Highlights
- Pfizer හෝ AstraZeneca එන්නත හෝ ලබාදෙන විට කිසිසේත්ම කොරෝනා වයිරසය සජීවීව හෝ අජිවිව හෝ සිරුර තුළට එන්නත් නොකරයි.
- එන්නත් කළ ස්ථානයේ වේදනාවක් ඇතිවීම, සුළු ඉදිමීමක් ඇතිවීම හා හිසරදය සුලබව ඇතිවිය හැකි අතුරු විපාක වේ.
- එන්නත ලබාගැනීමෙන් පසුව එන්නත ලබා දුන් ස්ථානයේ මිනිත්තු 15 ත් 30 ත් අතර කාලයක් රැඳී සිටිය යුතුය.
ඔස්ට්‍රේලියාවේ මේ වන විට Pfizer සහ AstraZeneca කොරෝනා එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.
නමුත් තවමත් මෙම එන්නත් සම්බන්ධයෙන් ඇතැම් පිරිස් හට යම් ගැටලු පවතින බවක් පෙනී යයි.
Pfizer සහ AstraZeneca කොරෝනා එන්නත් පිළිබඳ එලෙස පවතින ගැටලු කිහිපයකට පිළිතුරු සෙවීමට SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවෙන් මෙම ලිපිය සකස් කර ඇත.
Pfizer එන්නත හෝ AstraZeneca එන්නත හෝ ලබාදෙන විට කොරෝනා වයිරසය සිරුරට එන්නත් කරනවාද?
Pfizer එන්නත හෝ AstraZeneca එන්නත හෝ ලබාදෙන විට කිසිසේත්ම කොරෝනා වයිරසය සජීවීව හෝ අජිවිව හෝ සිරුර තුළට එන්නත් නොකරන බව මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
සමාජයේ මෙම එන්නත් හරහා කොරෝනා වයිරසය සිරුරට ඇතුළු කරන බවට විවිධ කට කතා පැතිර ගිය ද එය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ඔහු අවධාරණය කළේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඉතා කෙටි කාලයකදී නිපදවපු මෙම එන්නත් ආරක්ෂිතද?
සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීමට අවම වශයෙන් වසර 5 ක් පමණ ගතවේ.
එය සමග සැසඳීමේදී මෙය බොහෝ ප්‍රයෝගික ප්‍රශ්නයකි.
කොරෝනා වසංගතය යනු වසර 100 කට පමණ පසු ලෝකයට පැමිණි වසංගතයක් බව වෛද්‍ය ලලිත් බදුරලිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
මේ හේතුවෙන් ලෝකයේ සෑම රටකම පාහේ විද්‍යාඥයින් තම දැනුම එකිනෙකා සමග බෙදාගනිමින් කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් නිපදවීමට උත්සුක වූ බවත් ලෝකයේ බොහෝ රටවල රජයන් සහ ඖෂධ සමාගම් මෙම එන්නත් නිපදවීමේ ක්‍රියාවලියට විශාල දායකත්වයක් සැපයූ බවත් ඔහු පැහැදිලි කළේය.
එනිසාම ඉතා කෙටි කාලසීමාවක් තුළදී මෙම එන්නත නිපදවීමට ලෝකයට හැකියාව ලැබුණි.
අනෙක් පසින් මෙම වසංගතයට එන්නතක් හැර වෙනත් විකප්ලයක් මේ වන විට නොමැති බවද වෛද්‍ය බදුරලිය මහතා සඳහන් කළේය.
"මේ සඳහා විශාල වශයෙන් පරීක්ෂණ පැවැත්වුවා. ඒ ඒ රටවල එන්නත් හෝ ඖෂධ නියාමන අධිකාරීන් විසින් එම පරීක්ෂණ ප්‍රතිඵල මත මෙම එන්නත් අනුමත කිරීමෙන් පසුව තමයි ජනතාවට ලබා දීමට තීරණය කරන්නේ." යනුවෙන් ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Pfizer එන්නත හෝ AstraZeneca එන්නත ලබාගන්නා අයට ඇතිවිය හැකි අතුරු විපාක මොනවාද?
ඔස්ට්‍රේලියාවට ප්‍රථම මෙම එන්නත් ද්විත්වයම එංගලන්තයේ ජනතාවට ලබාදීම ආරම්භ කළ අතර ඒවා ලබාගත් සෑම 1000 කටම තුන් දෙනෙකු ගේ අතුරු විපාක දක්නට ලැබුණි.
එම අතුරු විපාක වුවද ඉතා සුළු අතුරු විපාක බව වෛද්‍ය ලලිත් බදුරලිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
AstraZeneca එන්නතේ වැඩි වශයෙන් දක්නට ලැබෙන අතුරු විපාක පහත පරිදි වන බව වෛද්‍ය බදුරලිය මහතා පැහැදිලි කළේය.
- එන්නත් කළ ස්ථානයේ වේදනාවක් ඇතිවීම
- එන්නත් කළ ස්ථානයේ සුළු ඉදිමීමක් ඇතිවීම
- හිසරදය
- කායික දුර්වලභාවය
- මාංශ පේශි වල වේදනාව
- සුළු උණ
- සන්ධි වේදනාව
- වමනය
- ඉතාමත් දුර්ලභව ආසත්මිකතාවන් දක්නට ලැබුණි
Pfizer එන්නතේ දක්නට ලැබෙන අතුරු විපාක වෛද්‍ය බදුරලිය මහතා පැහැදිලි කළේ මේ ආකාරයෙනි.
- එන්නත් කළ ස්ථානයේ වේදනාවක් ඇතිවීම
- කායික දුර්වලභාවය
- හිසරදය
- මාංශ පේශි වල වේදනාව
- සුළු උණ
- සන්ධි වේදනාව

එලෙස අතුරු විපාක ඇති වුවහොත් කුමක් කළ යුතුද?
අතුරු විපාක ඇතිවීම හැකි පමණින් වළක්වාගත යුතු බව වෛද්‍ය ලලිත් බදුරලිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
ඒ සඳහා පහත පිළිවෙත් අනුගමනය කිරීම වඩා යෝග්‍ය බව ඔහු පැහැදිලි කළේය.
මෙම එන්නත තමාට ලබාගැනීමට සුදුසු දැයි තමන්ගේ වෛද්‍යවරයා සමග සාකච්චා කරන්න.
එන්නත ලබාගැනීමෙන් පසුව එන්නත ලබා දුන් ස්ථානයේ මිනිත්තු 15 ත් 30 ත් අතර කාලයක් රැඳී සිටිය යුතුය.
එන්නත ලබා දීමෙන් ආසාත්මිකතාවන් වැනි ක්ෂණික අතුරු විපාක ඇති වුවහොත් ප්‍රතිකාර ලබා දීමට එම කාලය ප්‍රයෝජනයට ගනී.
එන්නත ලබාගැනීමෙන් අනතුරුව නිවසට පැමිණි පසුව යම් අතුරු විපාකයක් ඇතිවුවහොත් තමාගේ වෛද්‍යවරයාව ඇමතිය යුතුය.
එම අතුරු විපාක බරපතල තත්ත්වයේ ඒවානම් ගිලන් රථයක් සම්බන්ධ කරගෙන හැකි ඉක්මණින් රෝහලට යා යුතුය.

