ඔබේ ආදායම් තහවුරු නොකලොත් Child Care Subsidy සහන ගෙවීම් නවතිනු ඇතැයි Services Australia ආයතනය පවසයි

Father using laptop and smartphone while holding toddler daughter

Father using laptop and smartphone while holding toddler daughter Credit: MoMo Productions/Getty Images

2023-24 වර්ෂයට අදාළ ඔබේ ආදායම මේ වන විට තහවුරු කර නොමැති නම්, ඔබේ Child Care Subsidy (CCS) හෙවත් CCS සහන ගෙවීම් නතර වනු ඇතැයි Services Australia වෙබ් අඩවිය සඳහන් කරනවා. 2023–24 කාලයේ ඔබට සහකරුවෙකු සිටියේ නම්, ඔවුන් ද ඔවුන්ගේ ආදායම තහවුරු කළ යුතු වනවා. බදු වාර්තාවක් ගොනු කිරීමෙන් හෝ එසේ කිරීමට අවශ්‍ය නොවන බව Services Australia ආයතනයට දන්වා ආදායම් තත්ත්වය තහවුරු කිරීමෙන්, නැවතී ඇති CCS ගෙවීම ලබා ගත හැකි වනවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම online, එනම් මාර්ගගතව සිදු වනවා. අද මේ විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.


CCS ගෙවීම සෑම සති දෙකකට වරක් සතියේ දෙවන සඳුදා දින සිදු කෙරෙනවා. ඔබ ඔබේ අදායම් තහවුරු කළ පසු එළඹෙන සති දෙකක කාල සිමාවේ සිට පෙර පරිදි ම ගෙවීම් ලැබෙනු ඇති බව Services Australia ආයතනය පවසනවා.

අදාළ වසර තුළ ඔබට සහකරුවෙකු සිටියේ නම්, ඔබ වෙන් වී සිටියත් ඔවුන්ගේ ආදායම් තහවුරු කළ යුතු වනවා. ඔබේ හිටපු සහකරුගේ ආදායම තහවුරු කිරීම සම්බන්ධයෙන් ගැටළු තිබේ නම් Families Line උපකාරක සේවා දුරකථන අංකය ඇමතීම කළ හැකි වනවා. ඔබේ ආදායම තහවුරු කිරීමට නොහැකි නම් ඔබ සතු විකල්ප පිළිබඳව ද Families Line අංකය ඇමතීමෙන් දැනගැනීමට පුළුවන්. බදු ගොනු කිරීමට නියමිත දිනය ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් දීර්ඝ කළ හැකි නමුත්, ඒ නිසා CCS ගෙවීම් අවසාන දිනය දීර්ඝ වෙන්නේ නැහැ. මේ නිසා නියමිත වේලාවට Services Australia සමඟ ඔබේ ආදායම තහවුරු කිරීම කළ යුතු වනවා.

බදු ගොනු කිරීමක් සිදු නොවන අවස්ථාවල Express Plus Centrelink දුරකථන යෙදවුමෙන් හෝ Centrelink ඔන්ලයින් ගිණුම භාවිතයෙන් ඔබේ ආදායම තහවුරු කිරීමට පුළුවන්.

CCS ගෙවීම ලබන්නෙකු ලෙස සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේ ඔබේ පවුලේ ආදායම තහවුරු කළ යුතු වනවා. මෙය සිදු කිරීමට නියමිත කාල සීමාවක් තිබෙනවා.

මූල්‍ය වර්ෂය නිම වී වසරකට පසු

සාමාන්‍යයෙන් මූල්‍ය වර්ෂය අවසන් වී වසරක් ඇතුළත CCS ගෙවීම සඳහා ඔබේ පවුලේ ආදායම තහවුරු කිරීමට ඔබට කාලය හිමි වනවා. අවසාන දිනයට පෙර Services Australia වෙතින් මතක් කිරීමක් ඔබ වෙත එවීම සිදු කෙරෙනවා.

ඔබ 2023–24 සඳහා CCS ගෙවීම හෝ Additional Child Care Subsidy ගෙවීම හෙවත් ACCS ලබා ගත්ත ද 2025 ජුනි 30වන දින වන විට ඔබේ ආදායම තහවුරු නොකළේ නම්, ඔබේ CCS ගෙවීම 2025 ජූලි 7වන දින නතර වනවා. ACCS ගෙවීම් නැවතීමකින් තොරව ගෙවීම සිදු කෙරෙනවා.

