2022 ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ ව්‍යාපාරයේ දිනෙන් දින විවිධ උණුසුම් මාතෘකා කරළියට පැමිණෙමින් තිබේ. ප්‍රධාන පක්ෂ සිය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය මැතිවරණ පොරොන්දු ඉදිරිපත් කරමින් සිටී.
එළඹෙන මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ විසින් අවධානය යොමු කළ යුතු යැයි ඔවුන් බලාපොරොත්තු වන ප්‍රධාන ක්ෂේත්‍ර දෙක මොනවාද යැයි SBS සිංහල ගුවන් විදුලි සේවය විසින් සිදු කළ විමර්ශනයකදී ඔස්ට්‍රේලියාවේ ජිවත් වන ශ්‍රී ලංකේය ප්‍රජාවේ කිහිප දෙනෙක් අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.
මුලින්ම සිඩ්නි නුවර සිට අප සමග සාකච්ඡාවට සම්බන්ධ වූ වසර 35 ක් පුරා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සේන ඇතුගල මහතා.
පත් නව ආණ්ඩුව විසින් අවධානය යොමු යොමුකළ යුතු ප්‍රධාන කරණු ලෙස ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා පහසුකම් වැඩි දියුණු කිරීම සහ පරිසර දූෂණයට කඩිනම් විසඳුම් ලබාදීමයි.

වයෝවෘද්ධ අයට සෞඛ්‍ය සේවා පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථා අඩු බැවින් සෞඛ්‍ය සේවා පහසුකම් දියුණු වනු දැකීමට තමා කැමති බවත්, පරිසර දූෂණය නිසා ගිනි ගැනීම්, ජල ගැලීම් වැනි ස්වභාවික විපත් නිතර සිදු වෙන බැවින් ඒ සඳහා කඩිනම් අවධානය යොමු කිරීම වැදගත් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
බටහිර ඕස්ට්‍රෙලියානු ප්‍රාන්තය නියෝජනය කරමින් මෙල්බන් සිට අප සමග සම්බන්ධ වූ මධුෂානි බණ්ඩාර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ දෙවන පරපුරේ කෙනෙක්.
ඉංග්‍රීසි බසින් සිය අදහස් දැක්වමින් එළඹෙන ෆෙඩරල් මැතිවරණයට තරඟ වදින පක්ෂ විසින් අවධානයක දිය යුතු මූලික ක්ෂේත්‍ර දෙක සම්බන්ධයෙන් ඇය දරන්නේ මෙවන් අදහසක්.
මට නම් මේ මොහොතේදී කාටද ඡන්දය දෙන්නේ යන්න ප්‍රධානතම සාධකය වන්නේ මගේ ආර්ථික තත්ත්වය කළමනාකරණය කරන්න උදව් දෙන්නේ කවර පක්ෂය ද යන කාරණයයි. ඒ වගේම දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රතිපත්ති කුමක්ද යන්නයි.
ආර්ථික කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ ඇයි දැයි හේතු දක්වමින් මධුෂානි කියා සිටියේ මේ වන විට ජීවන වියදම වැඩි වී ඇති නිසාත්, උද්ධමනය වැඩි වෙමින් පවතින නිසාත් තමාගේ වයස වන අවුරුදු තිහේ සීමාවේ හා ඊට බාල වයස් වල අයට නව නිවාස මිලදී ගැනීම සහ ඉදිරියේදී පවුලක් නඩත්තු කිරීම පහසු නොවන බවයි.

මෙම ගැටලු සමඟ ගනුදෙනු කිරීමට නිසි ප්‍රතිපත්තියක් ඇති දේශපාලන පක්ෂයකට තමන් ඡන්දය දෙන බව ඇය කියා සිටී.
දේශගුණික විපර්යාස කියන්නේ මම හිතන්නේ දීර්ඝකාලීනව අවධානය යොමු විය යුතු දෙයක්. යම් දේෂපාලන පක්ෂයකට දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තියක් තියෙනවා නම්, අනාගතයේ දී දේශගුණික විපර්යාස වල බලපෑම කළමනාකරණය කිරීමට හෝ එම බලපෑම අවම කිරීමට සැලසුම් තියෙනවා නම් එයයි මම තෝරාගන්නා දේශපාලන පක්ෂය. " යනුවෙන් පැවසූ මධුෂානි තව දුරටත් කියා සිටියේ දේශගුණික විපර්යාස වල බලපෑම ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව සියලු දෙනාටම බලපාන අතර වහාම ක්‍රියාත්මක නොවුනහොත් තත්ත්වය තවත් දරුණු වන බවයි.
