ලේ විෂවීම හේතුවෙන් වසරකට ඔස්ට්‍රේලියානුවන් 5,000ක් පමණ ජීවිතක්ෂයට පත් වන බව ඔබ දන්නවාද?
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
Sepsis හෙවත් ලේ විෂවීම හේතුවෙන් පුද්ගලයෙකුගේ අවයව හදිසියේම අක්‍රිය වෙන අතර මෙය මාරාන්තික විය හැකියි.

සහකාර මාහාචාර්ය Luregn Schlapbach ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙහි Lady Cilento ළමා රෝහලේ සේවය කරයි. 3AW රේඩියෝ ජාලයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ සියලුම ඔස්ට්‍රේලියානුවන් මෙම ආසාදනයේ රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත්ව සිටිය යුතු බවයි.
හැකි ඉක්මනින් රෝග ලක්ෂණ හදුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් 90% ක සුව වීමේ සම්භාවීතාවක් ඇති බවද සහකාර මාහාචාර්ය Luregn පැවසුවේය.
Sepsis හෙවත් ලේ විෂ වීමෙහි රෝග ලක්ෂණ
- සීඝ්‍රයෙන් හුස්ම ගැනීම සහ හෘද ස්පන්දන වේගය වැඩි වීම
- කතා කිරීමේ අපහසුතාව
- මාංශ පේශී වල වේදනාව
- සමේ පැහැය වෙනස් වීම
- උණ හෝ වෙව්ලීම
- මුත්‍රා කිරීමට නොහැකි වීම
Sepsis හෙවත් ලේ විෂ වීමෙන් පීඩා විදින කුඩා දරුවෙකු තුල දැකිය හැකි රෝග ලක්ෂණ
- වමනය දැමීම
- ආහාර නොකෑම
- සමෙහි පලු දැමීම
- වළිප්පුව
- සීඝ්‍රයෙන් හුස්ම ගැනීම
- මුත්‍රා කිරීමට නොහැකි වීම

2016 වසරේදී The George Institute for Global Health හා Australian Sepsis Network සංවිධාන මඟින් කල සමීක්ෂණයකින් අනාවරණය වූයේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 40%ක් Sepsis රෝගය පිළිබඳව නොදැන සිටි බවයි.
සමීක්ෂණයට සහභාගීවූ අයගෙන් 14%ක් පමණක් Sepsis රෝගයෙහි රෝග ලක්ෂණ දැන සිටි බවද වාර්තා වෙයි.
මෑතකදී The Medical Journal of Australia වෛද්‍ය සඟරාවහි පලවූ ලිපියක සඳහන් වූයේ රෝග ලක්ෂණ පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් නොතිබීම නිසා ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාද වන බවයි. මේ හේතුවෙන් වැළැක්විය හැකි මරණ අවදානම හා අතුරු ආබාධ වල අවදානම ඉහල යන බවද සඳහන් විය.

80%ක පමන Sepsis රෝගය හා සම්බන්ධ සිද්ධීන් හට ගන්නේ රොහල් භූමියෙන් පිටතදීය. Sepsis ආසාදනයට ඉක්මනින් ප්‍රතිකාර ලබා ගත යුතු නිසා ඒ පිළිබඳව ජනතාව දැනුවත්ව සිටීම වැදගත්. එම නිසා සෞඛ්‍ය වැඩසටහන් මාර්ගයෙන් රෝග ලක්ෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තුළින් රෝගය මගින් සිදුවෙන හානි අවම කල හැකි බව සඟරාවෙහි සඳහන් වෙයි.
දැඩි සත්කාර ඒකකවල සිදුවන මරණ හා සම්බන්ධ දත්ත වලින් පමණක් දැනට Sepsis රෝගයෙහි බලපෑම නිර්ණය කරන බැවින් ඔස්ට්‍රේලියානු සමාජයට එය ඇති කරන බලපෑම තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි නැත.
වසරකට දැඩි සත්කාර ඒකක තුලදී Sepsis රෝගය වැළඳුණු පුද්ගලයින් 18,000ක් පමන ප්‍රතිකාර සඳහා යොමු වෙන බවද වාර්තා වෙයි.
මෙම ආසාදනය ලොකු පෝඩි භේදයකින් තොරව කාටත් ඇති විය හැකි බැවින්, ඒ පිළිබඳව ඔබ දැනුවත්ව සිටීම වැදගත්ය.


