ක්‍රිකට් යනු බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගේ ජනප්‍රියතම ක්‍රීඩාව බව ලොවටම නොරහසකි.
ක්‍රිකට් ක්‍රීඩාව නිසා ලෝකයේ නමක් තැබූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, විනිසුරුවරුන්, තරග තීරකවරුන් මෙන්ම තරග දිරි ගන්වන්නන් ගේ ලැයිස්තුවද ක්‍රමිකව පුළුල් වෙමින් පවතී.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
එවන් ක්‍රිකට් හරහා ඔස්ට්‍රේලියාවේ නමක් තැබූ ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ අපූරු කතාවක් හෙළිදරව් කිරීමට දැන් අපි සූදානම්.
වර්තමානයේ ඔහු ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායමේ (Veterans Cricket Australia) හි සාමාජිකයෙක්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්, එමෙන්ම ඔස්ට්‍රේලියාවේ නමගිය ක්‍රිකට් භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයෙක්.
ඔහු නමින් හැරී සොලමන්ස්.
Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 60 න් ඉහළ ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායමට හැරීට පළමුව පිතිකරුවෙකු ලෙස සම්බන්ධ වුණා.
- 2018 වසරේදී ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායමට ද හැරී පිතිකරුවෙකු ලෙස සමබන්ධ වුණා.
- ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකු වන මාක් වෝ සහ ස්ටීව් වෝ තම යොවුන් කාලයේ හැරීගේ ක්‍රිකට් භාණ්ඩ අලෙවිසැල්වල වසර 5 ක් පමණ රැකියා කර තිබෙනවා.
හැරී සොලමන්ස් කැන්ගරු දේශයට පැමිණීම
"මගේ ගම ගාල්ලේ. මම ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ඉගෙන ගත්තේ, පොඩි කාලේ ඉඳලම ක්‍රිකට් පිස්සෙක්, ඇලෝසියස් විද්‍යාලයේදීම තමයි ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ. පාසල් අධ්‍යාපනය අවසන් කරලා මම වැවිලි ක්ෂේත්‍රයට පිවිසුණා. ඊට පස්සේ 1973 වසරේදී මම ඔස්ට්‍රේලියාවට ආවා." හැරී සොලමන්ස් තමන් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණීම ඒ අයුරින් SBS සිංහල ගුවන් විදුලියට විස්තර කළා.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ අ යන්න ආ යන්න ඉගෙනගෙන පාසලේ ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ගාල්ල ක්‍රිකට් සමාජය නියෝජනය කිරීමටද හැරී සමත් වුනා.
ඉන් අනතුරුව කොළඹ Nomads ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ද හැරීට අවස්ථාව ලැබුණා.
ඒ අතරේ වසර 9 ක් ඔහු ශ්‍රී ලංකාවේ තේ සහ රබර් වැවිලි ක්ෂේත්‍රයේ වතු අධිකාරීවරයෙකු ලෙස රැකියාව කළා.
තමන්ගේ වැවිලි රැකියාව සහ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම අත්හැර හැරී සිය බිරිඳ සහ දරුවා සමග 1973 වසරේදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පැමිණෙනවා.
එහිදී ඔහු බන්ධනාගාර නිලධාරියෙකු ලෙස රැකියාව කරන අතරේ සිඩ්නි නුවර ක්‍රිකට් ක්‍රීඩා කිරීමටද පටන් ගත්තා.

හැරී ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායමට
ප්‍රවීණයින්ගේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙමින් පවතිනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායමකට ඇතුළු වීමට ඔබ අනිවාර්යෙන් වයස අවුරුදු 40 ට වඩා වැඩි විය යුතුයි.
වයස අවුරුදු 40 න් ඉහළ, 50 න් ඉහළ, 60 න් ඉහළ සහ 70 න් ඉහළ යනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායම් තිබෙන බව හැරී SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.
මෙම කණ්ඩායම් ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම තිබෙන බවද ඔහු අපට ප්‍රකාශ කළා.
හැරීට පළමුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 60 න් ඉහළ ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබෙනවා.
වයස අවුරුදු 70 ඉක්මවූ පසු ඔහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 70 න් ඉහළ ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වුණා.

