Highlights
- චෝදනා එල්ල වුවද Christian Porter සහ Linda Reynolds යන මන්ත්‍රීවරුන් තම කැබිනට් මණ්ඩලයේ තබාගන්නා බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්.
- තම කාර්ය මණ්ඩලයේ කිසියම් සාමාජිකයෙක් Brittany Higgins ට හෝ ඇගේ සහකරුට එරෙහිව කටයුතු කර ඇත්දැයි සොයා බැලීමට අගමැති මොරිසන් නියෝග කරයි.
- අප්‍රේල් 8 වන දින සිට මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර ගුවන් යානා පැමිණෙයි.
- COVID-19 එන්නත සම්බන්ධව මෙල්බර්න් පොදු නිවාසවල පදිංචිකරුවන් අතර ඇති දුර්මත දුරු කිරීමට නව වැඩසටහනක්
- ගංගාවල ජල මට්ටම අඩු වුවද ගංවතුර අවදානම පහව ගොස් නැති බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනියගෙන් අනතුරු අඟවයි.
- ඉන්දියාව AstraZeneca එන්නත අපනයනය අත්හිටුව ද ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බව රාජ්‍ය ඔසු ඇමති පවසයි.
චෝදනා එල්ල වුවද Christian Porter සහ Linda Reynolds යන මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයේ තබාගන්නා බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්
වත්මන් ලිබරල් සන්ධාන රජයේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කළද Christian Porter සහ Linda Reynolds යන මන්ත්‍රීවරුන් තම කැබිනට් මණ්ඩලයේ තබාගන්නා බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි.
Christian Porter මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති ධුරය දරමින් සිටින අතර Linda Reynolds ආරක්ෂක ඇමති ධුරය දරමින් සිටියි.
තම කාර්යාලයේදී සිදුවූ ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් සාධාරණ නොවන අන්දමට කටයුතු කිරීම පිළිබඳ දැඩි විවේචනයට ලක්වීමෙන් පසුව Linda Reynolds ව ආරක්ෂක ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙසට දැඩි බලපෑම් එල්ලවී තිබේ.
මේ අතර අතීතයේ සිදු කළ බවට නැගුනු ලිංගික අතවරයක් පිළිබඳ චෝදනා හේතුවෙන් Christian Porter මේ වන විට මානසික නිවාඩු ලබාගෙන ඇත.
ඉදිරියේදී මොවුන් දෙදෙනාට ලබා දිය යුතු ඇමතිධුරයන් මොනවාද යන්න තමන් තවමත් තීරණය කර නොමැති බව අගමැති මොරිසන් චැනල් 9 හි Tracey Grimshaw හට පැවසීය.
තම කාර්ය මණ්ඩලයේ කිසියම් සාමාජිකයෙක් Brittany Higgins ට හෝ ඇගේ සහකරුට එරෙහිව කටයුතු කර ඇත්දැයි සොයා බැලීමට අගමැති මොරිසන් නියෝග කරයි
තම කාර්ය මණ්ඩලයේ කිසියම් සාමාජිකයෙක් Brittany Higgins ට හෝ ඇගේ සහකරුට එරෙහිව කටයුතු කර ඇත්දැයි සොයා බැලීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison නියෝග කර තිබේ.
අගමැති කාර්යාලයේ කිසිවෙකු තම සහකරු පිළිබඳ ඍණාත්මක තොරතුරු මාධ්‍යයට ලබා දී ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලා Brittany Higgins අගමැති මොරිසන්ගේ මාණ්ඩලික ප්‍රධානියාට විධිමත් පැමිණිල්ලක් කර ඇත.
තමාට සිදුවූ ලිංගික අතවර පිළිබඳ චෝදනා හෙළි කළ දින කිහිපය තුළදී තම සහකරු David Sharaz පිළිබඳ බොහෝ මාධ්‍යවේදීන්ට නිෂේධනාත්මක තොරතුරු ලබා දුන් බව ඇය පැවසුවාය.
David Sharaz යනු හිටපු දේශපාලන වාර්තාකරුවෙකු වූ අතර ඔහු කලක් කැන්බරා නුවර සිට SBS පුවත් සේවයේ ද නියුක්ත වී සිටියේය.
තමාගේ මාණ්ඩලික ප්‍රධානියාට රහස්‍ය තොරතුරු ලැබීමෙන් පසු තමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අගමැති මොරිසන් ඊයේ පාර්ලිමේන්තුවට පැවසීය.
මේ අතර Brittany Higgins ගේ සහකරු පිළිබඳ වැරදි තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අගමැති මොරිසන් Brittany Higgins සමග සාකච්ඡා කළ යුතු බවට ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Sarah Hanson-Young ඉල්ලා සිටියාය.
