කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් හට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් කිසිදු සහනයක් ලබා දීමට කටයුතු නොකළ නමුත් පසුව එක් එක් ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් පීඩාවට පත් ජාත්‍යන්තර සිසුන් හට ආර්ථික සහන සැලසීමට ඉදිරිපත්ව සිටියි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ වන විටත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැර ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරි මෙලෙස ජාත්‍යන්තර සිසුන් හට විවිධ ආර්ථික සහන පැකේජ ඉදිරිපත් කර තිබේ.
ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් හට ලබා දෙන ආර්ථික සහන පිළිබඳ සැකෙවින් මෙම ලිපිය හරහා ඉදිරිපත් කෙරේ.

වික්ටෝරියානු ප්‍රාන්තය
කොරෝනා වසංගතයෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට ආර්ථික සහන දීමනාවක් ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පසුගිය සතියේ තීරණය කළේය.
ඒ සඳහා ඩොලර් මිලියන 45 ක ආර්ථික සහන පැකේජයක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් නිවේදනය කරන ලදී.
වික්ටෝරියානු ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව මෙම ආර්ථික සහන දීමනාව ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.
මෙම ආර්ථික සහන පැකේජය යටතේ කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුවෙකුට $1,100 ක් දක්වා උපරිම වූ දීමනාවක් ලැබෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ studymelbourne වෙබ් අඩවිය පවසයි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ පහත සඳහන් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
- විශ්ව විද්‍යාල
- TAFE විද්‍යාල
- පුද්ගලික වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ආයතන
- ඉංග්‍රීසි භාෂා පාසල්
මේ සඳහා උනන්දුවක් දක්වන වික්ටෝරියානු ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් හට මෙම වෙබ් පිටුවට ගොස් ලියාපදිංචි විය හැකිය.
ඊට අමතරව මෙම වසංගතය හමුවේ රැකියාව අහිමිවූ ජාත්‍යන්තර සිසුන්ට Working for Victoria වැඩසටහන යටතේ රැකියා සොයා ගැනීමටද වික්ටෝරියානු ප්‍රාන්ත රජය මේ වන විට වැඩසටහනක් දියත් කර තිබේ.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය
කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවට පත් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට ආර්ථික වශයෙන් සහය වීම සඳහා පසුගිය අප්‍රේල් 21 වන දින ඩොලර් මිලියන 13.8 ක ආර්ථික පැකේජයක් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය විසින් නිවේදනය කළේය.
දකුණු ඔස්ට්‍රේලියාවේ රජයේ විශ්ව විද්‍යාල ත්‍රිත්වයක් වන ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය, Flinders විශ්ව විද්‍යාලය සහ දකුණු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය සමග එක්ව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය සිය ප්‍රාන්තයේ කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවට පත්ව සිටින ජාත්‍යන්තර සිසුන්ට ආර්ථික සහයක් වීමට පියවර ගනී.
අදාළ මුල්‍ය ප්‍රතිපාදන එම විශ්ව විද්‍යාල තුන අතර බෙදා දීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පියවර ගන්නා බව නිවේදනය කර ඇත.
ඉහත රජයේ විශ්ව විද්‍යාල ත්‍රිත්වයේ අධ්‍යාපනය නොලබන ජාත්‍යන්තර සිසුන් වෙතොත් ඔවුන්ට ඩොලර් 500 ක හදිසි මුදල් ආධාරයක් ලබා දීමට කටයුතු යොදා තිබේ.
එම මුදල් ආධාරය ලබා ගැනීමට නම් ඔවුන් දැනට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පදිංචිව සිටිය යුතු අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අධ්‍යාපන ආයතනයක පාඨ මාලාවක් හැදෑරීමට ලියා පදිංචි වී සිටිය යුතුය.

ටස්මේනියා ප්‍රාන්තය
කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් ටස්මේනියා ප්‍රාන්තයේ සිටින ජාත්‍යන්තර සිසුන් ඇතුළු තාවකාලික වීසා ලාභීන්ට ආර්ථික වශයෙන් සහය වීමට ටස්මේනියා ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 3ක ආර්ථික පැකේජයක් නිවේදනය කළේය.
මෙය එකවරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් ලෙස හැඳින්වේ.
එහිදී තාවකාලික වීසා ලාභීයෙකුට $250 මුදලක්ද පවුලක් නම් $1,000 දක්වා ද අත්පිට මුදලක් හිමිවනු ඇත.

ACT
කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් ACT හි සිටින ජාත්‍යන්තර සිසුන් ඇතුළු තාවකාලික වීසා ලාභීන්ට ආර්ථික වශයෙන් සහය වීමට ACT රජයද පියවර ගෙන තිබේ.
කොරෝනා වසංගතය නිසා ආදායම් අහමිවු ඉහත පිරිස් සඳහා $450,000 ක හදිසි ආධාර පැකේජයක් මේ සඳහා ACT රජය ප්‍රකාශයට පත්කොට ඇත.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
කොරෝනා අර්බුදය හමුවේ ආර්ථික පීඩාවට පත් ජාත්‍යන්තර සිසුන් හට සහය වීම සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 2.2 ක ආර්ථික සහන පැකේජයක් නිවේදනය කර ඇත.
වෘත්තීමය උපදේශන සේවා, isolation care-packs, පෙර සැකසූ ආහාර වෙල් සහ අනෙකුත් ජීවන වියදම් ආවරණය වන සේ මෙම ආධාර ලබා දීමට නියමිතය.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
කොරෝනා අර්බුදය හමුවේ පීඩාවට පත් ජාත්‍යන්තර සිසුන් හට හදිසි නවාතැන්, ආහාර පාන සහ සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය සහන පැකේජයක් හඳුන්වා දී තිබේ.
එය StudyPerth Crisis Relief (SPCR) නමින් හැඳින්වේ.

Northern Territory
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් ගත් කළ අඩුම ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාවක් සිටින්නේ Northern Territory හිය.
කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත් ජාත්‍යන්තර සිසුන් හට සහය වීම සඳහා Northern Territory රජය StudyNT නමින් ආර්ථික සහන පැකේජයක් හඳුන්වා දී තිබේ.


