පසුගිය සෙනසුරාදා (21/05) පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගත් අතර කම්කරු පක්ෂ නායක Anthony Albanese අද (23/05) ඔස්ට්‍රේලියාවේ 31 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ඒ අනුව කම්කරු පක්ෂ ආණ්ඩුවක් පත්වූයේ වසර 12 කට පසුවය.
කම්කරු පක්ෂ රජය යටතේ ඔස්ට්‍රේලියාව වෙනස්වන අයුරු පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
Highlights
- කම්කරු රජයක් යටතේ වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ හරිතාගාර වායු විමෝචනය 43% කින් කපා හරින බවට මැතිවරණයට පෙර ඔවුහු පොරොන්දු වූහ.
- මේ වන විට ක්‍රියාත්මක කෙරෙන Temporary protection වීසා සඳහා කම්කරු පක්ෂය සහයෝගය පළ කර නොමැත.
- Uluru ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට හදවතින්ම කැපවන බව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ තම විජයග්‍රාහී කතාවේ ආරම්භයේදීම Anthony Albanese පැවසුවේය.
දේශගුණික විපර්යාසයට පිළියම් යෙදීම
කම්කරු පක්ෂයේ මෙවර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධානතම ප්‍රතිපත්තියක් වූයේ දේශගුණික විපර්යාසයට පිළියම් යෙදීමය.
පෙර මැතිවරණයට වඩා වැඩි ආසන ගණනක් දිනාගත් ග්‍රීන්ස් පක්ෂය ද දේශගුණික විපර්යාසයට පිළියම් යෙදීම සම්බන්ධයෙන් කම්කරු පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ග්‍රීන්ස් පක්ෂ නායක Adam Bandt ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව පැවසුවේය.
"එකට එක්ව, අපට දේශගුණික විපර්යාස යුද්ධ අවසන් කළ හැකියි, ඔස්ට්‍රේලියාවට පුනර්ජනනීය බලශක්ති සුපිරි බලවතෙකු වීමේ හැකියාව තිබෙනවා." යනුවෙන් Anthony Albanese සිය විජයග්‍රාහී කතාවේදී ප්‍රමුඛව පැවසුවේය.
කම්කරු රජයක් යටතේ වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ හරිතාගාර වායු විමෝචනය 43% කින් කපා හරින බවට මැතිවරණයට පෙර ඔවුහු පොරොන්දු වූහ.
මෙම නව ඉලක්කය 2021 දෙසැම්බර් මස නිකුත් කරන ලද කම්කරු පක්ෂයේ "Powering Australia" සැලැස්ම සමග එළිදක්වන ලදී.
වසර 2050 වන විට ඔස්ට්‍රේලියාවේ ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය කිරීමට කම්කරු පක්ෂය අපේක්ෂා කරයි.
මෙය සාක්ෂාත් කර ගැනීම පිණිස විදුලිබල පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා කම්කරු පක්ෂය ඩොලර් බිලියන 20 ක් ආයෝජනය කරනු ඇත.
ඊට අමතරව ඩොලර් 2,000 ත් 12,000 ත් අතර මිලකට තබාගැනීම උදෙසා කම්කරු පක්ෂය විදුලි වාහන සඳහා අදාළ බදු ඉවත් කරනු ඇත.
එමෙන්ම ඔවුන් ඔස්ට්‍රේලියාව පුරා බැටරි සිය ගණනක් ස්ථාපනය කරනු ඇත.
ඒවා වහලයේ සූර්ය පැනල බලයෙන් ආරෝපණය කෙරෙනු ඇති අතර නිවාස 100,000 දක්වා හවුල් බලශක්ති ගබඩාවක් සපයයි.
වසර 2030 වන විට රාජ්‍ය සේවා අංශය ද ශුන්‍ය කාබන් විමෝචනය කරා ළඟා වීමට අවශ්‍ය වනු ඇත.
ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකාය සහ ආරක්ෂක ආයතන මෙයින් නිදහස් කරනු ඇත.
Green metals හෙවත් හරිත ලෝහ වැනි පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීමට කම්කරු පක්ෂය ඩොලර් බිලියන 3 ක් වෙන් කිරීමටද අපේක්ෂා කරයි.