මීට වසර දෙකකට පෙර කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණයේදී තමාගේ හිටපු කාර්ය මණ්ඩල සගයෙකු විසින් ඇයව දූෂණය කළ බවට Brittany Higgins චෝදනා එල්ල කර ඇත.
අගමැති මොරිසන් Brittany Higgins සමඟ මේ පිළිබඳ සෘජුවම සාකච්ඡා කළ යුතු බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Sarah Hanson-Young පැවසුවාය.
අප්‍රේල් 8 වන දින සිට මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර ගුවන් යානා පැමිණෙයි
මෙල්බර්න් නුවරට අප්‍රේල් 8 වන දින සිට යළි ජාත්‍යන්තර ගුවන් යානා පැමිණෙන බව වාර්තා වේ.
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් හරහා නිරෝධායන හෝටලයක සේවය කරමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ සිදුවීම් නිසා මෙල්බර්න් හෝටල් නිරෝධායන ක්‍රියාවලිය සමලෝචනය කිරීමට කටයුතු යෙදුණු අතර එහිදී මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර ගුවන් යානා පැමිණීමද අත්හිටුවනු ලැබිණි.
වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී මෙම තීරණය ගන්නා ලදී.
අදාළ ආසාදනය වීම වාතයෙන් සම්ප්‍රේෂණය වූ බව පැවැත්වූ සමාලෝචනයේදී අනාවරණය වූ බව වික්ටෝරියා ප්‍රාන්තයේ COVID-19 නිරෝධායන ක්‍රියාවලියේ ප්‍රධානි Emma Cassar පැවසුවාය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
COVID-19 එන්නත සම්බන්ධව මෙල්බර්න් පොදු නිවාසවල පදිංචිකරුවන් අතර ඇති දුර්මත දුරු කිරීමට නව වැඩසටහනක්
COVID-19 එන්නත ලබාදීම පිළිබඳව මෙල්බර්න් හි පොදු නිවාසවල පදිංචිකරුවන් දැනුවත් කිරීම සඳහා ප්‍රජා සෞඛ්‍ය සේවාවක් වන Ethnic Communities' Council of Victoria විසින් වැඩසටහනක් සකස් කර ඇත.
අඩු සෞඛ්‍ය සාක්ෂරතාවයක් ඇති ප්‍රජාවන්ට කොරෝනා එන්නත සඳහා ප්‍රවේශය සහතික කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අරමුදල් සහිත මෙම වැඩසටහන මඟින් තොරතුරු සපයනු ඇත.
කොරෝනා එන්නත පිළිබඳ ඇති දුර්මත දුරු කිරීමට මෙම වැඩසටහන උපයෝගී කරගන්නා බව Ethnic Communities' Council of Victoria හි ප්‍රධාන නිලධාරී ක්‍රිස් ක්‍රිස්ටෝෆෝරෝ පවසයි.
ගංගාවල ජල මට්ටම අඩු වුවද ගංවතුර අවදානම පහව ගොස් නැති බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනියගෙන් අනතුරු ඇඟවීමක්
මේ සතියේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් පසු ප්‍රාන්තයේ බොහෝ ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ගංවතුර තත්ත්වය දින ගණනාවක් පවතින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීහු පවසති.
ගංවතුර හේතුවෙන් වයඹදිග සිඩ්නි කලාපයේ පුද්ගලයෙකු ඊයේ (25/03) මිය ගියේය.
මේ අතර ගෝල්ඩ් කෝස්ට් ප්‍රාදේශීය කලාපයක ජලයෙන් යටවී තිබී තවත් පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුවී තිබේ.
ගංගාවල ජල මට්ටම අඩු වුවද ගංවතුර නිසා ඇතිවී ඇති අවදානම් තත්ත්වය පහව නොගොස් ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
ඉන්දියාව AstraZeneca එන්නත අපනයනය අත්හිටුව ද ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බව රාජ්‍ය ඔසු ඇමති පවසයි
ඉන්දියාව AstraZeneca කොරෝනා එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටවූව ද ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළවලට සෘජු බලපෑමක් නොවන බව ඖෂධ නිෂ්පාදන හා සැපයුම් නියාමක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
දේශීය අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් AstraZeneca කොරෝනා එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවන බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ ජනවාරි 29 දා ආරම්භ කළ බැවින් දෙවන මාත්‍රාව දිය යුතුව ඇත්තේ ඉන් සති 12 කට පසුව බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ලැබුණු එන්නත්වලින් මේ දක්වා කාලය තුළ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 844,000 ක් වේ.
ඒ අනුව ඉතිරිව ඇති එන්නත් ලක්ෂ 4 ක පමණ ප්‍රමාණය මැයි 31 වෙනිදා දක්වා ලබාදිය හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් AstraZeneca එන්නත් ලක්ෂ 5 ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ඉන්දියාවේ සීරම් ආයතනය නිල නොවන මට්ටමින් ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

