වෙසක් පොසොන් කාලෙට ගමේ පන්සලේ උත්සව වල දී එදා ලංකාවේ නටපු ජහුටා පොළ ඔස්ට්‍රේලියාවේ පළමු වතාවට මෙල්බර්න් වල රඟ දක්වන්න පසුගිය වෙසක් කාලේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක් වුණා. දෙබස්, ගීත, කථන සහ මුද්‍රා සම්ප්‍රදායන් සහිත මෙම නාට්‍ය හෙවත් ජහුටා පොළ පළමු වරට දැක බලා ගන්න ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයට නුදුරු Rockbank ප්‍රදේශයේ පාරමිතා බෞද්ධ විහාරස්ථානයට එදා බොහෝ පිරිසක් එකතු වුණා. ලංකාවේ ගැමි නාට්‍ය සම්ප්‍රදායන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපේ ප්‍රජාවට දැක බලා ගන්නත් ඒවා රැක ගැනීමට ඔවුන් දරන උත්සහයත් අගයමින් SBS සිංහල අද මේ පිංබර පොසොන් පෝය දවසේ ඔබ වෙත ගෙන එන විශේෂාංගය.
අද උතුම් පොසොන් පොහෝ දිනයයි. ගමේ පන්සලේ වෙසක් පොසොන් උත්සව කාලෙට වගේම ගමේ අස්වනු නෙලන කාලෙට ලංකාවෙ ගැමි ජීවිතයත් එක්ක ජහුටා නාට්‍ය සම්ප්‍රදාය තදින් බැඳිලා තිබුණා.
පුරාණ කාලයේ අස්වැන්න අවසන් වූ පසු ගම්වැසියන් එකතු වෙලා කමතේ රඟ දක්වපු හරි අපූරු කලා සම්ප්‍රදායක් තමයි මේ "ජහුටා" කියන්නේ. එදා දවසේ ගම්මැද්දේ බෙර හඬ, විහිළු, උපහාස, හාස්‍යය, ගැමි භාෂාව, මේ සියල්ලම එකට ගැලපී ගොඩනගාගත් ජහුටා නාට්‍ය , ගම්මුන්ගේ හිනා හඬවල් මැද්දේ රැය පහන් වෙනකන්ම නැටුවා කියල යි කියන්නේ.
අද, ලංකාවෙ පවා කෙමෙක් කෙමෙන් වියැකී ගිහින් තියෙන මේ නාට්‍ය සම්ප්‍රදායට නැවත පණ පොවන්න ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට හැකි වෙලා තියෙනවා.
තමන්ගෙ මව්බිමෙන් බොහොම ඈතින් හිටියත් අපේ කලාවට සංස්කෘතික උරුමයන්ට ආදරය කරන බොහොම ආදරණීය පිරිසක්, තම තමන්ගේ කාර්‍ය බහුල රාජකාරි මැද තමයි ස්වේච්ඡාවෙන් ම මේ අපූරු කටයුත්තට දායක වෙන්නේ.

පසු ගිය වෙසක් මාසෙ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයට නුදුරු Rockbank ප්‍රදේශයේ පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ පැවති පාරමිතා වෙසක් කලාපයේදී තමයි SBS සිංහල අපට මේ ජහුටා නාට්‍ය දැක ගන්න අවස්ථාව ලැබුණේ. විහාරවාසී පූජ්‍ය කිරඹ සුමංගල හිමියන්ගේ මග පෙන්වීම යටතේ උන්වහන්සේගේ පිටපතකට අනුව නිර්මාණය වුණ මේ ජහුටා නාට්‍යයට එහි අධ්‍යක්ෂක සෑම් නානායක්කාර වගේම ලොකු කුඩා විශාල පිරිසක් එක වී තිබුණා .
පන්සල මුල් කර ගනිමින් ඇතිවුණි අපේ සංස්කෘතික උරුමයන් , ජන සම්ප්‍රදායන් රැක ගන්න දායක වුණ ඒ ආදරණීය කලාකරුවන් පිරිසට SBS සිංහල වෙතින් පිදෙන මල්මිටක් මේ.
“ජහුටා” කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වූ සාම්ප්‍රදායික හා හාස්‍යමය නාට්‍ය ශෛලියක්. මෙය විශේෂයෙන් ගම්මානයේ සංස්කෘතිය, ජනජීවිතය, විහිළු, උපහාසය සහ සමාජ විවේචනය එකතු කරගත් ගැමි රංග ප්‍රකාශනයක්.
දෙබස් කථන ගීත මුද්‍රා නාට්‍ය ලෙස හඳුන්වන “ජහුටා” නාට්‍යවල දක්නට ඇති ලක්ෂණ මොනවද ?
- අතිශයෝක්තිමත් චරිත නිරූපණ
- විහිළු සහ කටකතාමය සංවාද
- ගැමි භාෂාව සහ දේශීය උපමා භාවිතාය
- සමාජයේ වැරදි, දේශපාලනය, හෝ මිනිස් හැසිරීම් උපහාසයට ලක් කිරීම
- ගීත, නර්තන, මඟින් ප්‍රේක්ෂකයන් සමඟ සෘජු සම්බන්ධතාවයක් පවත්වා ගැනීම
මෙය “නූර්ති”, “නාඩගම”, “කොළම්” “සොකරි” වැනි ශ්‍රී ලාංකික ජන රංග සම්ප්‍රදායන් සමඟ සම්බන්ධ ඒවායේ අභාෂයෙන් වර්ධනය වුණ සංස්කෘතික රංග ආකාරයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.
“ජහුටා” ගැන ලිඛිත හා ශාස්ත්‍රීය තොරතුරු ඉතා සීමිතයි. ඒත් ශ්‍රී ලංකාවේ ජන නාට්‍ය, විහිළු සහ ගැමි රංග සම්ප්‍රදායන් අතරින් වර්ධනය වූ ජනප්‍රිය රංග ආකාරයක් ලෙස එය සැලකෙනවා.
ඉතිහාසික පසුබිම අනුව, ජහුටා වගේ රංග ආකාර බිහි වූයේ ගම්මානයේ ජනතාවගේ විනෝදාස්වාද අවශ්‍යතාවය සඳහායි.ආගමික උත්සව, පෙරහැර, සහ අස්වනු නෙලීමෙන් පසුව කමතේ මෙම නාට්‍ය කලාව රඟ දක්වනු දැක ගන්නට ලැබුණා .
විශේෂයෙන් දකුණු සහ බස්නාහිර ප්‍රදේශවල ගැමි නාට්‍ය හා විහිළු සංස්කෘතිය තුළ “ජහුටා” ආකාරයේ චරිත සහ රංග රටා දැකිය හැකි වුණා. මෙවැනි නාට්‍යවල අධික අංග චලන, විහිළුකාර සංවාද, සමාජයේ බලවතුන්ට උපහාස, සාමාන්‍ය මිනිසුන්ගේ කතා මෙන්ම දේශපාලන විවේචනද ඇතුලත්වී තිබුණා .
මෙවැනි රංග කලාවන් මුලින්ම ලිඛිතව නොව, “මුඛ පාරම්පරාවෙන්” පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ගිය නිසා නිශ්චිත ආරම්භක දිනයක් හෝ නිර්මාතෘවරයෙක් සඳහන් කළ නොහැකියි.
නූතන කාලයේදී, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය සහ ජනප්‍රිය විහිළු වැඩසටහන් තුළත් ජහුටා ආකාරයේ උපහාසාත්මක රංග ශෛලියක බලපෑම දැකිය හැකි වනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






