කොරෝනා වසංගතය නිසා විදෙස් ජාතිකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීම වළකාලමින් පනවා ඇති සංචාරක තහනම ජාත්‍යන්තර සිසුන්ට ඉවත් කරන මෙන් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන සංගමය ඉල්ලීමක් කරයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය මත ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට දැනට පනවා ඇති සංචාරක තහනම නොතකා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලති.

ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දෙන ලෙස ඉල්ලීම
ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබාදීම ආර්ථික ප්‍රතිලාභයන්ට එහා ගිය දෙයක් බව ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන සංගමයේ ප්‍රධාන විධායක Phil Honeywell, SBS පුවත් සේවයට පැවසීය.
ජාත්‍යන්තර අධ්‍යාපනය යනු ඔස්ට්‍රේලියාවේ සිව්වන විශාලතම අපනයන ආදායම බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ හරහා ඔස්ට්‍රේලියාවේ රැකියා 240,000 ක් පමණ නිර්මාණය වී ඇති බවත් රජයේ සහ පුද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රධාන ආදායම් මාර්ගය සකස් වී ඇත්තේ ජාත්‍යන්තර සිසුන් මත පමණක් බවත් Phil Honeywell පැහැදිලි කළේය.
ඒ අනුව මෙම ජාත්‍යන්තර අධ්‍යාපනය හරහා ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව ඩොලර් බිලියන 40 ක පමණ ආදායමක් ගෙන දෙන බවත් ඊට අමතරව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිලාභද ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ වල උපදේශ මත ඔස්ට්‍රේලියාවේ අනාගතය උදෙසා මෙම ක්ෂේත්‍රය වහා යළි විවෘත කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර අනාගතයේදී කැනඩාව, ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය යන රටවල ජාත්‍යන්තර සිසුන් ගේ ලියාපදිංචි වීම් සමග සංසන්දනය කරන විට ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා ඉක්මණින් විවෘත කිරීම හරහා ඔස්ට්‍රේලියාවට ශක්තිමත් ස්ථාවරයක් නිර්මාණය කරගත හැකි බව ද ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන සංගමයේ ප්‍රධාන විධායක Phil Honeywell, SBS පුවත් සේවයට පැවසීය.

අධ්‍යන කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල විවෘත කිරීම
දේශ සීමා වසා තිබුණද ජාත්‍යන්තර සිසුන් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව ඇති බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan, ABC රූපවාහිනියේ ඉරිදා පැවති Insiders වැඩසටහනට සහභාගී වෙමින් පැවසුවේය.
ඒ හරහා ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වලට කොරෝනා වසංගතය නිසා අහිමිවූ ආදායම නැවත උපයා ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහු පැවසීය.
එම ක්‍රියාවලියේදී මුලින්ම කළ යුත්තේ ඔස්ට්‍රේලියානු සිසුන්ට සහ මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල විවෘත කිරීම බව අධ්‍යාපන අමාත්‍ය Dan Tehan සඳහන් කළේය.
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන අධ්‍යන කටයුතු සඳහා විවෘත කිරීමට සූදානමින් සිටින නමුත් ඒවා විවෘත කිරීම ආරක්‍ෂිත යයි කියා සෞඛ්‍ය අංශ අනුමැතිය ලබා දිය යුතු බව Universities Australia හි ප්‍රධාන විධායක Catriona Jackson පැවසුවාය.
ජාත්‍යන්තර සිසුන් නැවතත් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට සහ උසස් අධ්‍යාපන ආයතන වලට ලියා පදිංචි කරගැනීමෙන් පමණක් කොරෝනා වසංගතය නිසා ක්ෂේත්‍රයට සිදුවූ පාඩුව පියවා ගත නොහැකි බවද ඇය සඳහන් කළාය.
කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියා 21,000 ක් පමණ අහිමිවූ බවද Universities Australia හි ප්‍රධාන විධායක Catriona Jackson පැවසුවාය.


