කොරෝනා වයිරසය පාලනය කිරීමට පනවා ඇති නීති හා සීමාවන් ඉවත් කර සමස්ත ඔස්ට්‍රේලියාවම යළි විවෘත කිරීමේ සැලැස්ම පසුගිය සිකුරාදා (08/05) ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison නිවේදනය කළේය.
පියවර තුනකින් යුක්ත එම සැලසුම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමේ දින වකවානු ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් වල කැමැත්ත මත සිදුවනු ඇති බව අගමැති මොරිසන් තම කතාවේදී පැවසුවේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එම සැලැස්ම අනුව යමින් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සඳහා මේ වන විට පනවා ඇති කොරෝනා වයිරසය වැළක්වීමේ නීති හා සීමාවන් ලිහිල් කිරීමට පියවර ගන්නා බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ (11/05) ප්‍රකාශ කළේය.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීම අද (12/05) මධ්‍යම රාත්‍රියේ පටන් ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කෙරේ.

ඔබේ නිවසට අමුත්තන් 5 දෙනෙකු දක්වා ගෙන්වා ගැනීමට හැකිවීම
නිවසේ වෙසෙන පුද්ගලයින් හැර ඔබේ නිවසට අමුත්තන් 5 දෙනෙකු දක්වා ගෙන්වා ගැනීමට අද (12/05) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට හැකියාව ඇත.
එම අමුත්තන් ඉතාම සමීප අමුත්තන් විය යුතු බවත් මෙම ලිහිල් කිරීම සෑම දිනකම රාත්‍රී භෝජන සාද පැවැත්වීමට ආරාධනාවක් නොවන බවත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
මෙම නව නීති ලිහිල් කිරීමත් සමග දරුවන්ට තම මුත්තණු මිත්තණියන් බැලීමට යාමට අවසර ලැබේ.

එළිමහනේ පුද්ගලයින් 10 දෙනෙකු දක්වා රැස්වීමට හැකිවීම
අද (12/05) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ එළිමහනේ පුද්ගලයින් 10 දෙනෙකු දක්වා රැස්වීමට අවසර ලැබේ.
ඒ අනුව ක්‍රීඩා සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් සඳහා එළිමහනේ පුද්ගලයින් 10 දෙනෙකු දක්වා රැස්වීමට හැකිවේ.
මේ යටතේ ඔබට කඳු නැගීම, මාළු බෑම, දඩයමේ යාම, කිමිදීම, බෝට්ටු පැදීම, ඇවිදීමට යාම වැනි එළිමහන් ක්‍රියාකාරකම් සිදු කළ හැකිය.
නමුත් සෑම විටම පුද්ගල දුරස්ථභාවය තබාගත යුතු බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
මංගල සහ අවමංගල උත්සව සඳහා වැඩිපුර අමුත්තන් සහභාගී කරවාගැනීමට අවසර
විවාහ යුවලට සහ දේව මෙභෙය පවත්වන්නාට අමතරව වික්ටෝරියානු ප්‍රාන්තයේ පැවැත්වෙන මංගල උත්සව සඳහා අමුත්තන් 10 දෙනෙකු දක්වා සහභාගී වීමට අද (12/05) මධ්‍යම රාත්‍රියේ සිට අවසර ලැබේ.
එමෙන්ම එළිමහනේ පැවැත්වෙන අවමංගල උත්සව සඳහා අමුත්තන් 30 දෙනෙකු දක්වාද අවමංගල්‍ය ශාලාවක් ඇතුළත පැවැත්වෙන අවමංගල උත්සව සඳහා අමුත්තන් 20 දෙනෙකු දක්වා ද සහභාගී වීමට අවසර ලැබේ.
නමුත් අවමංගල උත්සවය පැවැත්වෙන්නේ පුද්ගලික නිවසක නම් තවමත් අමුත්තන් 5 දෙනෙකු පමණක් සහභාගී වීමේ නීතිය අදාළ බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

