ජනවාරි 26 වන දිනට යෙදී තිබෙන “ඔස්ට්‍රේලියා දිනය” නිමිත්තෙන් මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ විවිධ මත ගොඩනැගෙමින් පවතියි.
1788 වසරේ ජනවාරි 26 වන දින බ්‍රිතාන්‍යයේ සිට සිරකරුවන් රැගත් නැව් 11 ක් කපිතාන් Arthur Phillip ගේ නායකත්වයන් එකල Jackson තොටුපොළට හෙවත් වර්තමානයේ සිඩ්නි වරායට සේන්දු වීම නිමිතිකොටගෙන වසරේ සෑම ජනවාරි 26 වන දිනම “ඔස්ට්‍රේලියා දිනය” සැමරේ.
ඉතිහාසයට අනුව බ්‍රිතාන්‍ය ජනපද, ඔස්ට්‍රේලියාවේ ආරම්භ වුයේ එතැන් පටන්ය.
නමුත් එතැන් පටන් ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් වන ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත් වාසීන් ගේ වසර 60,000 ක් පුරා මෙබිම ගත කළ නිදහස් ජීවිතයට තිත තැබෙන්නට වූ බව ඉතිහාසය පවසයි.
එනිසාම, ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත් වාසීන් ජනවාරි 26 වන දින “Invasion Day” හෙවත් “ආක්‍රමණික දිනය” ලෙස හඳුන්වයි.

ශෝචනීය දිනය
බ්‍රිතාන්‍යයන් ඔස්ට්‍රේලියාවට පැමිණ 1938 වසරේදී 150 වන සංවත්සරය සමරන අවස්ථාවේදී ඇබෝර්ජීනියානු ප්‍රගතිශීලී සංගමයේ සාමාජික William Cooper සහ ඇබෝර්ජීනියානු ක්‍රියාකරුවන් පිරිසක් “'Day of Mourning and Protest” හෙවත් “ශෝචනීය දිනය සහ විරෝධතාව” පවත්වන්නට විය.
බ්‍රිතාන්‍ය ජනපදකරණය හමුවේ ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත් වාසීන්ට සිදුවූ කරදර සහ අසාධාරණකම් වලට එරෙහිව හඬ නැගීමක් සහ ඔවුන්ගේ අයිතිය කියා පෑම එමගින් ඔවුන් සිදු කළේය.

150 වන සංවත්සරයේ බලහත්කාරකම
බ්‍රිතාන්‍යයන් ඔස්ට්‍රේලියාවට පැමිණ 1938 වසරේදී 150 වන සංවත්සරය සිඩ්නි නුවර සමරන අවස්ථාවේදී එයට සහභාගී වන ලෙස ඇබෝර්ජීනියානු ජනතාවට බලපෑම් කෙරුණු බව වාර්තා වන අතර සිඩ්නි නුවර සිටි ඇබෝර්ජීනියානු ජනතාව එය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව සංවිධායකයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බටහිර කලාපයේ පිහිටි Menindee ප්‍රදේශයෙන් ඇබෝර්ජීනියානු පුද්ගලයින් පිරිසක් ගෙන්වා අදාළ අවස්ථාවට සහභාගී කරවීමට Redfern පොලිස් බැරක්කයේ ඔවුන්ව රඳවා තබා ගෙන සිටි බව www.creativespirits.info වෙබ් අඩවිය වාර්තා කරයි.
නමුත් අවසානයේ ඔවුන් බ්‍රිතාන්‍යයන්ගෙන් මිදී වෙරළ ප්‍රදේශයට පළා ගිය බවද සඳහන් වේ.

කැන්බරා පාර්ලිමේන්තුවට සිදු කළ පළමු විරෝධතාව
Michael Anderson, Billie Craigie, Bert Williams සහ Tony Coorey නැමති ඇබෝර්ජීනියානු ජාතිකයින් සිව් දෙනෙකු 1972 වසරේ ජනවාරි 26 වන දින කැන්බරා පාර්ලිමේන්තුව ඉදිරිපිට පිහිටි තණ පිට්ටනියේ කුඩයකින් අට්ටාලයක් තනා ඔස්ට්‍රේලියානු රජය විසින් ඇබෝර්ජීනියානු ජාතිකයින්ව නෙරපීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වූ බව www.creativespirits.info වෙබ් අඩවිය වාර්තා කරයි.

