ඔහු මීට වසර 12 කට පමණ පෙර සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණියා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක් වන මෙල්බර්න් විශ්ව විද්‍යාලයට සම්බන්ධ පර්යේෂණ අරමුදල් සපයන Defence Materials Technology Center (DMTC) අනාගත සන්නාහ ව්‍යාපෘතියට (future armour project) අනුයුක්තව තම ආචාර්ය උපාධිය සඳහා වැඩ කිරීමට ඔහු ශිෂ්‍යත්වයක් ලබා ගත්තා.
ඔහුගේ ආචාර්ය උපාධිය අවසන් වූ වහාම ඔහු Australian Academic sector වෙත ඇතුළු වීමට වාසනාවන්ත වූයේ ඔහුගේ ආචාර්ය උපාධිය අතරතුර ඔහු දැක්වූ කාර්ය සාධනය හේතුවෙනි.
අද වන විට ඔහු ඔස්ට්‍රේලියාවේ Defence හෙවත් ආරක්ෂක ක්‍රම සම්බන්ධව පර්යේෂණ සිදුකරන ප්‍රමුඛ පෙළේ පර්යේෂකයකු ලෙස කටයුතු කරනවා.
ඔහු නමින් කැන්බරා නුවර University of New South Wales හි සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දමිත් මොහොට්ටි.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගේ ඇස නොගැටෙන සහ අවධානයට යොමු නොවන Defence related reseach හෙවත් ආරක්ෂක ක්‍රම සම්බන්ධව පර්යේෂණ සිදු කිරීමයි ඔහුගේ ප්‍රමුඛතම කාර්යය වන්නේ.
ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කර ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක ක්ෂේත්‍රයට මහගු දායකත්වයක් සපයන මෙම ශ්‍රී ලාංකිකයා සමග SBS සිංහල ගුවන් විදුලිය කතා බහකට මුල පිරුවා.

Dr. Damith Mohotti (Senior Lecturer - Civil Engineering at UNSW Canberra) Source: Suppiled - Dr. Damith Mohotti
Defence related Reserach හෙවත් ආරක්ෂක අංශයට සම්බන්ධ පර්යේෂණ
Defence related Reserach හෙවත් ආරක්ෂක අංශයට සම්බන්ධ පර්යේෂණ යන්නෙන් අදහස් කරන්නේ මොනවාද? අපි ආචාර්ය දමිත් මොහොට්ටිගෙන් මුලින්ම ඒ ප්‍රශ්නයට උත්තරයක් ඇහුවා.
"මේක නවීන පර්යේෂණවල පුළුල් ක්ෂේත්‍රයක්. මෙය තනිකරම ආයුධ, සන්නද්ධ මෙවලම් ආදිය සංවර්ධනය කිරීම මත පදනම් වූවක් බවට සාමාන්‍ය ජනතාව තුළ වැරදි වැටහීමක් ඇති විය හැකියි." යනුවෙන් ආචාර්ය මොහොට්ටි SBS සිංහල ගුවන් විදුලියට තමන්ගේ හඬ අවදි කළා.
සිවිල් ඉංජිනේරු විද්‍යාවේ වර්ධනය වූ මූලික සංකල්ප සමහරක් ලෝක යුධ සමයේදී සිදුවී තිබෙන බවද ඔහු කියා සිටියා.
ඒවායින් බොහොමයක් ආරක්ෂක භටයින් ආරක්ෂා කිරීම සඳහා මුලින් සංවර්ධනය කරන ලද නමුත් පසුව අනෙකුත් කර්මාන්ත සඳහා භාවිතා කළා.
සාරාංශයක් ලෙස, Defence research හෙවත් ආරක්ෂක පර්යේෂණ යන ක්ෂේත්‍රයට සොල්දාදුවන් මෙන්ම සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක පියවරයන් සංවර්ධනය කිරීම, සයිබර් ආරක්ෂාව (Cyber security) , කෘතිම බුද්ධිය (Artificial Inteligence), ආරක්ෂාව සඳහා වැඩි දියුණු කළ තාක්ෂණයන් ( New technologies for defense), ආරක්ෂාව සඳහා වැඩි දියුණු කළ සේවාවන් ඇතුළත් වන බව ඔහු පැවසුවා.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
කෙසේ වෙතත්, ආචාර්ය මොහොට්ටිගේ ප්‍රධාන උත්සාහය වන්නේ පිපිරීම් සහ ඒවායින් ඇතිවන බලපෑම් වැනි හිතාමතා සහ අහම්බෙන් සිදුවන මාරාන්තික සිදුවීම්වලින් මිනිසුන්ගේ සහ ආරක්ෂක භටයින්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමයි.