දේශගුණික බලපෑම් හමුවේ වගා කටයුතු වලට ගැටළු ඇති වන බවත්, වගා කිරීමට නොහැකි වූ විට ආහාරවල මිල ගණන් ඉහළ යන බවත්, දේශගුණික විපර්යාස සහ ආර්ථිකය යන මේ සියල්ලේ අන්තර් සම්බන්ධතා ඇති නිසා මේවා කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතු බව ඇය විසින් පෙන්වා දෙන ලදී.
මීළඟට ඔස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිහි සිට SBS සිංහල ගුවන් විදුලියට අදහස් දැක්වීමට සම්බන්ධ වූ ප්‍රසාද් වඩුගේ මහතාගෙන්ද අප විමසා සිටිය එළඹෙන ෆෙඩරල් මැතිවරණයට තරඟ වදින පක්ෂ විසින් අවධානය යොමු කළ යුතු මූලික ක්ෂේත්‍ර දෙක සහ එම ක්ෂේත්‍ර තෝරා තෝරා ගැනීමට හේතුව කුමක්දැයි යනුවෙන්.
කොවිඩ් වසංගත සමයේ ඇති වූ ගමනාගමන බාධක නිසා ඇතැම් භාණ්ඩ හා නිෂ්පාදන ලබා ගැනීමට අපට නොහැකි වූ බව පෙන්වා දුන් ප්‍රසාද් මහතා සඳහන් කර සිටියේ අප ආනයන නිසා අනෙකුත් රටවත් මත යැපෙමින් සිටින බවයි.
ඒ සමගම ඔස්ට්‍රේලියාව යනු අමුද්‍රව්‍ය අතින් ඉතා ඉහළ පොහොසත් කමක් ඇති රටක් බවත් ලිතියම් , යකඩ, රත්‍රං මෙන්ම දියමන්ති පවා රට තුළ ඇති බවත් ඔහු පවසයි. නමුත් මෙම අමුද්‍රව්‍ය එලෙසින්ම අපනයනය කරනු විනා රට තුළ නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු නොවන බව ඔහු දකින අතර රජයට මුදල් ඇති නිසා මේ සඳහා ආයෝජනය කිරීමෙන් අමුද්‍රව්‍ය පරිවර්තනය කර රටට අවශ්‍ය නිෂ්පාදන රට තුළම නිපදවා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

තිරසර සංවර්ධනයට යොමුවන විට ගෝලීය උණුසුමට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය වැදගත් වේ. එහිදී සූර්ය ශක්තිය ගබඩා කිරීමට අවශ්‍ය බැටරි ආනයනය කරනු ලැබෙන්නේ චීනය හෝ ජපානය වැනි රටවලිනි. බැටරි නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍යයක් වන ලිතියම් රට තුළ ඇති නිසා බැටරි නිෂ්පාදනාගාර රට තුළ ඇති කිරීමෙන් අප පුනර්ජනනීය බලශක්ති කරා යොමු වෙන අතරම අතිරික්ත නිෂ්පාදන අපනයනය කිරීමටද හැකිවේ.
ප්‍රසාද් මහතා සිය දෙවන ක්ෂේත්‍ර ලෙස සලකන්නේ, නිවාස ක්ෂේත්‍රයයි. පවතින මිල ගණන් අනුව අපේ දරු පරපුරට නිවසක් මිලදී ගැනීම ඉතා අපහසු වනු ඇති බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම නිවාස අහිමි බොහෝ දෙනෙකු සිටින බැවින් පොදු නිවාස සංකීර්ණ වැඩියෙන් ඇති කිරීමට පත්වන රජය කටයුතු කළ යුතු බව ද ඔහු පවසයි.
රට තුළ ඉඩම් කොතරම් තිබුණත් නිවාස වෙළෙඳපොළ මත යැපෙමින් ඒ සඳහා ඇති ඉල්ලුම පවත්වාගෙන යාමට ඉඩම් නිකුත් කිරීම සිදු නොකරයි.
පත්වන රජයක මැදිහත්වීමෙන් මානුෂිකව සලකා කෘතිමව නිර්මාණය කරන නිවස වෙළඳපොලේ අධික මිල ගණන් අඩු කරන්නේ නම් එය වැදගත් බව ප්‍රසාද් මහතා පෙන්වා දෙයි. මෙයින් ඔහු අදහස් කරන්නේ අවසානයේ ආතතියකින් තොරව සතුටින් අපේ මිනිසුන් ජීවත් වීම වැදගත් බවයි. රටේ සම්පත් තිබියදී අපි ඒවා භාවිතා නොකරන්නේ ඇයි ද යන පැනයට පත්වන නව රජයක් ලෙස විසඳුම් දිය යුතු බව ඔහු වැඩිදුරටත් වැඩි දුරටත් පවසයි.