සිඩ්නි වරාය පාලමේ විරෝධතා පාගමන
1988 වසරේ ජනවාරි 26 වන දින ඇබෝර්ජීනියානු ජනතාව, "ඔස්ට්‍රේලියා දිනය" ට එරෙහිව සිදු කළ දැවැන්ත විරෝධතා පාගමන ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබන්නට සමත් විය.
බ්‍රිතාන්‍යයන් ඔස්ට්‍රේලියාවට පැමිණ 200 වන සංවත්සරය සමරන අවස්ථාවේ ඇබෝර්ජීනියානු ජනතාව හා ඔවුන්ට සහය දක්වන්නන් 40,000 ක් පමණ සිඩ්නි හි Redfern උද්‍යානයේ සිට Hyde උද්‍යානය දක්වාත් එතැන් සිට සිඩ්නි වරාය පාලම මතටත් දැවැන්ත විරෝධතා පාගමනක නිරත විය.
1970 න් පසු මේ සම්බන්ධයෙන් පැවති විශාලතම විරෝධතාව ලෙසද මෙය හැඳින් වේ.
Image
සිඩ්නි වරාය පාලමේ ඇබෝර්ජීනියානු ධජය එසවීම.
2013 වසර වන තෙක් සිඩ්නි වරාය පාලමේ ඇබෝර්ජීනියානු ධජය ක් දක්නට නොලැබුණු අතර 2013 වසරේ ඔස්ට්‍රේලියා දිනය සමරන අවස්තාවේදී ඔස්ට්‍රේලියානු ජාතික ධජයත් සමග ඇබෝර්ජීනියානු ධජය සිඩ්නි වරාය පාලමේ එසවීම ඓතිහාසික සිදුවීමක් ලෙස දැක්වේ.
Image
ස්වදේශික ස්වෛරී භාවය
ඇබෝර්ජීනියානු හා ටෝරස් දූපත් වාසීන් විසින් සෑම වසරකම ජනවාරි 26 වන දින තමන්ගේ ස්වදේශික ස්වෛරී භාවය ලොවට විදහා පෑමට සහ බ්‍රිතාන්‍ය ජනපදකරණය, ජනවාරි 26 වන දින සැමරීමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල දැවැන්ත විරෝධතා පාගමන් සංවිධානය කරයි.

ඔස්ට්‍රේලියා දිනය වෙනස් කිරීමට මෙල්බන් නගර සභා කිහිපයක් තීරණය කිරීම.
ජනවාරි 26 වන දිනට යෙදී ඇති "ඔස්ට්‍රේලියා දිනය" වෙනස් කිරීමට මෙල්බන් නුවර නගර සභා දෙකක් පසුගිය අගෝස්තු මාසයේදී ඒකමතිකව සම්මත කරගත්තේය.
මෙලෙස "ඔස්ට්‍රේලියා දිනය" ජනවාරි 26 වන දින නොසැමරිය යුතු බවට සම්මත කරගෙන ඇත්තේ මෙල්බන් හි Darebin සහ Yarra නගර සභාය.
එමන්මනා ඔවුන් එදිනට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ උත්සවද නොපැවැත්වීමට ඒකමතිකව තීන්දු කළේය.
ජනවාරි 26 වන දිනය වෙනස් කිරීම
ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයාගේ අයිතිවාසිකම් රැකගැනීම උදෙසා සහ ඔවුන්ට සාධාරණත්වය උරුම කරදීම පිණිස “ඔස්ට්‍රේලියා දිනය” ජනවාරි 26 වන දින නොව වෙනත් දිනෙක සැමරීමට බොහෝ දෙනා දැන් වසර කිහිපයක සිට යෝජනා කරමින් සිටිති.
පසුගියදා ඔස්ට්‍රේලියා දිනය වෙනස් කිරීමට පූර්ණ සහය ලබා දෙමින් ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවර්ධන ව්‍යාපාර සිදු කරන බවට ග්‍රීන්ස් පක්ෂයද පවසා තිබුණි.
නමුත් ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසා සිටියේ තම රජය කිසිවිටෙක ඔස්ට්‍රේලියා දිනය වෙනස් නොකරන බවය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