තමන්ගේ පර්යේෂණවල ඇති එක් වෙනසක් නම් එය application-focused වීම බවත් ආචාර්ය මොහොට්ටි පැවසුවා.
මූලික සිද්ධාන්ත මත වැඩ කරන අතරතුර ඒවා අවසානයේ භාවිත කිරීම දැකීමට තමා කැමති බවද ඔහු සඳහන් කළා.

Dr. Damith Mohotti (Senior Lecturer - Civil Engineering at UNSW Canberra) Source: Supplied - Dr. Damith Mohotti
මේ වන විට සම්බන්ධව සිටින පර්යේෂණ ව්‍යාපෘති
ආචාර්ය දමිත් මොහොට්ටි මේ වන විට සම්බන්ධව සිටින Defence ආශ්‍රිත පර්යේෂණ ව්‍යාපෘති පිළිබඳවත් SBS සිංහල ගුවන් විදුලිය සංවාදයක යෙදුණා.
"Classified" (රහසිගත) ලෙස ඛාණ්ඩගත කර ඇති ව්‍යාපෘති පිළිබඳ තමන් කතා කිරීමෙන් වැළකී සිටින බව ආචාර්ය මොහොට්ටි මුලින්ම අප සමග පැවසුවා.
"High strain rates / High deformation හෙවත් ඉහළ වික්‍රියා අනුපාත යටතේ ද්‍රව්‍ය හැසිරීම් අවබෝධ කර ගැනීමට තමා ඇතුළු තම කණ්ඩායම විසින් සිදු කරන ලද ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් තිබෙනවා." යනුවෙන් ආචාර්ය මොහොට්ටි ප්‍රකාශ කළා.
රසායනික පිපිරීම් හා සම්බන්ධ කම්පන තරංගවල මූලික සංකල්ප සහ එය ව්‍යුහයන් සමඟ අන්තර්ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා අනෙකුත් සගයින් සමඟ පසුගිය වසර 10 තුළ කුඩා මධ්‍යම (TNT වැනි රසායනික පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම) පරිමාණ පිපිරුම් පරීක්ෂණ ආචාර්ය දමිත් මොහොට්ටි පවත්වා තිබෙනවා.
එයින් කම්පනයේ මූලික කරුණු සහ එහි බලපෑම අධ්‍යයනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
Personal armour හෙවත් පුද්ගලික ආරක්ෂක සන්නාහ වැඩි දියුණු කිරීම මගින් අපගේ ආරක්ෂක භටයින්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති තමන් සහ තම උසස් උපාධි පර්යේෂණ අධ්‍යයන සිසුන් නොකඩවා කරගෙන යන බව ද ඔහු අපට පැවසුවා.
ඉහළ ශක්තියකින් වියන ලද armour fabric ගුණ වැඩි දියුණු කිරීම සඳහා පොලිමර් භාවිතය ඔවුන්ගේ මෑතකාලීන ව්‍යාපෘතිවලින් එකක්.
තත්පරයට මීටර් 300 ත් කිලෝ මීටර් 4 (300 m/s- 4 km/s) ත් අතර වේගයකින් ප්‍රක්ෂේපන යැවිය හැකි දකුණු අර්ධගෝලයේ fastet gas gaun තම විශ්වවිද්‍යාලය සතුව ඇති බවත් එම පහසුකම් තිබීම තමන්ගේ පර්යේෂණවල ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට උපකාරී වන බවත් ඔහු සඳහන් කළා.
