කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමට යාමෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඍණාත්මක බලපෑමක් එල්ල වන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය නිමවී ඔස්ට්‍රේලියානු ආර්ථිකය නැවත ගොඩනැගීමේදී ඔස්ට්‍රේලියාවට බාරගන්නා වාර්ෂික සංක්‍රමණිකයින් සංඛ්‍යාවෙහි යම් කප්පාදුවක් සිදු කළ යුතු බවට කම්කරු පක්ෂය මේ සතිය මුලදී යෝජනාවක් ඉදිරිපත් කළේය.

සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීම ඔස්ට්‍රේලියානු ආර්ථිකයට බලපෑමක්
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන හරහා ක්‍රියාත්මක සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සහ බහු සංස්කෘතික සමාජයට හානි විය හැකි බවට අගමැති මොරිසන් සඳහන් කළේය.
කොරෝනා වසංගතයෙන් අනතුරුව ඕස්ට්‍රේලියානුවන් කෙරෙහි ප්‍රමුඛත්වයක් ලබා දී සංක්‍රමණික කෝටාව කප්පාදු කළ යුතු බවට ආගමන කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally විසින් පසුගිය සඳුදා ප්‍රකාශයක් නිකුත් කළාය.
විශේෂයෙන් තාවකාලික රැකියා වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දෙන විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය කප්පාදු කළ යුතු බවට ඇය එහිදී අවධාරණය කළාය.
නමුත් තාවකාලික රැකියා වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට අතිශය වැදගත් වන බව අගමැති මොරිසන් පැහැදිලි කළේය.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි නිපුණතා සංක්‍රමණිකයෙකු වීමට පෙර බහුතරයක් දෙනා තාවකාලික රැකියා වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ රැකියා වල නිරත වූ අය වීම ඊට හේතුව බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව යම් අයෙක් තාවකාලික රැකියා වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය කප්පාදු කිරීමට යෝජනා කරනවානම් ඔවුන් යෝජනා කරන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නිපුණතා සංක්‍රමණික වැඩසටහන හරහා ක්‍රියාත්මක සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමක් බව අගමැතිවරයා පැවසුවේය.

Kristina Keneally ගේ ප්‍රකාශය
තාවකාලික රැකියා වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දෙන විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය කප්පාදු කළ යුතු බවට ආගමන කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally පැවසුවාය.
කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් පිළිබඳ තීරණය කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඇය පැහැදිලි කළාය.
පසුගිය වසරේ මැද භාගයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාව තුළ මිලියන 2 කට අධික තාවකාලික වීසා ලාභීන් සිටින බව Kristina Keneally පෙන්වා දුන්නාය.
පසුගිය වසර කිහිපය මුළුල්ලේම සංක්‍රමණිකයින් විසින් සිදුකරන රැකියා ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට සිදු කළ හැකිව තිබූ බව ඇය සිය කතාවේදී සඳහන් කළාය.
Kristina Keneally ගේ මෙම ප්‍රකාශයට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ප්‍රජාවද දැඩි විරෝධය පළ කර ඇති බව සඳහන්.


