවසූ බවත් ඇය විස්තර කළාය.
"මම මගේ මිත්තණියව සොයනවා." යනුවෙන් තිනුල එහිදී පවසා තිබේ.
අනතුරුව අදාළ කාන්තාව දුරකතනය හරහා තිනුලගේ දෙමාපියන්ව අමතා තිනුල පිළිබඳ සැලකර සිටියාය.
"මම ඔහුව සොයා නොගත්තේ නම්, ඔහු වෙනත් දිශාවකට ගමන් කළේ නම්, මේ දරුවාට සිදුවූයේ කුමක්දැයි කිසිවෙකුත් දැනගන්න එකක් නැහැ." යනුවෙන් Montminy මහත්මිය පැහැදිලි කළාය.
තිනුලගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් වේ.