Numerical simulations හෙවත් සංඛ්‍යාත්මක සමාකරණවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා කෘතිම බුද්ධිය (Artificial Inteligence) භාවිතා කළ හැකි ආකාරය සහ මෙම නව තාක්ෂණික ප්‍රවණතා මගින් අනාගත ආරක්ෂක තර්ජන පුරෝකථනය කළ හැකි ආකාරය පිළිබඳව ආචාර්ය මොහොට්ටි සහ තම උසස් උපාධි පර්යේෂණ අධ්‍යයන සිසුන් මෑතකදී පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.
ආචාර්ය මොහොට්ටි වර්තමානයේ සම්බන්ධ වී සිටින තවත් ව්‍යාපෘතියක් ගැනත් අපිට අදහස් දැක්වුවා.
පොහොර ලෙස භාවිතා කරන ඇමෝනියම් නයිට්‍රේට් වැනි ද්‍රව්‍ය අහම්බෙන් පිපිරීමෙන් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි විය හැකි බැවින් එසේ සිදුවිය හැකි හානිය විනිශ්චය කිරීම එම ව්‍යාපෘතිය හරහා සිදු කෙරෙනවා. මෑතකදී සිදුවූ Beirut පිපිරුම මීට කදිම උදාහරණයක්. මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පැවසුවා.
ඊට අමතරව ආචාර්ය මොහොට්ටි ප්‍රභූ ගොඩනැගිලි කිහිපයක් සැලසුම් කිරීමේ (ආරක්ෂිත පියවර) දායක වී ඇති අතර යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති (Critical Infrastructure projects) කිහිපයකටද දායක වී තිබෙනවා. Iconic Sydney metro train ව්‍යාපෘතිය ඉන් එකක්.

Source: AAP
ඇගයීම් සහ සම්මාන
ඔස්ට්‍රේලියාවේ Defence ආශ්‍රිත පර්යේෂණ ව්‍යාපෘති සඳහා ආචාර්ය දමිත් මොහොට්ටි හට ලැබුණු ඇගයීම් සහ සම්මාන පිළිබඳවත් SBS සිංහල ගුවන් විදුලිය විමසන්නට අමතක කළේ නැහැ.
කුමන හෝ පර්යේෂණ ක්ෂේත්‍රයක නියැලී සිටින විට ඒවායේ සාර්ථකත්වය මත යම් යම් ඇගයීම් සහ සම්මාන පිරි නැමෙනවා. අදාළ පර්යේෂකයින්ව දිරි ගැන්වීම උදෙසා මෙවැනි ඇගයීම් සහ සම්මාන පිරි නැමීමට බලධාරීන් කටයුතු කරනවා.
"මා ඇතුළු අපගේ කණ්ඩායමට ලැබුණු ප්‍රමුඛතම හා වටිනාම සම්මානය ලෙස 2013 වසරේ ඔස්ට්‍රේලියාවේ Museum සම්මාන උළෙලේ ලැබුණු Eureka Prize එක හඳුවන්න පුළුවන්. ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා අප ලබාදුන් දායකත්වය ඇගයීමකට ලක්කරමින් තමයි ඒ සම්මානය හිමිවුණේ." යනුවෙන් ආචාර්ය මොහොට්ටි තමන්ගේ පර්යේෂණ දිවියේ ඔස්ට්‍රේලියාවෙන් ලද ඉහළම සහ වටිනාම සම්මානය ගැන මතකය අවදි කළා.
ඊට අමතරව ආරක්ෂක ව්‍යාපෘතිවලට අදාළව ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාවට ඔහුට ව්‍යාපෘති දායකත්ව සම්මාන කිහිපයක් ලැබී තිබෙනවා.
ආචාර්ය මොහොට්ටිගේ එක් ප්‍රකාශනයක යෝජිත new polymer- metal සංකල්පයක් IESL NSW ශාඛාව විසින් 2017 දී ඉංජිනේරු විශිෂ්ටතා සම්මානයෙන් පුදනු ලැබුවා.
තවද පර්යේෂණ ක්ෂේත්‍රයට ඔහුගේ දායකත්වය හඳුනා ගනිමින් පර්යේෂණ අරමුදල් වශයෙන් ඔහුට ඩොලර් ලක්ෂ 5 කට වඩා ලැබී ඇති බවත් ආචාර්ය දමිත් මොහොට්ටි SBS සිංහල ගුවන් විදුලියට හෙළි කළා.
