ඔස්ට්‍රේලියාවේ අවම වැටුප 3% කින් ඉහළ දැමීමට අද (30/05) පෙරවරුවේ තීරණය විය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික අවම වැටුප සම්බන්ධ මෙම තීරණය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද පෙරවරු 11 ට Fair Work කොමිසම විසින් මධ්‍යම රජයට බාර දුන්නේය.

ඔස්ට්‍රේලියාවේ නව අවම වැටුප
ඔස්ට්‍රේලියාවේ අවම වැටුප 3% කින් ඉහළ දැමීමට Fair Work කොමිසම තීරණය කිරීමත් සමග පූර්ණ කාලීන සේවකයෙකුගේ නව අවම වැටුප සතියකට $740.80 ක් වෙයි.
මෙම නව අවම වැටුප එළඹෙන ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වන බව Fair Work කොමිසම නිවේදනය කළේය.
මේ හරහා ඔස්ට්‍රේලියාවේ සේවය කරන මිලියන 2.3 ක පමණ සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවනු ඇති බව ද වාර්තා වේ.
එළඹෙන ජූලි 01 වන දින සිට අවම වැටුප් ලබන පූර්ණ කාලීන සේවකයෙකුගේ වැටුප සතියකට $21.60 කින් ඉහළ නැංවෙනු ඇත.
ඒ අනුව එළඹෙන ජූලි 01 වන දින සිට පූර්ණ කාලීන සේවකයෙකුගේ නව අවම වැටුප සතියකට $740.80 ක් බව Fair Work කොමිසම නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාවේ වත්මන් අවම වැටුප
ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන සේවකයෙකුගේ දැනට ක්‍රියාත්මක අවම වැටුප සතියකට ඩොලර් 719.20 කි.
ඔස්ට්‍රේලියාවේ අවම වැටුප පසුගිය වසරේදී සතියකට ඩොලර් 24.30 කින් ඉහළ දැමුණි.
එය ඊට පෙර වසරේ එනම් 2017 වසරේ පැවතියේ සතියකට ඩොලර් 694.90 ක් ලෙසය.
ඒ අනුව 2018 වසරේදී ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දැමුණු ප්‍රතිශතය 3.5% ක් බව වාර්තා වේ.

වෘත්තීය සමිති ඉල්ලීම් සහ ව්‍යාපාරික ප්‍රජාව
2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ අවම වැටුප සතියකට ඩොලර් 43.15 කින් වැඩි විය යුතු බවට වෘත්තීය සමිති පෙර සිටම ඉල්ලා සිටියේය.
එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 6% කි.
වැටුප් වැඩි කිරීම ආර්ථික වර්ධනයට බාධාවක් නොවන බව ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති Michele O'Neil පැවසීය.
නමුත් ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ප්‍රජාව පවසා සිටියේ ඔස්ට්‍රේලියාවේ අවම වැටුප 2% කින් ඉහළ දැමිය යුතු බවය.
කෙසේවෙතත්, 3% කින් මෙවර ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දැමීමෙන් සේවකයින්ට මෙන්ම සේවායෝජකයින්ට ද සාධාරණයක් ඉටු කර ඇතැයි Fair Work කොමිසමේ සභාපති Iain Ross පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති සහ කර්මාන්ත කටයුතු අමාත්‍ය Christian Porter මෙම වැටුප් වැඩිවීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කර තිබේ.
ලිබරල් සන්ධාන රජය යටතේ ඔස්ට්‍රේලියාවේ අවම වැටුප මේ වන විට සම්පූර්ණයෙන් 6.9% කින් ඉහළ දැමීමට හැකිවූ බවද ඔහු පැවසීය.


