ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සේවකයින් හට තම වැටුපෙන් සැලකිය යුතු කොටසක් කැප කිරීමට සිදුවන බව වාර්තා වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවී ඇති අර්බුදය නිසා විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ සිදුවන විශාල රැකියා කප්පාදුව වළක්වා ගැනීමට ඔවුන් හට මෙම කැප කිරීම කිරීමට සිදුවී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ වැටුප් කප්පාදුව
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය ඩොලර් බිලියන 5 ක් පමණ අති විශාල පාඩුවක් ලබන බවට මේ වන විට ඇස්තමේන්තු ගත කර තිබේ.
එම අර්බුදය නිසා ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ 12,000 ක පමණ රැකියා කප්පාදු කිරීමේ අවදානමක් ඇති බව ජාතික උසස් අධ්‍යාපන වෘත්තීය සමිතිය (NTEU) පවසයි.
මේ තත්ත්වය යටතේ ජාතික උසස් අධ්‍යාපන වෘත්තීය සමිතිය ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 30 කට අධික සංඛ්‍යාවක් සමග ගිවිසුමකට එළඹ තිබේ.
එයට අනුව විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ රැකියා කප්පාදු කරනවා වෙනුවට වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස යෝජනා වී තිබේ.
මේ හරහා ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ රැකියා කරන පුද්ගලයින්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජාතික උසස් අධ්‍යාපන වෘත්තීය සමිතිය අපේක්ෂා කරයි.
එය හැර මේ සඳහා අන් කිසිදු සාර්ථක විකල්පයක් නොමැති බව ජාතික උසස් අධ්‍යාපන වෘත්තීය සමිතියේ සභාපතිනී Alison Barnes පවසයි.
මෙම යෝජනාවට අනුව දැඩි ලෙස පාඩු ලබන විශ්ව විද්‍යාල වල සේවකයින් තම වාර්ෂික වැටුපෙන් 15% ක් දක්වා කැප කළ යුතු වන අතර අනෙක් සේවකයින් තම වාර්ෂික වැටුපෙන් 5%ත් 10%ත් අතර ප්‍රමාණයක් කැප කළ යුතු වෙයි.
මෙයට අවසාන අනුමැතිය ගැනීමට පෙර සාමාජික මණ්ඩල කිහිපයකගේ කැමැත්ත හිමිවිය යුතුව ඇත.

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය දැවැන්ත ලෙස පාඩු ලබයි
පසුගිය සති හය තුළදී ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ඩොලර් බිලියන 4.5 ක් පමණ පාඩු ලබා ඇති බව ජාතික උසස් අධ්‍යාපන වෘත්තීය සමිතියේ සභාපතිනී Alison Barnes පවසයි.
මේ අතර විශ්ව විද්‍යාල සඳහා ආර්ථික අත්වැලක් සැපයීමට ඔස්ට්‍රේලියානු සිසුන් හට 2020 සඳහා ඩොලර් බිලියන 18 ක කොරෝනා වයිරස සහන පැකේජයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පසුගිය මාසයේ එළිදැක්විය.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සමග වෘත්තීය සමිති සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා සුබවාදී ක්‍රියාවක් බව ද ඔහු පවසයි.
ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා වෘත්තීය සමිති ගන්නා මෙම උත්සාහය ඔහු විසින් අගය කරන ලදී.
ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන කර්මාන්ත සංගමය ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 31ක් නියෝජනය කරයි.
එම සංගමය ජාතික උසස් අධ්‍යාපන වෘත්තීය සමිතිය සමග මේ වැටුප් කැප කිරීම සම්බන්ධ මූලික ගිවිසුමකට පිවිස ඇති බව වාර්තා වේ.

වැටුප් කප්පාදු කරන යෝජනාවට විරෝධය
පුස්තකාල සහ නඩත්තු සේවකයින් වැනි විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය නියෝජනය කරන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජා සහ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ජාතික උසස් අධ්‍යාපන වෘත්තීය සමිතිය විසින් ඉදිරිපත් කර ඇති මෙම වැටුප් කප්පාදු කරන යෝජනාව විවේචනය කර තිබේ.
මෙහිදී විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ අවම වැටුප් හිමි සේවකයින් නොසලකා හැර ඇති බව එහි නියෝජිත Troy Wright පවසයි.
වැටුපෙන් 15% ක් කප්පාදු කිරීම විශ්ව විද්‍යාල වල ඉහළ වැටුප් ලබන පුද්ගලයින්ට ඉතා සුළු දෙයක් වන නමුත් විශ්ව විද්‍යාල වල වෘත්තීයමය සේවකයින්ට එය දැඩි ලෙස දැනෙන කප්පාදුවක් බව ඔහු පෙන්වා දෙයි.
විශ්ව විද්‍යාල සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට පෙර කප්පාදු කළ හැකි තවත් බොහෝ වියදම් ඇති බවද ඔහු පෙන්වා දෙයි.