"2012 වසරේ හොඳම ආචාර්ය උපාධිධාරියාට හිමි සම්මානය ඇතුළුව මගේ ආචාර්ය උපාධි කාලය තුළ සම්මාන රැසක් දිනා ගැනීමට මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ මා වාසනාවන්ත වුණා." යනුවෙන් ද ඔහු අප සමග පැවසුවා.

Dr. Damith Mohotti with Eureka Prize Source: Suppiled - Dr. Damith Mohotti
Defence ආශ්‍රිත පර්යේෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා
ආචාර්ය දමිත් මොහොට්ටි කැන්බරා නුවර University of New South Wales හි සිවිල් ඉංජිනේරු අංශයේ (ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා ඇකඩමියට අනුයුක්ත) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා.
ඒ හේතුවෙන්ම ඔහු ජාත්‍යන්තර සිසුන් ඇතුළුව විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් සමග දෛනිකව කටයුතු කරමින් සිටිනවා.
Defence ආශ්‍රිත පර්යේෂණ ක්ෂේත්‍රය ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයක් බව ආචාර්ය මොහොට්ටි පැවසුවා.
එනිසා මෙම ක්ෂේත්‍රයේ අධ්‍යනය ලබන ජාත්‍යන්තර සිසුන්ට පහසුවෙන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළා.
"ජාත්‍යන්තර සිසුන් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි මගේ මෑතකාලීන ආචාර්ය උපාධිධාරීන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ආචාර්ය උපාධි සාර්ථකව නිම කිරීමෙන් පසුව High-skill demand ලැයිස්තුව යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කළා." යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදනය කිරීමට සැරසෙන බවට පසුගියදා නිවේදනය කළා. ඊට අමතරව එක්සත් රාජධානිය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් සමග ඔස්ට්‍රේලියාව නව සබ්මැරීන කොන්ත්‍රාත්තු ඇතිකරගෙන තිබෙනවා. මෙවැනි ව්‍යාපෘති හරහා Defence ආශ්‍රිත පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයින්ට ඉතා හොඳ රැකියා අවස්ථා නිර්මාණය වෙන බව ආචාර්ය මොහොට්ටි අප සමග පැවසුවා.
"අපට මෙම ව්‍යාපෘතිවල අමුද්‍රව්‍ය, න්‍යෂ්ටික විද්‍යාව, ව්‍යුහාත්මක සම්බන්ධතා, ආකෘති නිර්මාණය, පිපිරීම සහ බලපෑම සහිත විශේෂඥයින් අවශ්‍යයි" යනුවෙන් ඔහු ඒ සම්බන්ධව වැඩි දුර පැහැදිලි කළා.
ප්‍රමුඛ පෙළේ උපදේශන සමාගම් අවස්ථා සඳහා ද ඔවුන්ට ඉල්ලුමක් පවතින බව ආචාර්ය මොහොට්ටි සඳහන් කළා.
මෑතකදී ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් කිහිප දෙනෙකුම තමා සම්බන්ධ කරගෙන දක්ෂ ආචාර්ය උපාධි/ ශාස්ත්‍රපති උපාධිධාරීන් ඔවුන්ගේ සමාගම් වෙත බඳවා ගැනීම් සඳහා ඉල්ලා තිබෙන බවද ඔහු සිහිපත් කළා.
ඊට අමතරව ඔවුන්ට පහසුවෙන් විශ්ව විද්‍යාල සහ වෙනත් සංවිධානවල පර්යේෂකයන් ලෙස රැකියා කළ හැකි බවත් ආචාර්ය දමිත් මොහොට්ටි අපගේ සාකච්ඡාව අවසන් කරමින් ප්‍රකාශ කළා.
අපගේ සාකච්ඡාව අවසන් කිරීමට පෙර ඔහුගේ ගමනට සහය දුන් සියලුම දෙනාට ස්තූති කළ ඔහු අවශ්‍යතාවයක් ඇත්නම් මෙම ක්ෂේත්‍ර දියුණු කිරීමට ශ්‍රී ලංකාවට ද උදව් කිරීමට තමා උනන්දු වන බව පැවසුවා.