අවසන් වශයෙන් මෙල්බන්හි ව්‍යවසායකයකු වන වරුණ රත්නභාරතී මහතා SBS සිංහල ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවට සම්බන්ධ විය.
එහිදී ඔහු කියා සිටියේ, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයට තරග වදින පක්ෂවලින් අවධානය යොමු කළ පළමු ක්ෂේත්‍රය ලෙස ඔහු සලකන්නේ සංක්‍රමණ ක්ෂේත්‍රය වන බවයි. ඊට හේතු ලෙස ඔහු පවසන්නේ මෙවන් අදහසක්.
ශ්‍රී ලංකාව මේ වන විට දේශපාලනික සහ ආර්ථික වශයෙන් ඉතාම අසීරු තත්වයකයි පවතින්නේ. ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ඉගෙනීමට එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම නිපුණතා සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන අයටත් වෙනදා මුහුණ නොදුන් ආකාරයේ වෙනස් අභියෝග රැසක් තියෙනවා. ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ට සංක්‍රමණය පැත්තෙන් වැඩි සහයෝගයක් ලබාදෙන ලබාදෙන පක්ෂයකට ඡන්දය දිය යුතු යැයි මම සිතනවා.
දෙවන ක්ෂේත්‍රය ලෙස ඔහු සඳහන් කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයයි. ඊට හේතු ලෙස ඔහු පෙන්වා දෙන්නේ සිය ජීවිතයේ හොඳම කාලය කැප කරමින් මෙරටට පැමිණ රට තුළ ලංකාවේ ප්‍රජාව නිර්මාණය කිරීමට දායක වූ ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ලංකාවේ අවුරුදු 40 ට 50 ට වැඩි පිරිසට විශාල වශයෙන් සෞඛ්‍ය ගැටලු පවතින බවයි.
අප සිතනවාට වඩා මෙම වැඩිහිටි ප්‍රජාවට සංකීර්ණ සෞඛ්‍ය ගැටලු පවතින බවත්, රෝහල් වල හෘදයාබාධයන්ට ලක් වීම වශයෙන් දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික ප්‍රජාවන් බවත් පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ තමන්ගේ ක්ෂේත්‍රයට සම්බන්ධ වැඩිහිටියන්ගේ සෞඛ්‍යය සහ ශාරීරික යෝග්‍යයතාවය පිළිබඳ වැඩි වශයෙන් මැදිහත්වීමක් අවශ්‍ය වන බවයි.

විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වලින් SBS සිංහල ගුවන් විදුලි සේවයට අදහස් දැක්වීමට එක් වූ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිස විසින්,
- සෞඛ්‍යය
- නිවාස හා ඉදිකිරීම්
- ආර්ථික කළමනාකරණය
- නිෂ්පාදනය ආර්ථිකය
- දේශගුණික විපර්යාස
යන ක්ෂේත්‍ර, එළඹෙන ෆෙඩරල් මැතිවරණයට තරග වදින පක්ෂ විසින් අවධානය යොමු කළ යුතු මූලික ක්ෂේත්‍ර බව විශ්වාස කරයි.
ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ,
- වයෝවෘද්ධ ප්‍රජාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අවස්ථා අඩුවීම
- නිවාස වෙළෙඳපොළ අගයන් නිවසක් මිලදී ගත නොහැකි තරම් ඉහළ යාම
- උද්ධමනය හා ජීවන වියදම ඉහළ යාම නිසා ආර්ථික ගැටළු ඇතිවීම
- තරුණ ප්‍රජාවට පවුලක් නඩත්තු කිරීමට ප්‍රමාණවත් ආර්ථිකයක් නොමැති වීම.
- දැනට රට තුළ ඇති සම්පත් අපනයනය මත යැපෙන ආර්ථිකයක් පමණක් තිබීම.
- නිෂ්පාදන ආර්ථිකයකට යොමු යොමුවීමට අවශ්‍ය සම්පත් රට තුළ තිබීම.
- දේශගුණික විපර්යාස නිසා ඇතිවන පාරිසරික බලපෑම් , කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඇතිවන බලපෑම් සහ එයින් ආර්ථිකයට ඇතිවන බලපෑම් දිනෙන් දින ඉහළ යාම.
යන කරුණු වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

