කොරෝනා වසංගතයෙන් අනතුරුව තාවකාලික රැකියා වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දෙන විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය කප්පාදු කළ යුතු බවට ඔස්ට්‍රේලියාවේ විපක්ෂය වන කම්කරු පක්ෂය පැවසීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ආගමන කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally විසින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ඇතිවිය යුතු නමුත් සංක්‍රමණිකයින් ගෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඇති දායකත්වය පිළිබඳවද සිතිය යුතු බවත් විශේෂඥයින් පවසයි.

Kristina Keneally ගේ ප්‍රකාශය
තාවකාලික රැකියා වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දෙන විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය කප්පාදු කළ යුතු බවට ආගමන කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally පැවසුවාය.
කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් පිළිබඳ තීරණය කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඇය පැහැදිලි කළාය.
පසුගිය වසරේ මැද භාගයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාව තුළ මිලියන 2 කට අධික තාවකාලික වීසා ලාභීන් සිටින බව Kristina Keneally පෙන්වා දුන්නාය.
පසුගිය වසර කිහිපය මුළුල්ලේම සංක්‍රමණිකයින් විසින් සිදුකරන රැකියා ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට සිදු කළ හැකිව තිබූ බව ඇය සිය කතාවේදී සඳහන් කළාය.
සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ප්‍රතිලාභ ගෙන දෙනවා සේම හානි ගෙන දීමටත් පිළිවන් බව ආගමන කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally පැවසුවාය.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය සමාලෝචනය කළ යුතුයි
පශ්චාත් කොරෝනා සමයේ දී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය සමාලෝචනය කිරීමට අවස්ථාවක් ඇති නමුත් සංක්‍රමණිකයින් පිළිබඳ අමතක නොකළ යුතු බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Anna Boucher, SBS පුවත් සේවයට පැවසුවාය.
කොරෝනා වසංගතය නිමවූ පසුව ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය නැවත ගොඩනැගීමට සංක්‍රමණිකයින් හටද විශාල දායකත්වයක් ලබා දිය හැකි බව ඇය සඳහන් කළාය.
පශ්චාත් කොරෝනා සමය අලුත් ඔස්ට්‍රේලියාවක් ගොඩනැගීමට කාලය බව අප සැවොම පිළිගන්නා කරුණක් බව ද ඇය සඳහන් කළාය.
නිපුණතා සංක්‍රමණිකයින් විදෙස් රටවල දී උගත් සහ පුහුණුව ලැබූ විශේෂ නිපුණතා ඔස්ට්‍රේලියාවට නොමැති වන්නට පුළුවන්, නැතිනම් එම ක්ෂේත්‍ර වල සේවය කිරීමට ඔස්ට්‍රේලියානුවන් අකමැති වීමට පුළුවන්. එවැනි අවස්ථා වලදී අදාළ සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ආර්ථිකය ගොඩනැගීමට මහත් රුකුලක්" යනුවෙන් මහාචාර්ය Anna Boucher, SBS පුවත් සේවයට පැවසුවාය.
පළමු සහ දෙවන ලෝක යුද්ධ වලින් අනතුරුව ද ඔස්ට්‍රේලියාව සහ ඔස්ට්‍රේලියානු ආර්ථිකය ගොඩනැගුණේ ඒ අයුරින් බව ඇය සිහිපත් කළාය.
නිපුණතා සංක්‍රමණිකයින්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හෝ නවසීලන්ත සංක්‍රමණිකයින් වැනි ස්ථිර සංක්‍රමණිකයින් කප්පාදු කිරීම මෙහිදී තරමක් අපහසු බවද ඇය පැවසුවාය.
නමුත් working holiday වීසා ලාභීන් වැනි ඇතැම් තාවකාලික වීසා ලාභීන්ව කප්පාදු කිරීම පහසුවෙන් සිදුකළ හැකි බව මහාචාර්ය Anna Boucher පෙන්වා දුන්නාය.

සංක්‍රමණික කෝටාව කප්පාදු නොකළ යුතුයි
කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව පිළිබඳ නැවත සිතා බැලිය යුතු නමුත් එය අඩු කිරීමක් සිදු කළ යුතු නැති බව තමන් සිතන බවත් සිඩ්නි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ Warren Hogan, SBS පුවත් සේවයට පැවසුවේය.
ලොව විශාලතම සංක්‍රමණික රාජ්‍යය ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වෙන බව සත්‍ය නමුත් එය තවදුරටත් එසේම විය යුතු දැයි ප්‍රශ්න කළ යුතු බවත් ඔහු පැවසීය.
කොරෝනා වසංගතයට පෙර සමයේදී ඔස්ට්‍රේලියාව අත්කරගෙන තිබූ ආර්ථික වර්ධනය යළි අත්කරගැනීමට නම් ඒ සමයේ තිබූ ආකාරයට සමාන අයුරින්ම සංක්‍රමණික කෝටාවද ස්ථායීව තබා ගත යුතු බව Monash විශ්ව විද්‍යාලයේ මානව භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය Alan Gamlen, SBS පුවත් සේවයට පැවසුවේය.
ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සේවා සපයන ශ්‍රම බලකායෙන් කොපමණ ප්‍රමාණයක් සංක්‍රමණිකයින් සිටිනවාදැයි ගණන් බැලූ විට සංක්‍රමණිකයින්ගේ අවශ්‍යතාව අපට අවබෝධ කරගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයින්
190,000 ක්ව තිබූ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව 160,000 ක් ලෙසට පසුගිය වසරේ සිට කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පියවර ගත්තේය.
නමුත් එම කාල වකවානුවේදීම ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයින් ඉතිහාසයේ ප්‍රථම වරට වාර්තාගත ලෙස ඉහළ ගියේය.
ජාත්‍යන්තර සිසුන්, තාවකාලික රැකියා වීසා ලාභීන් සහ working holiday වීසා ලාභීන් යන ඛාණ්ඩ ප්‍රධාන වශයෙන් මෙම තාවකාලික සංක්‍රමණිකයින් නියෝජනය කරයි.
ඔවුන්ගේ ප්‍රමාණය මිලියන 2.3 ක් පමණ වන බව සඳහන්.
කොරෝනා වසංගතය ආරම්භ වූ මුල් කාලයේදීම ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයින් ගෙන් ලක්ෂ 3 ක් පමණ පිරිසක් ඔස්ට්‍රේලියාවෙන් පිටවූ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඉන් වැඩි පිරිසක් ජාත්‍යන්තර සිසුන් බවද වාර්තා වේ.
කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවත් මාස කිහිපයක් වසා දැමීමට සිදුවන හෙයින් 2020-21 වසරේදී ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණික කෝටාව 36,000 දක්වා පහත බසිනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.


