සමාජ මාධ්‍ය භාවිත කර මිනිත්තු කිහිපයක් ඇතුළත මොළයේ වැදගත් ක්‍රියාකාරිත්වය අවම විය හැකි බව නව අධ්‍යයනයක් කියා සිටිනවා. සමාජ මාධ්‍ය යෙදවුමක ඉහළ පහළ යාමෙන් හෙවත් scroll කිරීමෙන් පසු චින්තනය, හැඟීම් සහ අවධානය යොමු කිරීම වැනි ක්‍රියාකාරකම්වල පහත වැටීමක් එම අධ්‍යයනයෙන් පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, විශේෂඥයන් පවසන්නේ දුරකතන හෝ පරිගණක වැනි උපාංගවල තිර දෙස බලමින් ගත කරන කාලය හෙවත් screen time මොළයට බලපාන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට තවත් පර්යේෂණ අවශ්‍ය බවයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
සමාජ මාධ්‍ය යෙදවුමක scroll කිරීම බොහෝ අය ප්‍රිය කරන දෙයක් වුවත් එය පහසුවෙන් අවධානය වෙනතකට යොමු කිරීමට හේතු විය හැකි වනවා. පුද්ගලයන් වැඩි වශයෙන් මෙම ගැටලුව මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මේ නව ආකාරයේ අභියෝගයක්. එය අපට බලපාන්නේ කෙසේද යන්න අපි තවමත් සම්පූර්ණයෙන් දන්නේ නැහැ.
Screen time මොළයට බලපාන්නේ කෙසේදැයි සොයා බැලීමට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇලෙක්සැන්ඩ්‍රා ගයිලාර්ඩ්, නව පර්යේෂණයක් සිදු කළා. ඇයගේ පර්යේෂණයට භාජනය වූවන් අඩු අවධානයක් සහ වැඩි ආතතියක් පෙන්නුම් කළ බව ඇය කියා සිටියා.
මිනිත්තු තුනක් පමණක් තම දුරකතන දෙස බැලූ වයස අවුරුදු 18ත් 25ත් අතර පුද්ගලයන්ගේ මනෝභාවය, ශක්තිය, ආතතිය, අවධානය සහ සතුටෙහි වෙනස්කම් ඇති බව අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා. පුද්ගලයන් 27 දෙනෙකුගෙන් කරන ලද මෙම කුඩා අධ්‍යයනයෙන් පරිගණක ක්‍රීඩා කිරීම, රූපවාහිනිය නැරඹීම සහ සමාජ මාධ්‍ය ඔවුන්ට බලපෑ ආකාරය සංසන්දනය කර තිබෙනවා.
මොළයේ ඔක්සිජන් මට්ටම මනින කුඩා සංවේදක භාවිතයෙන් මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කළ බවයි ආචාර්ය ගයිලාර්ඩ් පවසා සිටියේ. සමාජ මාධ්‍ය භාවිතයේ දී මොළයේ ඇතැම් ප්‍රදේශවලට රුධිර ප්‍රවාහය වැඩි වූ නමුත් එය හොඳින් භාවිත වී නැහැ. පරිගණක ක්‍රීඩා කිරීමේදී රුධිර ප්‍රවාහය ද වැඩි වූ නමුත් මොළය ඇත්ත වශයෙන්ම එම ප්‍රවාහය ගැටලු විසඳීම සඳහා භාවිතා කර තිබෙනවා.
සොයාගැනීම්වලින් පෙනී යන්නේ කෙටි screen time එකක් පවා බලපෑම් සහගත විය හැකි බවයි.
නමුත් මේ ක්‍රියාවලිය තරුණ ප්‍රජාවට ඇති කරන බලපෑම් සංකීර්ණ බවත් තවමත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පවතින බවත් ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි හි මහාචාර්ය මයිකල් ඩෙසුවානි කියා සිටියා.
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු පුද්ගලයන්ට සමාජ මාධ්‍ය තහනමක් දෙසැම්බර් 10වන දින සිට පැනවීමට නියමිතව තිබෙනවා. සිඩ්නි යුනිවර්සිටි ඔෆ් නිව් සවුත් වේල්ස් හි සහකාර මහාචාර්ය සුසෑන් ෂ්වයිසර් පවසන්නේ සමාජ මාධ්‍ය මිනිසුන්ට බලපාන ආකාරය අධ්‍යයනය කිරීම වැදගත් බවයි.
—————————————————————————————————————-
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න






