2019/20 මුදල් වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අය-වැය ඊයේ (27/05) වික්ටෝරියානු පාර්ලිමේන්තුවේදී වික්ටෝරියානු ප්‍රාන්ත භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas විසින් ඉදිරිපත් කරනු ලැබීය.
සාමන්‍යයෙන් මෙම අය වැය මැයි මස මුල් සතියේදී ඉදිරිපත් කෙරෙන නමුත් මැයි 18 වන දින පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය හේතුවෙන් එය කල්දැමීමට සිදුවූ බව පැවසේ.
ඒ අනුව සමස්ත අය වැයේ හිමිවීම් සහ අහිමිවීම් පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.

හිමිවීම්
රජයේ පාසල්
වික්ටෝරියානු ප්‍රාන්තයේ පිහිටි සියලුම රජයේ ප්‍රාථමික සහ ද්විතීය පාසල් වල දරුවන් සඳහා නොමිලයේ දන්ත සුරැකුම් සේවාවක් දියත් කිරීම.
ඒ සම්බන්ධ වූ පළමු දන්ත සුරැකුම් සේවා වෑන් රථ මේ වසරේ තුන්වන වාරයේදී පාසල් වෙත යාම ආරම්භ කරනු ඇත.
දුම්රිය සේවා
වැඩි මගීන් සංඛ්‍යාවක් ගෙනයා හැකි දුම්රිය යෙදවීම සමග Sunbury දුම්රිය මාර්ගය යාවත්කාලීන කිරීම සඳහා ඩොලර් බිලියන 2 ක් වෙන් කෙරිණි.
වැඩි මගීන් සංඛ්‍යාවක් ගෙන යාහැකි දිගු දුම්රිය නවතාලීම සඳහා ප්‍රාන්තයේ දුම්රිය ස්ථාන වල දුම්රිය වේදිකා දිගින් වැඩි කිරීමටද යෝජනා කෙරිණි.
ඒ හරහා දිනයේ කාර්ය බහුල වේලාවලදී අමතර දුම්රිය මගීන් 113,000 ක් ප්‍රවාහනය කිරීමට පහසුකම් සැපයෙනු ඇත.
කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 10 කට වරක්ම දුමරිය ධාවනයේ යෙදවීමට Cranbourne දුම්රිය මාර්ගයට තවත් මාර්ගයක් එක් කිරීම සඳහා ඩොලර් මිලියන 750 ක් වෙන් කෙරිණි.
Hurstbridge දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 4.5 ක දුරක අමතර ධාවන තීරුවක් එක් කිරීමට යෝජනා කෙරුණු අතර Greensborough සහ Montmorency හි නව දුම්රිය ස්ථාන ද ඉදි කිරීමට යෝජනා විය.
Albury, Ballarat සහ Geelong දුම්රිය මාර්ග වල නව V/Line VLocity දුම්රිය 18 ක්යෙදවීමට ඩොලර් මිලියන 340 ක් වෙන් කෙරිණි.
Bendigo ආශ්‍රිතව නව දුම්රිය ස්ථාන තුනක් ඉදිකිරීමටද තීරණය කෙරිණි.

ප්‍රාදේශීය ප්‍රදේශ වල බාලාංශ පාසැල් (kindergarten)
ප්‍රාන්තයේ වයස අවුරුදු 3 දරුවන් හට kindergarten වැඩසටහන් සඳහා සතියකට පැය 15 ක කාලයක් සඳහා ආර්ථික සහන සැලසීමට ඩොලර් මිලියන 880 ක් වෙන් කෙරිණි.
මෙම වැඩසටහන Buloke, Hindmarsh, Northern Grampians, South Gippsland, Strathbogie සහ Yarriambiack යන ප්‍රාදේශීය කලාප හයෙහි ලබන වසරේ සිට ආරම්භ වේ.
වසර 2021 දී මෙය තවත් ප්‍රාදේශීය කලාප 15 කට ව්‍යාප්ත කෙරෙන අතර වසර 2029 වන විට ප්‍රාන්තය පුරාම ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.
නව දෙමාපියන්
ප්‍රාන්තයේ නව දෙමාපියන් හට සහය වීම පිණිස Early Parenting මධ්‍යස්ථාන අලුත් වැඩියා කිරීමට මෙන්ම Geelong, Ballarat සහ Bendigo ප්‍රදේශ වල නව Early Parenting මධ්‍යස්ථාන ඉදිකිරීමට ඩොලර් මිලියන 135 ක මුදලක් වෙන් කෙරිණි.
පැය 24 පුරා ක්‍රියාත්මක Maternal and Child Health Line සේවාව ව්‍යාප්ත කිරීමට ඩොලර් මිලියන 7.2 ක මුදලක් වෙන් කෙරිණි.
නැපි බෑග්, growsuit, safe sleeping bag, muslin wrap, teething ring මාපිය කටයුතු සම්බන්ධ ආරක්ෂක පියවර පිළිබඳ තොරතුරු සහ පින්තූර පොත් අඩංගු Baby Bundles නව දෙමාපියන් 35,000 කට ලබාදීම.

