කොරෝනා වයිරසය පාලනය කිරීමට පනවා ඇති නීති හා සීමාවන් ඉවත් කර සමස්ත ඔස්ට්‍රේලියාවම යළි විවෘත කිරීමේ සැලැස්ම පසුගිය සිකුරාදා (08/05) ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison නිවේදනය කළේය.
පියවර තුනකින් යුක්ත එම සැලසුම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමේ දින වකවානු ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් වල කැමැත්ත මත සිදුවනු ඇති බව අගමැති මොරිසන් තම කතාවේදී පැවසුවේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එම සැලැස්ම අනුව යමින් අද (11/05) වන විට ප්‍රකාශිත තොරතුරු වලට අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා ඇති නීති හා සීමාවන් ලිහිල් කිරීමට ගන්නා පියවර පිළිබඳ මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කෙරේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පියවර තුනේ සැලැස්ම යටතේ පළමු පියවර ක්‍රියාත්මක කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය මැයි 15 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගෙන තිබේ.
ඒ අනුව මැයි 15 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පහත සඳහන් අවසරයන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවාසීන්ට ලැබෙනු ඇත.
- තම නිවසට අමුත්තන් 5 දෙනෙකු දක්වා ගෙන්වා ගැනීමට හැකිවීම
- එළිමහනේ පුද්ගලයින් 10 දෙනෙකු දක්වා රැස්වීමට හැකිවීම
- පිහිණුම් තටාක, උද්‍යාන, පුස්ථකාල, ආගමික ස්ථාන විවෘත කිරීම
- hiking සඳහා ජාතික සහ ප්‍රාන්ත උද්‍යාන විවෘත කිරීම
- සිල්ලර කඩ, අවන්හල් සහ ආපන ශාලා විවෘත කිරීම
- පුද්ගලික ශාරීරික පුහුණු සැසි පැවැත්වීමට අවසර දීම
- මංගල උත්සව සඳහා පුද්ගලයින් 10 දෙනෙකු දක්වා සහභාගී වීමට අවසර දීම
- එළිමහනේ පැවැත්වෙන අවමංගල උත්සව සඳහා පුද්ගලයින් 30 දෙනෙකු දක්වාද ගොඩනැගිල්ලක් ඇතුළත පැවැත්වෙන අවමංගල උත්සව සඳහා පුද්ගලයින් 20 දෙනෙකු දක්වා ද සහභාගී වීමට අවසර දීම

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය
අද (11/05) සිට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ඇතැම් කොරෝනා නීති ලිහිල් කරන බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall පැවසුවේය.
ඒවා පහත පරිදි වේ.
- අවන්හල් සහ ආපන ශාලා වල එළිමහනේ ආහාර ගැනීමට අවසර දීම
- විශ්ව විද්‍යාල සහ TAFE විද්‍යාල වල tutorials පැවැත්වීමට අවසර දීම
- මහජන පුස්ථකාල, පිහිණුම් තටාක, දේවස්ථාන සහ ප්‍රජා ශාලාවන් විවෘත කිරීම
- නිවාස වෙන්දේසි ආරම්භ කිරීම
- එළිමහනේ රැස්වීමට හැකි උපරිම පුද්ගල පිරිස 10 ක් දක්වා සීමා කිරීම
- එළිමහනේ පැවැත්වෙන අවමංගල උත්සව සඳහා පුද්ගලයින් 30 දෙනෙකු දක්වාද ගොඩනැගිල්ලක් ඇතුළත පැවැත්වෙන අවමංගල උත්සව සඳහා පුද්ගලයින් 20 දෙනෙකු දක්වා ද සහභාගී වීමට අවසර දීම
- Caravan සහ camping නිවාඩු යාමට අවසර දීම
සිනමා ශාලා වල, අවන්හල් තුළ, කෞතුකාගාර වල සහ කායවර්ධන මධ්‍යස්ථාන වල එක් රැස්විය හැකි උපරිම පිරිස 20 දක්වා ඉහළ දැමීමට එළඹෙන ජුනි 08 වන දින සිට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.

ටස්මේනියා ප්‍රාන්තය
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සැලැස්ම අනුව ටස්මේනියා ප්‍රාන්තයේ ද කොරෝනා වසංගතය මැඩලීමට මේ වන විට පනවා ඇති ඇතැම් නීති අද සිට (11/05) ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.
ඒවා පහත පරිදි වේ.
- වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සිටින වියපත් පුද්ගලයින් බැලීමට සතියකට වරක් අමුත්තන් දෙදෙනකුට අවසර දීම
- අවමංගල්‍ය උත්සව සඳහා පුද්ගලයින් 10 දෙනෙකුට සීමා කර තිබූ සීමාව පුද්ගලයින් 20 දෙනෙකු දක්වා වැඩි කිරීම
- තමන්ගේ වාසස්ථානයේ සිට කිලෝ මීටර් 30 ක් ඇතුළත පිහිටි ජාතික උද්‍යාන සහ රක්ෂිත වලට යාමට අදාළ ප්‍රදේශ වාසීන්ට අවසර ලැබීම
- ප්‍රායෝගික සහ ඇගයීම් කටයුතු සඳහා කුඩා සිසුන් කණ්ඩායම් වලට පමණක් ප්‍රාන්තයේ TAFE විද්‍යාල සහ අනෙකුත් පුහුණු මධ්‍යස්ථාන විවෘත කිරීම
ප්‍රාන්තයට පනවා ඇති තවත් කොරෝනා නීති කිහිපයක්ම ලිහිල් කිරීමට මැයි 18 වන දින සූදානම් බව ටස්මේනියා ප්‍රාන්ත රජය සූදානම් වේ.
ඒ අනුව එළිමහනේ පුද්ගලයින් 10 දෙනෙකු දක්වා රැස්වීමට අවසර දීම මෙන්ම අවන්හල්, ආපන ශාලා, ක්‍රීඩා පිටි, පිහිණුම් තටාක සහ boot camps එක් වරකට පුද්ගලයින් 10 දෙනෙකු ගේ උපරිම සීමාවට යටත්ව විවෘත කිරීම මැයි 18 වන දින සිට සිදුවනු ඇත.