2021 වසරේ නොවැම්බර් මාසයේදී හැරී සොලමන්ස් හට වයස අවුරුදු 74 ක් පිරුණා.
2018 වසරේදී තමාව ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායමට පිතිකරුවෙකු ලෙස තේරුණු බව හැරී අප සමග සඳහන් කළා.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායම සමග හැරීගේ ප්‍රථම විදෙස් ක්‍රිකට් සංචාරය එංගලන්තයට වූ අතර එය මාසයක පමණ කාලයක සංචාරයක් වුණා.
ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආරම්භ වීමට පෙර තමන් නවසීලන්තයේ ද ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ ක්‍රිකට් කණ්ඩායම සමග මාසයක සංචාරයක නිරත වූ බව හැරී අපට පැවසුවා.

ඔස්ට්‍රේලියාවේ නම ගිය ක්‍රිකට් ක්‍රීඩකයින්ට හැරීගෙන් රැකියා
1973 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පැමිණි හැරී එහි ක්‍රිකට් ක්‍රීඩා කරන අතරේ ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව බොහෝ සම්බන්ධකම් ගොඩනගා ගැනීමට සමත් වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස 1975 වසරේදී ඔහු $9,000 කින් ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක් ආරම්භ කළා.
අද වන විට ඔහුගේ එම ව්‍යාපාරය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැල් 4 ක් දක්වා ව්‍යාප්ත කර ඇති අතර මේ වන විට තමන්ගේම නමින් ක්‍රිකට් භාණ්ඩ සන්නාමයක්ද ඔහු සතුව පවතිනවා.
එම අලෙවිසැල්වල ඔහුගේ ක්‍රිකට් සන්නාමය යටතේ නිෂ්පාදිත ක්‍රිකට් භාණ්ඩ මෙන්ම ලෝක ප්‍රකට සන්නාමයන් යටතේ නිෂ්පාදිත ක්‍රිකට් භාණ්ඩ ද අලෙවි කරනු ලබනවා.
ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකු වන මාක් වෝ සහ ස්ටීව් වෝ තම යොවුන් කාලයේ හැරීගේ මෙම ක්‍රිකට් භාණ්ඩ අලෙවිසැල්වල වසර 5 ක් පමණ රැකියා කර ඇති බවද හැරී අප වෙත පැවසුවා.
ඊට අමතරව ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ තවත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මයිකල් ක්ලාක් ද ඔහුගේ යොවුන් කාලයේදී හැරීගේ මෙම ක්‍රිකට් භාණ්ඩ අලෙවිසැල්වල රැකියාව කර තිබෙනවා.
ඔවුන්ට අමතරව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම හැරී තම ව්‍යාපාරයේ රැකියා ලබා දුන් බවද සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රහය
මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හට ක්‍රිකට් භාණ්ඩවලින් තමන් 3 වන වසරටත් අනුග්‍රහය සපයන බව හැරී සොලමන්ස් SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.
ඇයට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් 5 දෙනෙකුට ඔහු අනුග්‍රහය සපයනවා.
ඔවුන්ට අමතරව මේ දිනවල ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පවත්වන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන රමේෂ් මෙන්ඩිස්ට සහ තවත් නවක ක්‍රීඩකයකු වන අශේන් බණ්ඩාරට ද හැරී තම ක්‍රිකට් භාණ්ඩවලින් අනුග්‍රහය සපයනවා.
ඔවුන්ට අමතරව තරුණ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට ද තමන් ක්‍රිකට් භාණ්ඩවලින් අනුග්‍රහය සපයන බව ද හැරී අප වෙත පැවසුවා.
මීට අමතරව ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් වූ Doug Walters සහ Allan Border හටද තමන් අනුග්‍රහය සැපයු බව ඔහු සඳහන් කළා.