පුනර්ජනනීය බලශක්තිය
ප්‍රාන්තයේ පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කිරීමේ වැඩසටහන හරහා සූර්ය පැනල, උණු වතුර පද්ධති සහ බැටරි සඳහා සපයන ආර්ථික සහන සහ පොලී රහිත ණය මුදල් ලබා දීම තවත් ව්‍යාප්ත කිරීම.
ඒ අනුව කුලී නිවාස හිමියන්ට ද මෙම වාසිය සහිතව සූර්ය පැනල සවි කරගත හැකි වේ.
මේ සඳහා ඩොලර් බිලියන 1.3 ක් වෙන් කර ඇත.
බන්ධනාගාර
ප්‍රාන්තය පුරා ඇති බන්ධනාගාර සඳහා නව ඇඳන් 1,600 ක් ලබාදීමට තීරණය කෙරිණි.
එයින් Geelong හි පිටත ඉදිකර ඇති නව Chisholm Road බන්ධනාගාරය සඳහා ඇඳන් 548 ක් ලබාදීමට තීරය කෙරිණි.
වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම ආරක්ෂාවක් සහිත විශාලතම බන්ධනාගාරය ලෙසද එය හැඳින්වේ.

අහිමිවීම්
රාජ්‍ය සේවා
රාජ්‍ය සේවා සඳහා යොදවා ඇති මුදල් වලින් ඩොලර් බිලියන 1.8 ක් ඉතිරි කරගැනීමට සිදුවනු ඇත.
විදෙස් ආයෝජකයින්
2019 ජූලි 01 වන දින සිට දේපළ සඳහා ආයෝජනය කළ විදෙස් ආයෝජකයින් හට ගෙවීමට ඇති බද්ද 7% සිට 8% දක්වා ඉහළ දමා තිබේ.
එමෙන්ම absentee ඉඩම් හිමියන් සඳහා ඇති බද්ද 1.5% සිට 2% දක්වා ඉහල දැමීමට තීරණය කෙරිණි.
මේ හරහා වසර 5 ක ඇතුළත ඩොලර් මිලියන 330 ක් ඉපයීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇත.
සුඛෝපබෝගී මෝටර් රථ මිලට ගන්නන්
$100,000 ට වැඩි වටිනාකමක් සහිත සුඛෝපබෝගී මෝටර් රථ සඳහා නව බදු හඳුන්වා දී තිබේ.
ඒ අනුව $100,000 - $150,000 අතර වටිනාකමක් ඇති සුඛෝපබෝගී මෝටර් රථ සඳහා $200 ක වෙළෙඳ පොල අගය මත $14 ක් බැගින් බදු පැනවෙයි.
$150,000 ට වැඩි වටිනාකමක් ඇති සුඛෝපබෝගී මෝටර් රථ සඳහා $200 ක වෙළෙඳ පොල අගය මත $18 ක් බැගින් බදු පැනවෙයි.
Caravans, motorhomes, අඩු කාබන් විමෝචනයක් සහිත මෝටර් රථ මෙන්ම ගොවීන් භාවිත කරන මෝටර් රථ මෙම බදු වලින් නිදහස් කෙරේ.