2024-25 වර්ෂයට අදාළ CCS ගෙවීම් සඳහා, ආදායම තහවුරු කිරීමට 2026 ජුනි 30 දක්වා කාලය තිබෙනවා. ඔබ එසේ නොකරන්නේ නම්, CCS ගෙවීම 2026 ජූලි 6වන දින නතර වන අතර ACCS ගෙවීම ද නතර වනවා. නමුත් ACCS Child Wellbeing ගෙවීම්වල නතර වීමක් සිදු වෙන්නේ නැහැ. ඔබේ CCS සහ ACCS ගෙවීම් නතර වුවහොත්, ඔබට සම්පූර්ණ ළමා ආරක්ෂණ හෙවත් child care ගාස්තු ගෙවීමට සිදු වනවා. යමෙකු සුදුසකම් ලබන තාක් කල් ආදායම තහවුරු කළ පසු Services Australia විසින් CCS සහ ACCS ගෙවීම් නැවත ආරම්භ කරනවා. ආදායම් තහවුරු කිරීමෙන් පසු ඊළඟ CCS ගෙවීම් සිදු කරන දෙසතියේ දෙවන සඳුදා සිට ගෙවීම් ආරම්භ වනවා. ගෙවීම් නැවැත්වූ දින සිට ආරම්භ කළ දින අතර පරතරයක් තිබේ නම් ඒ කාල සීමාව සඳහා ගෙවීමක් සිදු කෙරෙන්නේ නැහැ.

මූල්‍ය වර්ෂය නිම වී වසර දෙකකට පසු

මූල්‍ය වර්ෂය අවසන් වී වසර 2ක් ඇතුළත ඔබ ඔබේ ආදායම තහවුරු නොකළහොත් ඔබේ CCS ගෙවීම් සහ child wellbeing ඇතුළුව සියලුම ACCS ගෙවීම් අවලංගු කෙරෙනවා. එමෙන් ම ඔබ විසින් මුදල් ගෙවිය යුතු බව පවසමින් දැනුම් දීමක් කිරීම ද සිදු විය හැකි වනවා. Services Australia ආයතනයට ණය නැවත තක්සේරු කළ හැකි අතර, එමඟින් ඔබ ගෙවිය යුතු මුදල අඩු කිරීමට හෝ ඉවත් කිරීමට හැකි වනවා. නමුත් එවැන්නක් සිදු වන්නේ ඔබ ඔබේ ආදායම තහවුරු කිරීමෙන් පසුව පමණයි. ඔබ ඔබේ ආදායම තහවුරු කළ පසු, ඔබේ ගෙවීම් පරීක්ෂා කළත්, අවසාන දිනය පසු වී ඇති නිසා ඔබට කිසිදු ලෙසකින් ආපසු ගෙවීමක් හෝ අමතර මුදලක් ලැබෙන්නේ නැහැ. ඔබට දැන් හෝ අනාගතයේ ඕනෑම වේලාවක CCS හෝ ACCS සඳහා නව අයදුම්පතක් ඉදිරිපත් කළ හැකි වනවා.

ඔබ 2022–23 වසර සඳහා CCS ගෙවීම් ලබා 2025 ජුනි 30 වන දිනට පෙර ඔබේ ආදායම තහවුරු නොකළේ නම්, එම වසරේ සිට සියලුම CCS ගෙවීම් ආපසු ගෙවන ලෙස පවසා ලිපියක් ඔබට ලැබීමට හැකියාව තිබෙනවා. එමෙන් ම ඔබේ CCS ගෙවීම් 2025 ජූලි 7වන දින සිට අවලංගු කෙරෙනවා. ගෙවීම් සමතුලිත කිරීමෙන් අනතුරුව ඔබට ලැබිය හැකිව තිබූ අමතර ගෙවීම් ඔබට මග හැරෙනවා. ඔබට Child Wellbeing ඇතුළුව ACCS ගෙවීම් ලැබී ඇත්නම් එම ගෙවීම් ද අවලංගු වනවා.

 2023–24 වසර සඳහා ඔබේ ආදායම 2026 ජුනි 30 වන විට තහවුරු නොකළේ නම්, ඔබට එම වසර සඳහා ලැබුණු සියලු CCS ගෙවීම් ආපසු ගෙවීමට සිදු වනවා. ඔබේ CCS ගෙවීම් 2026 ජූලි 6වන දින සිට අවලංගු කෙරෙනවා. ඔබට හිමි වීමට තිබු අමතර ගෙවීම් මග හැරෙනවා. Child Wellbeing ඇතුළුව ACCS ගෙවීම් ලැබී ඇත්නම් එම ගෙවීම් ද අවලංගු වනවා. ඔබේ CCS ගෙවීම අවලංගු කර ඇත්නම් නැවත අයදුම් කිරීමට ඔබ CCS ගෙව්ම් ලබාගත් පසුගිය වසරවල ආදායම් තහවුරු කිරීම සහ ගෙවීමට ඇති මුදලක් ගෙවීම හෝ ගෙවීම් සැලැස්මක් සැකසීම සිදු කළ යුතු වනවා.

මුදල් ආපසු ගෙවීම

ඔබ ඔබේ ආදායම තහවුරු නොකරන්නේ නම් හෝ එසේ කිරීමෙන් පසු ණය මුදලක් ඉතුරු වේ නම් ඔබට ආපසු මුදල් ගෙවීමට සිදු වනවා.

Source: Services Australia


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now