විනෝද චාරිකා ගොස් රැයක් නැවතීමට අවසර නොලැබේ
විනෝද චාරිකා යාමට ඔබට සහ ඔබේ පවුලේ උදවියට අවසර ඇති නමුත් එම ස්ථාන වල රැයක් ගත කිරීමට අවසර නොලැබේ.
මෙම නීතිය ජාතික උද්‍යාන සඳහා බලපාන බව වාර්තා වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ ජාතික උද්‍යාන සංචාරකයින්ට විවෘත වන නමුත් camping සඳහා අවසර නොලැබේ.
මේ අතර AirBnb හෝ හෝටල් වෙන් කිරීමටද අවසර නොලැබෙනු ඇත.
ගොල්ෆ් සහ හිම ක්‍රීඩා නැවතත්
අද (12/05) මධ්‍යම රාත්‍රියේ පටන් වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට ගොල්ෆ් ක්‍රීඩා කිරීමට අවසර ලැබෙන නමුත් ගොල්ෆ් clubrooms විවෘත නොකෙරෙනු ඇත.
එමෙන්ම හිම ක්‍රීඩා කිරීමටද අවසර ලැබෙන අතර සමුහ වශයෙන් එම ස්ථාන වල නවාතැන්ගැනීමට දැන්ම අවසර ලබා දී නොමැත.
හිම ක්‍රීඩා සඳහා අදාළ උපකරණ කුලියට දීමේදී ඒවා ඉතා දැඩිව පිරිසිදු කිරීමකට ලක් කෙරිය යුතු බවට වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton, ABC ගුවන් විදුලියට පැවසීය.
මේ අතර පුද්ගලයින් 10 දෙනෙකුගේ උපරිම සීමාවට යටත්ව ප්‍රජා ක්‍රීඩා සංගම් වල (community sports clubs) පුහුණුවීම් ආරම්භ කිරීමට හැකි බවද වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට ත් කොරෝනා නීති ලිහිල් කෙරේ
අද (12/05) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවාස සඳහා පැවැත්වෙන open house inspection සඳහා නිවාස හා දේපළ ඒජන්තවරුන්ට අමතරව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා එකවර සහභාගී වීමට අවසර ලැබේ.
එම නීතියම නිවාස වෙන්දේසි සඳහාද අදාළ වේ.
නිවාස වෙන්දේසි හා open house inspection සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ තොරතුරු නිවාස හා දේපළ ඒජන්තවරුන් විසින් සටහන් කරගැනීම අනිවාර්ය වේ.
අවන්හල්, ආපන ශාලා සහ pubs තවමත් වසා දැමේ
ඔස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත hospitality ක්ෂේත්‍රයේ ව්‍යාපාර සඳහා පනවා ඇති කොරෝනා නීති වල යම් ලිහිල් කිරීමක් සිදුකළ ද වික්ටෝරියානු ප්‍රාන්තය තවමත් එලෙස නීති ලිහිල් කිරීමක් සිදු කර නොමැත.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ අවන්හල්, ආපන ශාලා සහ pubs තවමත් වසා දැමේ.
නමුත් මෙය ලබන මාසයේ සිට බොහෝ දුරට වෙනස් කිරීමට හැකිවනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
ඉදිරි සති තුනක කාලය ඉවසා සිටියහොත් අවන්හල් සහ ආපන ශාලා තුළට පාරිභෝගිකයින් 10 දෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන්වා ව්‍යාපාර කරගැනීමට හැකිවනු ඇතැයි ඔහු පැහැදිලි කළේය.
මේ අතර දැනට අක්‍රිය කර ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සඳහා වන සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රයේ කටයුතු ජුනි මාසයේ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews අපේක්ෂා කරයි.

අත්‍යවශ්‍ය සහය සේවා කණ්ඩායම් වල මෙහෙයුම් සහ ආගමික උත්සව පැවැත්වීමට අවසර
මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැළක්වීමට සහය සේවා සපයන කණ්ඩායම් (alcohol and drug support groups), parents' groups ඇතුළු අත්‍යවශ්‍ය සහය සේවා කණ්ඩායම් වල මෙහෙයුම් සඳහා අද (12/05) මධ්‍යම රාත්‍රියේ සිට අවසර ලැබේ.
නමුත් එම කණ්ඩායම් වල පුද්ගලයින් 10 දෙනෙකුට වඩා සිටිය නොහැකිය.
එම ක්‍රියාකාරකම් වලදී සැමවිටම පුද්ගල දුරස්ථභාවය රැකිය යුතු අතර ඒ සඳහා RSL clubs, ප්‍රජා ශාලා වැනි ප්‍රජා ස්ථාන භාවිත කළ හැකිය.
විහාරස්ථාන, දේවස්ථාන ඇතුළු ආගමික ස්ථාන වල පුද්ගලයින් 10 දෙනෙකුගේ උපරිම සීමාවට යටත්ව ආගමික උත්සව පැවැත්වීමටද අවසර ලැබේ.
පාසල් වල අධ්‍යන කටයුතු ආරම්භ කිරීම
වික්ටෝරියානු ප්‍රාන්තයේ පාසල් වල අධ්‍යන කටයුතු සුපුරුදු ලෙස ආරම්භ කිරීමේ දින වකවානු අද (12/05) පෙරවරුවේ වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ප්‍රකාශ කළේය.
ඒ අනුව prep, පළමු වසර, දෙවැනි වසර මෙන්ම 11 සහ 12 වසර වල සිසුන්ට මැයි 26 වන දින සිට පාසල් කටයුතු ඇරඹේ.
සෙසු වසර වල සිසුන් හට ජුනි 09 සිට අධ්‍යන කටයුතු සුපුරුදු ලෙස ආරම්භ කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කිරීමේ මීළඟ දිනය
අද (12/05) මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරුණු නීති ද සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ බල පැවැත්වෙන කොරෝනා නීති හා සීමාවන් 2020 මැයි මස අග වන තෙක් ක්‍රියාත්මක වන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
ඉදිරි සති තුනක කාලය තුළදී ප්‍රාන්තය තුළ හමුවන නව ආසාදිතයින් ප්‍රමාණය අනුව ජුනි මාසයේදී කොරෝනා නීති තවත් ලිහිල් කිරීමට හැකිදැයි සලකා බලෙන බව ඔවුන් පවසයි.
ලබන මාසයේ සිට වික්ටෝරියානු ප්‍රාන්තය ශීත සෘතුවට මුහුණ දෙන බැවින් අවදානම් තත්ත්වයක් ඇති බව ද වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton පැවසීය.


