සුරැකීමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ නව ත්‍රස්ත විරෝධී පනත සමඟින් එලියට ආ විල්පත්තු වනයේ සිදුව ඇති ත්‍රස්ත කටයුතු මෙන්න

'Surakimu Lanka' Organisation's New Counter Terrorism act

'Surakimu Lanka' Organisation's New Counter Terrorism act Source: SBS Sinhala

"සුරැකීමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය" විසින් සම්පාදනය කරන ලද ඉස්ලාම් අන්තවාදය සහ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ත්‍රස්ත විරෝධී ජාතික ප්‍රතිපත්තිය මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් පසුගිය අප්‍රේල් 30 දා මල්වතු මහා විහාරයේදී සිදු කරන ලදි.

ඉස්ලාම් අන්තවාදී සංවිධාන හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි එවා තහනම් කිරීම, ඔවුන්ගේ සියලූ දේපළ රාජසන්තක කිරීම ඇතුළුව කරුණු 18 කින් යුතු යෝජනාවලියක් "සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය" විසින් සකස් කොට තිබේ. එම යෝජනාවලිය කඩිනමින් රජය වෙත ඉදිරිපත් කරන බව ද පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි සඳහන් කළහ.

එහිදී පසුගිය කාලයේදී ආන්දෝලනයට තුඩු දී තිබු විල්පත්තු වනාන්තරය තුල ත්‍රස්ත ක්‍රියා සඳහා උපයෝගී කරගෙන ඇති ආකාරය වර්තමානයේ ශ්‍රී ලංකාවට අතව ඇති ඉරණම පිළිබඳව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි තවදුරටත් මෙසේ සඳහන් කළහ.

".....පුපුරණ ද්‍රව්‍ය සමඟ විල්පත්තු වනාන්තරය තුළ පුහුණුවීම් කළ බවට දැනට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මුහුදේ සිට පැමිණෙන්නන්ට ආගමන විගමන නීතිරීති වැනි බාධාවකවලින් තොරව මෙම ප්‍රදේශවලට පැමිණිය හැකියි. අන්තවාදීන්ගේ කොළනි බවට පත්ව තිබෙන මෙම ප්‍රදේශ තුළ කිසිදු ගැටළුවක් නොමැතිව අවශ්‍ය පුහුණු පුරුදු වීම් සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් ව්‍යාප්ත කිරීමේ තෝතැන්නක් බවට පත් කර ගත හැකියි.

යුද හමුදාව විල්පත්තු වනාන්තරය තුළ කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී අන්තවාදීන් බෝම්බ ආදියෙන් පුරුදු පුහුණවූ බව අනාවරණය කර ගත හැකිවී තිබෙනවා. හැඳුනුම්පතේ ශ්‍රී ලාංකික යැයි සඳහන් වුවත් සිය අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි වූ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශවල ජීවත් වෙනවා.

ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය වැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් හට වසරකට දෙවතාවක් උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කොට තිබෙනවා. ඔවුන් ශ්‍රී ලාංකික යැයි සදහන් වුවත් ඔවුන්ගේ දෙමාපියන් කවුද? ඥාතීන් කවුද? ආදිය පමණක් නොව ඔවුන්ට කතා කිරීමට හැකි භාෂාවක් ද නොමැති බවයි අනාවරණය වී තිබෙන්නේ....."

තවදුරටත් එහිදී අදහස් පලකොට සිටි පාහියන්ගල ආනන්ද හිමියෝ විල්පත්තු අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ විල්පත්තු වනයට කොටසක් අනාථයන් ලෙස ද තවත් කොටසක් ආක්‍රමණිකයන් ලෙස ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. ඔවුන් දෙපාර්ශවයම මේ වන විට ජීවත් වන්නේ විල්පත්තු ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස වල බවද උන්වහන්සේ පැවසුහ. එසේම රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට මන්නාරම් බොක්ක ප්‍රදේශයේ අක්කර 2000 ක් ද මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර 3000 ක්ද වශයෙන් අක්කර 5000 ක පමණ භූමි ප්‍රමාණයක් හිමි කොට ගෙන ඇති බවද උන්වහන්සේ හෙළිකොට සිටියේය. මේ නිසා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ඉතාමත්ම බරපතල තත්ත්වයකට පත්ව ඇතැයි පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

ත්‍රස්ත විරෝධී ජාතික ප්‍රතිපත්තිය මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ වෙත අනතුරුව පිළිගැන්විණ.

** SBS සිංහල සේවයේ  වාර්තාකරු නදීක දය බණ්ඩාර ශ්‍රී ලංකාවේ සිට සැපයූ  තොරතුරු ඇසුරිනි


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now