Temporary protection වීසා අවලංගු කිරීම
ඔස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්‍ෂාව සහ Temporary protection වීසා පිළිබඳ කම්කරු පක්ෂයේ ස්ථාවරය මැතිවරණ ව්‍යාපාරය තුළ ව්‍යාකූලත්වයට ලක්විය.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියට ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට කම්කරු පක්ෂය සංඥා කර ඇතත් ඒ පිළිබඳ දැඩි ප්‍රතිපත්ති කිසිවක් ප්‍රකාශ කර නොමැත.
සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ගත් කළ ඔස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට, රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණි සංක්‍රමණිකයින්ව 3 වන රටක ස්ථාපනය කිරීමට සහ නීති විරෝධී සන්කරමනික්යින් සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා නැවත හරවා යැවීමට කම්කරු පක්ෂ නායක Albanese සහය පළ කරන බව මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී පැවසීය.
නමුත් මේ වන විට ක්‍රියාත්මක කෙරෙන Temporary protection වීසා සඳහා ඔහු සහයෝගය පළ නොකළේය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
වීසා නොමැතිව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින් සඳහා Temporary protection වීසා නිකුත් කරනු ලබන අතර එය වසර තුනක් දක්වා බල පැවැත්වේ.
මෙම වීසා බලපත්‍ර දරන්නන්ට පූර්ණ කාලීනව රැකියා කිරීමට සහ Medicare වෙත ප්‍රවේශ වීමට අවසර ඇත.
මීට අමතරව දැනටමත් ප්‍රජාව තුළ ජීවත් වන සහ බදු ගෙවමින් සිටින විදෙස් ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීම පිළිබඳව කම්කරු පක්ෂය සලකා බලන බවද කම්කරු පක්ෂ නායක Albanese පසුගිය අප්‍රේල් මාසයේදී පැවසීය.
Uluru ප්‍රකාශය සඳහා හදවතින්ම කැපවීම
Uluru ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට හදවතින්ම කැපවන බව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ තම විජයග්‍රාහී කතාවේ ආරම්භයේදීම Anthony Albanese පැවසුවේය.
අපගේ ශ්‍රේෂ්ඨ බහු සංස්කෘතික සමාජය අතර, ලෝකයේ පැරණිතම සජීවී අඛණ්ඩ සංස්කෘතිය අප සැලකිල්ලට ගන්නා බවට අප සැවොම ආඩම්බර විය යුතු බැවින් එය සිදුකළ යුතු බව ඔහු තම කතාවේදී අවධාරණය කළේය.
Uluru ප්‍රකාශය ස්වදේශික ඔස්ට්‍රේලියානු නියෝජිතයන් 250කගේ ගිවිසුමක් වන අතර ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාවේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් පිළිගැනීම සඳහා මාර්ග සිතියමක් සපයයි.
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට හඬක් ඒ හරහා ඉල්ලා සිටී.
Wiradjuri කාන්තාවක් වන Linda Burney තම රජයේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කටයුතු පිළිබඳ ඇමතිවරිය වනු ඇති බව Anthony Albanese සිය විජයග්‍රාහී කතාවේදී පැවසීය.

වැටුප් ඉහළ නැංවීමට සහ ජීවන වියදම පාලනය කිරීමට සැලසුම්
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම පාලනය කිරීමට සහ වැටුප් ඉහළ දැමීමට කම්කරු රජයක් යටතේ ක්‍රියා කරන බවට කම්කරු පක්ෂ නායක Albanese තම මැතිවරණ ව්‍යාපාරයේදී පැවසීය.
කම්කරු රජයක් පත් වුවහොත් වැටුප් ඉහළ දැමීමේ මාර්ග සෙවීමට පූර්ණ රැකියා සමුළුවක් පැවැත්වීමට පොරොන්දු විය.
Fair Work කොමිසම සහයෝගය දක්වන්නේ නම් උද්ධමන මට්ටම් සමඟ පවත්වා ගැනීම සඳහා අවම වැටුප 5.5% ක වැඩිවීමක් මෙයට ඇතුළත් වනු ඇත.
childcare සහනාධාරය පුළුල් කිරීමෙන් වැඩි වැඩියෙන් කාන්තාවන් රැකියාවලට ගෙන්වා ගැනීමට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.
කම්කරු පක්ෂ නායක Albanese ගේ සැලැස්ම යටතේ, උපරිම childcare සහනාධාරය 85% සිට 90% දක්වා ඉහළ යනු ඇති අතර annual payment cap හෙවත් වාර්ෂික ගෙවීම් සීමාව ඉවත් කරනු ලැබේ.

Medicare ශක්තිමත් කිරීම
කම්කරු පක්ෂයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ලෙසට සෞඛ්‍ය ආරක්ෂණය පුළුල් කර ශක්තිමත් කිරීම දැක්විය හැකිය.
Medicare සේවාව ශක්තිමත් කරන බව Albanese සිය විජයග්‍රාහී කතාවේදී පැවසීය.
කම්කරු පක්ෂ නායකයා විසින් ඔස්ට්‍රේලියාව පුරා හදිසි සත්කාර සායන 50 ක අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර, පවුල් සඳහා කාර්යබහුල රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ සඳහා විකල්පයක් ඉදිරිපත් කරයි.

