පස් යනු එදිනෙදා ජීවිතයේදී අපිට නිතරම හමුවන ස්වභාවික ද්‍රව්‍යයක්.
නමුත් පස් පිළිබඳ ඔබ ඔබේ ජීවිතයේදී ගැඹුරින් සිතා බලා තිබෙනවාද?
පාංශු විද්‍යාව යනු ලොව පවතින ප්‍රධාන ප්‍රධාන විද්‍යාවක් වන නමුත් බොහෝ දෙනෙකු අතර මෙය එතරම් ජනප්‍රිය නැහැ.
Highlights
- ඔස්ට්‍රේලියාවේ පාංශු විද්‍යාව පිළිබඳව වාර්ෂිකව පවත්වන අන්තර් විශ්ව විද්‍යාල තරගාවලියේ මෙවර ජයග්‍රහණය හිමිවූයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ New England විශ්ව විද්‍යාලයටය.
- එහි ප්‍රධාන පර්යේෂිකාවක් ලෙස අප්සරා අමරසිංහ කටයුතු කර තිබේ.
- ඔස්ට්‍රේලියාවේ පාංශු විද්‍යා සංගමය විසින් මෙය වාර්ෂිකව සංවිධානය කරයි.
කෙසේවෙතත්, පස් සම්බන්ධයෙන් පර්යේෂණ කරන ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික පර්යේෂිකාවකට පසුගියදා ඔස්ට්‍රේලියාවේ තරගයකින් ජයග්‍රහණය කරමින් සම්මානයක් දිනා ගැනීමට හැකියාව ලැබුණා.
ඇය නමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ New England විශ්ව විද්‍යාලයේ පර්යේෂිකා අප්සරා අමරසිංහ.
අප්සරාගේ මෙම ජයග්‍රහණය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපියේ සකස් කෙරේ.

Soil Judging Competition
"ඔස්ට්‍රේලියාවේ පාංශු විද්‍යා සංගමය විසින් සංවිධානය කළ පස් විනිශ්චය කිරීමේ තරගයක් (Soil Judging Competition) ඔස්ට්‍රේලියාවේ පවත්වනු ලැබුවා, එය ඔස්ට්‍රේලියාවේ මෙවර පවත්වනු ලැබුවේ 9 වන වරටයි. මෙවර තරගය පැවැත්වුණේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Cairns කලාපයේ. 2021 පාංශු සමුළුවට සමගාමීව තමයි මෙම තරගය පැවැත්වුණේ." අප්සරා තමන් ජයගත් තරගය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලියට මුලින්ම ඒ අයුරින් පැහැදිලි කළා.
ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවලින් විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් මෙම පස් විනිශ්චය කිරීමේ තරගය සඳහා සහභාගී වන බවද ඇය සඳහන් කළා.
එහිදී අප්සරා නියෝජනය කළ New England විශ්ව විද්‍යාලයට සමස්ත තරගයේ ජයග්‍රහණය හිමි වුණා.
2020 වසරේදීත් New England විශ්ව විද්‍යාලයට මෙහි ජයග්‍රහණය හිමිවූ බව අප්සරා අපට පැවසුවා.
2020 වසරේ ඒකල අංශයේ ප්‍රථම ස්ථානය හිමි කරගත් අප්සරා හට මෙවර තරගයේ ඒකල අංශයේ දෙවැනි ස්ථානය හිමිවුණා.

අප්සරාගේ පර්යේෂණය
"ඇකේෂියා සහ යුකැලිප්ටස් මිශ්‍ර පාරිසරික වගාවන් මගින් පසේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය හා පාංශු පෝෂක පදාර්ථ වල සිදුවන වෙනස්කම් තමයි මගේ ආචාර්ය උපාධිය සඳහා මම හදාරනු ලැබුවේ. මේ ව්‍යාපෘතිය සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ ප්‍රතිපාදන ලැබුනා." යනුවෙන් අප්සරා තම ආචාර්ය උපාධිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලියට විස්තර කළා.
මෙවැනි පාරිසරික වගාවන් ඔස්ට්‍රේලියාව පුරා ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුණේ කෘෂිකාර්මික කටයුතු සඳහා ස්වභාවික පරිසරය එළි කිරීමෙන් පරිසරයට සිදුවූ අහිතකර බලපෑම් අවම කර ස්වභාවික පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම බවද ඇය අපට ප්‍රකාශ කළා.
එහිදී පසේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ සමස්ත ක්‍රියාකාරීත්වය සහ මෙම පාරිසරික වගාවන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට බලාපාන අයුරු පිළිබඳ අප්සරාගේ අවධානය යොමුවී තිබෙනවා.
පසේ පෝෂ්‍ය පදාර්ථ වැඩි දියුණු කිරීමට පසේ සිටින ක්ෂුද්‍ර ජීවීන් විශාල වශයෙන් දායක වනවා. එමෙන්ම ස්වභාවික පරිසරයේ ක්‍රියාත්මක ස්වභාවික චක්‍ර තුලනාත්මකව පවත්වා ගැනීමටද ක්ෂුද්‍ර ජීවීන් මහත්වූ දායකත්වයක් සපයනවා.
"මෙම පර්යේෂණයේදී පසේ තිබෙන කාබන්, නයිට්‍රජන්, පොස්පරස් යන මූල ද්‍රව්‍ය පිළිබඳවද මම අධ්‍යනය කළා. පාරිසරික වගාවන් නිසා එම මූල ද්‍රව්‍ය වෙනස් වන්නේ කොහොමද යන්න එහිදී අධ්‍යනය කළා. එම මූල ද්‍රව්‍ය සහ පසේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ යම් අන්තර් සම්බන්ධතාවක් තිබෙනවාද යන්නත් මම මගේ පර්යේෂණයෙන් අවසාන වශයෙන් බැලුවා." යනුවෙන් අප්සරා තම පර්යේෂණය පිළිබදව අපට හැඳින්වීමක් කළා.

නිගමන
පාරිසරික වන වගාවල වයසත් සමග පසේ වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන්ගේ විවිධත්වයේ වැඩිවීමක් මෙම පර්යේෂණයෙන් දක්නට ලැබුණු බව අප්සරා SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.
මෙම පාරිසරික වන වගාවන් පාරිසරික පද්ධතියේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට ඉතාමත් වැදගත් වන බව මින් පැවසිය හැකි බවද ඇය අපට ප්‍රකාශ කළා.
ස්වභාවික වනාන්තර එළි කිරීම මගින් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා.
මෙම පාරිසරික වන වගා මගින් පසට සිදුවන යහපත් ප්‍රතිඵල වලට අමතරව වායුගෝලයේ ඇති අමතර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කරගැනීමට මෙම ගස් වලට හැකියාව ඇති බවත් අප්සරා සඳහන් කළා.
ඒ අනුව මේ දිනවල ලෝකයේ බොහෝ කතාබහට ලක්ව ඇති පරිසරය උණුසුම් වීම වැනි ගැටළු සඳහාත් මේ පාරිසරික වන වගා හරහා විසඳුමක් ලැබෙන බවද ඇය ප්‍රකාශ කළා.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