Australian Capital Territory
පසුගිය සිකුරාදා (08/05) සිට Australian Capital Territory හි කොරෝනා නීති ලිහිල් වූයේ පහත පරිදිය.
- ගෘහස්ථව සහ එළිමහනේ පුද්ගලයින් 10 දෙනෙකු දක්වා එක් රැස්වීමට අවසර දීම
- කෙටි විනෝද චාරිකා (picnics) යාමට අවසර දීම
- පවුලේ සුහද හමු පැවැත්වීමට අවසර දීම
- Boot camps විවෘත කිරීම
- මංගල උත්සව සඳහා පුද්ගලයින් 10 දෙනෙකු දක්වා සහභාගී වීමට අවසර දීම
- එළිමහනේ පැවැත්වෙන අවමංගල උත්සව සඳහා පුද්ගලයින් 30 දෙනෙකු දක්වාද ගොඩනැගිල්ලක් ඇතුළත පැවැත්වෙන අවමංගල උත්සව සඳහා පුද්ගලයින් 20 දෙනෙකු දක්වා ද සහභාගී වීමට අවසර දීම
- නිවාස පරීක්ෂාවන්ට ලක් කිරීමට සහ වෙන්දේසි පැවැත්වීමට පුද්ගලයින් 10 දෙනකුට උපරිමයට යටත්ව අවසර දීම
මෙම නීති ලිහිල් කළද නිවෙස් තුළ සාද පැවැත්වීමට අවසර දී නොමැති බව Australian Capital Territory හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr පැවසුවේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
තම ප්‍රාන්තයේ පනවා ඇති ඇතැම් කොරෝනා නීති මැයි 15 වන දින සිට ලිහිල් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වේ.
ඒවා පහත පරිදි වේ.
- දරුවන්ද ඇතුළුව පුද්ගලයින් 5 දෙනෙකුට තවත් කෙනෙකුගේ නිවසට යාමට අවසර ලැබේ
- පුද්ගලයින් 10 දෙනෙකු හට එළිමහනේ රැස්වීමට අවසර ලැබේ
- එක්වරකට උපරිම වශයෙන් පාරිභෝගිකයින් 10 දෙනෙකු උදෙසා අවන්හල් සහ ආපන ශාලා විවෘත කිරීමට අවසර ලැබේ
- එළිමහනේ ඇති කායවර්ධන මධ්‍යස්ථාන, ක්‍රීඩා මධ්‍යස්ථාන සහ එළිමහනේ පිහිටි පිහිණුම් තටාක විවෘත කිරීම

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය
කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීම සඳහා තම ප්‍රාන්තයට පනවා ඇති නීති දෙවැනි වරටත් ලිහිල් කිරීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පහත පරිදි පියවර ගෙන තිබේ.
- මෙතෙක් කලක් එළිමහනේ එක් රැස්වීමට අවසර තිබූ පුද්ගලයින් 10 දෙනෙකුගේ උපරිම සීමාව පුද්ගලයින් 20 ක උපරිමයක් දක්වා ඉහළ දැමීම
- පුද්ගලයින් 20 දෙනෙකුගේ උපරිමයකට යටත්ව බාහිර සහ අභ්‍යන්තර ක්‍රීඩා පුහුණු කටයුතු ආරම්භ කිරීම

Northern Territory
මැයි 15 වන දින මධ්‍යහන 12න් පසුව පහත සඳහන් අයුරින් Northern Territory තුළ පනවා මේ වන විට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කෙරෙනු ඇත.
- අවන්හල් සහ ආපන ශාලා තුළ ආහාර ගැනීමට අවසර දීම
- පුස්ථකාල, කායවර්ධන මධ්‍යස්ථාන වලට පැය 2 ක උපරිම සීමාවකට යාමට අවසර දීම
තම ටෙරිටරිය තුළ පිහිටි ජාතික උද්‍යාන, පිහිණුම් තටාක සහ ක්‍රීඩා පිටි විවෘත කිරීමට මේ වන විටත් Northern Territory රජය අවසර දී ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තය
කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා තිබූ හදිසි තත්ත්වය අදින් (11/05) අවසන් වේ.
ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති කොරෝනා වයිරසය වැළක්වීමේ නීති ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත රජයේ ස්ථාවරය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
විශාල වශයෙන් කොරෝනා පරීක්ෂාවන් සිදු කළද ඔස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත වලට සාපේක්ෂව කොරෝනා නීති තවමත් ලිහිල් නොකළ එකම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය හැඳින්වේ.


